විශේෂාංග

නහින දෙහින කාලේ අපි බඳිමුද රාලේ

මිතුරන් සමඟ රටේ දේශපාලනය ගැන බොහෝ වෙලාවක් කතා කරමින් සිටි, පනස් වියට ආසන්න මංජුල කාලයක් තිස්සේ සිතට දැනෙමින් තිබූ වේදනාවක් ගැන ඔවුන්ට පවසන්නට තීරණය කළේය.

මට මහ පාළුවක් දැනෙනවා බන්. අඩුම තරමේ මටත් උඹලට වගේ දරුවෙක්වත් හිටියා නම් කියලා හිතෙනවා.” මංජුලගේ කටහඬේ රැඳී තිබුණේ කළකිරුණු ස්වභාවයකි.

මංජුලයාඅපි ඒ කාලේ උඹට කිව්වා ආයේ කසාද බැඳපන් කියලා. අමන්දායි, බඩේ හිටිය දරුවයි එකටම නැති වෙද්දී උඹට ජීවිතේ එපා වෙන්න ඇති. ඒ වුණාට අවුරුදු ගාණක් ඔහොම තනියම ජීවත් වෙන්න ගියාම කළකිරෙනවා කියලා අපි දැනගෙන හිටියා බන්.” මංජුලගේ මිතුරෙකු වූ සරත්ද කීවේ හිතේ වේදනාවෙනි. සෙසු මිතුරන්ද මංජුල දෙස බලා සිටියේ වේදනාවෙනි.

මට ආයේ කසාද බඳින්න හිතෙනවා බන්. උඹලා දන්නා වැදගත් ගැහැනු කෙනෙක් ඉන්නවා නම් මට අඳුන්වලා දීපන්.” මංජුල කීවද ඇසුණේ මිතුරන්ගේ හිනා හඬය.

පිස්සුද යකෝ මේ නහින දෙහින කාලේ කසාද බඳින්න හදන්නේ?

මංජුල උඹ බණක් භාවනාවක් කරන්න පටන් ගනින්. එතකොට ඔය විකාර අදහස් ඔලුවෙන් නැතිවෙලා යයි.”

හිනා හඬ මැද මිතුරන් කියද්දී මංජුල බලා සිටියේ නොසෙල්වෙන බැල්මකිනි.

අපේ වයිෆ්ගේ නංගි බැඳලා නැහැ මචං. මම අහලා බලන්නම්.” මෙතෙක් වෙලා කිසිවක් නොකියා සිටි සරත් එකවරම කියද්දී මිතුරන්ගේ හිනා හඬ වියැකිනි.

ඇයි බන් හිනාවෙන්නේ? මොහොතකට කලින් මූ දිහා උඹලා බලාගෙන හිටියේ අනුකම්පාවෙන් නේද? මූ පව්. තනිවෙලා. එහෙම නේද උඹලට හිතුණේ? ඉතින් ඒ ප්‍රශ්නයට මංජුල විසඳුමක් හොයාගන්න යද්දී ඒකෙ හිනාවෙන්න දෙයක් තියනවද? සියල්ලන්ම නිහඬ විණි.

සරත් නිවසට ගිය පසුව මේ ගැන සිය බිරිඳටත්, ඇයගේ නැගණියටත් දැනුම් දුන්නේ සතුටිනි.

ඔයාලට මාව බරක්ද අක්කේ? එහෙනම් කියන්න මම ඔලුව හැරිච්ච අතේ යන්නම්. මම දන්නවා දැන් බබාලත් ලොකු නිසා ඔයාලට මගෙන් වැඩක් නැහැ කියලා. එහෙමයි කියලා මාව මේ වයසේදී බන්දන්න හදන්නේ? දැන් මට හතළිස් පහත් පැනලානේ දෙවියනේ. රටේ ලෝකේ මිනිස්සු මට ගල් ගහයි.” නැගණිය එක වරම හඬා වැටෙමින් කියද්දී සරත් බලා සිටියේ පුදුමයෙනි.

පිස්සුද සරත්? මට නම් පේන්නේ යාළුවගේ වගේම ඔයාගෙත් ඔලුව නරක් වෙලා. මේ කසාද බඳින වයසක්ද? හඬනා නැගණියව බදාගෙන බිරිඳද දොස් කීවේ සරත්ටය.

නමුත් උත්සාහය අත හරින්නට හිතක් නැති තැන සරත් කාර්යාලයේ දී එහි සිටින අවිවාහක කාන්තාවක් ඉලක්ක කරගෙන හඬ අවදි කළේය.

මගේ යාළුවෙක් ඉන්නවා. හරිම හොඳයි. මනුස්සයාගේ වයිෆ් නැති වුණ නිසා මෙච්චර කල් තනිකඩව හිටියා. හැබැයි දැන් මනුස්සයට ඕනෙලු කසාදයක් කරගන්න.”

වයස කීයද? ඇසුවේ ඔහු අපේක්ෂාවෙන් සිටි කාන්තාවමය.

පනස් දෙකයි.”

ආපෝ.” කී ඇය බඩ අල්ලාගෙන සිනාසෙන්නට වූවාය.

සරත්ට දැනුණේ කළකිරීමකි. කාර්යාලයේ කාන්තාව, බිරිඳගේ නැගණිය දෙදෙනාම නිතරම සිටින්නේ අමනාපයෙන්ය. ඉඳහිට හැර සිනාසෙන්නේ නැත. බොහෝ විට ඔවුන්ද පීඩා විඳින්නේ තනිකමෙන් විය හැකිය. නමුත් එයට විසඳුමක් සොයා ගැනීම ඔවුන්ට අනුව නම් විහිලුවකට කරුණකි.

මම නම් කැමති ඒ වගේ කෙනෙක්ට.” අහම්බෙන් ඇසුණු හඬ නිසා සරත් පුදුමයෙන් හැරී බැලුවේය. ඇය සරත්ගේ අවධානය යොමු නොවී තිබුණු කාන්තාවකි.

එයා වයිෆ් වෙනුවෙන් මෙච්චර කාලයක් හිටියේ ඇත්තටම ආදරේ නිසානේ. ඒත් වයසට යද්දී තවත් තනියෙන් ඉන්න එක ප්‍රායෝගික නැහැ කියලා දැනුණම එයා තීරණය කරන්න ඇති කසාද බඳින්න. මම එයා වයිෆ්ගේ මතකය වෙනුවෙන් තනියම හිටපු එකට ගරු කරනවා. ඒ වගේම මම ගරු කරනවා එයා මේ වයසේදී කසාද බඳින්න තීරණය කරපු එක ගැන. මේ හැමෝටම හිනාවෙන්න බලන් ඉන්න සමාජයක් කියලා දැන දැනත්, එයා ඒ වගේ තීරණයක් ගත්තා කියන්නේ එයා මොන තරම් මානසිකව ශක්තිමත් මනුස්සයෙක් වෙන්න ඇතිද? මගේ බෝයි ෆ්‍රෙන්ඩ් මාව අත ඇරියේ එයාගේ ගෙදර අය කැමති නැහැ කියලා. අනිත් අයට බයේ තමන් කැමති කෙල්ලව අත අරින කොල්ලෙක්ට වඩා, අර වගේ සමාජයට බය නැති කෙනෙක් කොච්චර හොඳ ඇතිද? ඇය කියවාගෙන යද්දී සරත් බලා සිටියේ නව බලාපොරොත්තුවක් සහිතවය.

සමාධි ඩයස්