බලපල්ලකෝ තොපිටත් ළමයි හම්බවෙන කාලෙක මේවා තේරෙයි
කාලය ගලාගෙන ගියා. හිත ඉල්ලපු ලොකුම බලාපොරොත්තුව හරි ගියත් ඒකත් එක්ක ඉස්සරහට යන්න මට දැනීමක් තිබුණෙ නෑ. දැනීමක් තියෙන කෙනෙක් ළඟ හිටියෙත් නෑ. මට ඒ දෙකටම තිබ්බෙ හිතේ දහිරියයි සතුටයි විතරයි. හැම අම්මා කෙනෙකුටම වගේ මටද, මවක වීමේ පෙර ලකුණු පහල වෙන්නට පටන්ගත්තේ ස්වාමියා හා මා ස්වාමියාගෙ ළඟම නෑදෑයන් විසින් ඔවුන්ගේ සමාගමෙන් අපිව බොහොම ඈතක තියලා තිබුණු වෙලාවක.
අපිට කලින් අම්මලා වෙන්නට සුදානම් වෙච්චි අපෙ යාළුවෝ, ගමේ අහල පහල අය, සහෝදරියෝ අඹ ගැට, දෙහි ගැට, සියඹලා, අඹරැල්ලා ගැට කටේ දමාගෙන වගේ වගක් නැතිවම කන හැටි අපි බලාන හිටියේ,
‘‘මේ මොන ආසාවක්ද අප්ප මේක?’’
කියන හිතුවිල්ලෙන්. ඒත් ඒ අත්දැකීම මට ආවම හිතුණේ ඒ කාලෙට දරන්න අමාරුම දෙයක් තියෙනවනම් ඒ තමයි එක එක දේවල් කන්න ආසා හිතෙන එක කියලා.
අපි ගෙදර ඉන්නකොට අම්මා නිවාඩු පාඩුවෙ ඉන්න සමහර වෙලාවට පරණ දේවල් මතක් කරනවා. ඔය එක දවසක කිව්වා ලොකු අක්කා හම්බවෙන්න ඉන්නකොට කන්න හිතුණ දේවල්. හිතුණ දේ කොහොමහරි කන්නත් ඕනමයි කියලලු එතකොට හිතෙන්නෙ. අම්මටනම් අම්මගෙ අම්මා, අක්කා, නංගී ඔය ඔක්කොම ගෙදර හිටියලු ඒව හදල දෙන්න. ඒ ඇරෙන්න ගමේ අහල පහල උදවිය යාළුවො එයාලත් එහෙමලු. ගම්වලනම් තවම තියෙන සිරිතක් තමා බබෙක් හම්බවෙන්න කවුරු හරි ඉන්නවනම් රසට බත් එකක් උයලා ගිහින් දෙන එක. නැත්නම් කන්න ආසා මොනවද කියල අහලා ඒ දේ හදලා ගිහින් දෙන එක. ආයෙ ඉතිං දානයක් දෙනවා වගේ තමයි. සැදැහැ සිතින් සැලකිල්ලෙන් ආදරෙන් ඕක කරන්නෙ. අන්න එහෙම අපෙ අම්මට ලොකු අක්කා හම්බවෙන්න ඉද්දි ලැවරිය කන්න ආසාවක් ආවා කිවවම ලලිතගෙ ආච්චි පන් කොළ පෙට්ටියක් පුරෝලා ලැවරියා තම්බගෙන, සුදු රෙද්දකින් වහගෙන, ඔලුවෙත් තියාගෙන ආවා කියල තමයි එදා අපෙ අම්මා කිව්වෙ.
ඉතිං එතකොට ඒ කාලෙ අපි කසාද බඳින්න හිතලවත් නෑ. අපිටත් නිකන් ඉන්න බැරිවටද මන්ද දරුවො හතක් වැදුව අපෙ අම්මා එක්ක අපි ඒ දවස්වල හරි හරියට තර්ක කරනවා ඔය දොල දුක ගැන.
‘‘ඇත්තටම එහෙම දරාගන්න බැරි ආසාවල් එනවද…?’’
