Latest News

ඔන්ලයින් ගේම් වලට තහංචි

මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් “ලක්මව දියණියෝ” ජාතික සංවිධානය විසින් විදුලි සංදේශ නියාමන කොමිසම ට ලිපියක් භාර දී තිබෙනවා.

එහි ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය පැවසුවේ,අද (14) උදෑසන ඔවුන් එම ලිපිය භාර දුන් බවයි.

පසුගිය දා බණ්ඩාරගම, රයිගම, ගුන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි ඔන්ලයින් ගේම් සඳහා ඇබ්බැහි වු 16 හැවිරිදි දරුවෙක් සියදිවි නසා ගැනීමේ සිදුවීමත් සමග මෙම ඉල්ලීම සුදුකර ඇති අතර මෙවැනි සිදුවීම් කිහිපක්ම ඉකුත් දිනවල වාර්තාවිය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ප්‍රියංගා කොතලාවල මහත්මිය,

“මේ විනාශ වෙලා යන්නේ, සියදිවි නසා ගන්නේ අපේ රටේ අනාගත පරපුර. දුක් විඳලා අම්මලා හදපු දරුවෝ තමයි මේ අකාලයේ මියැදෙන්නේ. ඒ නිසා අපි මේ ලිපිය මඟින් භාරදුන්නේ, ඉල්ලීමක් කරේ, කරුණාකරලා විදුලි සන්දේශ නියාමන කොමිසන් සභාවට වගකීමක් තියෙනවා අදාළ බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා දරුවන් ව මේකෙන් මුදවා ගන්න. මොකද මාර්ගගත වීඩියෝ ගේම්වලට වැට බඳින්න ඒ අයට පුළුවන්. ඒවාට බාධා කරන්න, ඒවා අපේ රටට එන එක නවත්වන්න ඒ අයට පුළුවන්. අපි බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා වහාම ක්‍රියාත්මක වෙන්න. මේ මියයන්නේ අපෙන් වෙන්වෙලා යන්නේ, අපේ රටේ අනාගත පරපුර. ”