‘‘මං නම් ආස දේ නැති වුණොත් නිකන් ඉන්නවා.’’
‘‘දැනුත් එහෙනම් ඔය අපිටත් එක එක දේ කන්න හිතෙන්නෙ.’’
‘‘හැමකෙනාටම එහෙම හිතෙන්නෙ නැතිව ඇති.’’
‘‘ඒ දවස්වලට උයන්න කම්මැලි හින්දා එහෙම ආසයි කියනවා ඇති. එතකොට කවුරු හරි ගෙනත් දෙනවනේ.’’
අපි එක එක්කෙනා ඉතිං ඔය මොන දේ කිව්වත් අනේ අපෙ අම්මා හිනාවෙලා නිකන් හිටියා. සමහරවෙලාවට,
‘‘බලපල්ලකො උඹලටත් කවදහරි බබෙක් හම්බු වෙන්න ඉන්න කාලෙක ඕව ඇත්තද බොරුද කියලා.’’
ඒක බොරුවක් නෙමේ කියලා හයියෙන් කෑ ගහන්න හිතුණෙ මට ඉස් ඉස්සර වෙලාම අම්මා හදන විදිහට බොම්බිලි බැදුමක් කන්න හිතුණ දවසෙ. හැතැම්ම සිය ගාණක් ඈතින් ඉන්න අම්මට කියපු සැනින් දුවගෙන එන්නත් බෑ කියල මං දැනන් හිටියා. ඒත් තාත්තා හදන කලටි පොල් සම්බෝලෙ ඕන කියපු දවසෙ එයාලගෙ වයසට ඔරොත්තු නොදෙන දුරක් ආව හැටි මතක් වෙනකොට දරුවෙකුට අම්මෙක් තාත්තෙක් කොයිතරම් නම් ආදරේද කියල අමුතුවෙන් කියන්න දෙයක් නෑ. ඒ තරම් ආදරේ තමන්ගෙ දරුවගෙ හිත අලුත් නෑයො රිදවනවා කියල දැනගත්තොත් එහෙම කොච්චර දුක හිතෙයිද? ඒකත් හරියට අර විශ්වවිද්‍යාලයේ නවක වදේ වගේ තමා. තමනුත් ඒ විදිහටම පීඩාවට පත්වෙලා දුක් වින්ද බව අමතක කරලා ඊළඟට එන කෙනාටත් රිදවන එක. අහල පහල අය,
‘‘මොනවද කන්න ආස?’’
කියල අහලා සැරින් සැරේ මම කැමති දේවල් හදලා එවන්න තරම් කාරුණික වුණත් ‘‘කෝ දරුවෙක්, කෝ දරුවෙක්’’ ඇසූ නැන්දම්මා ඇතුළු නෑසියන්ට මාව අමතක වෙලාම ගිහින් තිබුණා.
මම ඇඳ පාමුල බිත්තියෙත්, අල්මාරි දොරෙත් ලස්සන බබාලා දෙන්නෙක්ගෙ පිංතූර දෙකක් අලව ගත්තා. නිදියනකොටත්, නැගිටිනකොටත් මට හැමමොහොතෙම ඇහැට පෙනුණේ මේ පුංචි බබාලා දෙන්නව. අල්මාරියේ දොරේ ඉන්න බබාට මම ගොඩාක් ආදරේ කෙරුවා. ඒ ඇස්වලට මමත්, ඒ ඇස් මටත් හැමවෙලේම කතා කෙරුවා. නූපන් පුංචි පුතා මට හිතුණෙම ඒ විදිහටම ඉඳියි කියලා. ඒ වගේ හුරතල් විදිහට මා එක්ක හිනාවෙයි කියලා.
විශේෂයක් නැති වුණත් මට හිතුණෙම මට ඉන්නෙ පුතෙක් වෙන්න ඇති කියලා. ඒ ඇයි කියන හැඟීම ගැන කියන්න තේරෙන්නේ නැහැ.
සායනවලට යනකොට අඳුරගත්ත අම්මලා සමහරක් එයාලගෙ අලුත් බබාගෙ කතාව කිව්වා. එක අම්මෙක් ආදරෙන් කුස පිරිමැද මැද කිව්වේ, ‘‘කැඩෙන්න ගිය පවුල ආයෙ එකතු කෙරුවෙ මෙයා’’ කියලා. තව අම්මෙක් කිව්වෙ දරුවො නැතිව අවුරුදු හයක් ඉන්නකොට පළවෙනි දරුව ලැබුණා කියලා. ඇය ඇවිත් හිටියෙ දෙවෙනි දරුවා ලැබෙන්න. ඒක නෙමේ හොඳම කතාව.
‘‘මට දරුවො නැති කාලේ අපෙ මහත්තයා හරියට ඉවසුවා. මගෙත් එක්ක දුක් වින්දා. මට මොනවහරි කවුරුත් කිව්වොත් ඒ අයත් එක්ක රංඩුවුණා. ඉතිං මං හිතාගත්ත එයා ඇති කියනකන් එයාට දරුවො දෙන්න. අර ඉන්නෙ මගෙ මහත්තයා.’’
ඇයව පෙනෙන තැනක හිටගෙන ඉන්න කළු උස මහත දේහදාරී පුද්ගලයෙක් ඇය මට පෙන්නුවා. තමන්ගෙ ජීවිතේ සහකාරියට සතුට සහ රැකවරණය දෙන ස්වාමියෙක්. ඇත්තට හැම ගැහැනියකටම ඒ වගේ ආදරණීය පිරිමි ලැබෙන්නෙ නෑනෙ. ඒත් ලැබෙන්න ඕන එහෙම අයම තමයි. ඒ අතින් ඇය වාසනාවන්ත ගැහැනියක් කියලා මට අදටත් හිතෙනවා. තව කෙනෙක් කිව්වෙ බබෙක් එයි කියලා බලන් ඉඳලා ඉඳලා බැරිම තැන නංගිගෙ දුව ගෙදර ගෙනාවා කියලා. ඒ වෙනකොට එයා අවුරුදු දොළහක් වෙනවලු කසාද බැඳලා. එයාගෙ දුව වගේ එයාව බලාගන්න පටන් අරන් මාස හයක් යනකොට මේ බබා ආව කියලා. අපිටනම් ඒව පුදුමසහගත වුණාට වෛද්‍යවරුනම් කියන්නේ හිතේ පහලවෙන හැඟීම් හින්දා වෙනස්වෙන හෝමෝනවලට සමහර විට මේ වගේ දේවල් වෙන්න පුළුවන් කියලා.
කාසල් රෝහලේදී මම දෙවෙනි සැරේටත් ස්කෑන් පරීක්ෂාවකට ලක්වුණා. වැඩී ඉන්න පුංචි දරුවා දුවෙක්ද පුතෙක්ද කියලා මේ සැරේ කියන්න පුළුවන් කියල ඊට ඉස්සෙල්ලා මාසෙ මාව බලපු වෛද්‍යතුමා මට කීව්ව කියල මතක් වුණා.
‘‘ඩොක්ටර්…’’
ඉක්මනටම මට ඒක අහන්න ඕන වුණා. හරියට නිකන් අමතක වෙන්න ඉස්සර වෙලා වගේ ඒ අකුරු හතරට නොඉවසිල්ල කැටිවෙලා තිබුණද මන්ද. උපැස් යුවළ යට තිබිච්ච හීන් ඇස් තියුණු විදිහට මයෙ දිහාට හැරුණා. වචනයෙන් ඇහුවෙ නැතත් නිකන් ඇයි කියන්න වගේ බැල්මක්. කාසල් රෝහලේ මට මුණගැහැණු ඔක්කොම වෛද්‍යවරු හරිම කරුණාවන්තයි කියලා නොකියම බෑ. ඔවුන් බොහොම ඉවසීමෙන් හැම අම්මා කෙනෙකුටම ඇහුන්කන් දුන්නා.
‘‘මට ඉන්නෙ දුවෙක්ද, පුතෙක්ද…?’’
ප්‍රියංකා නානායක්කාර