විශේෂාංග

ග්‍රාමසේවක බෝයිස්ලා හැමතැනම

මචන් සවිඳු, අඳුනගනින්. මේ කලිඳු අයියා. අපේ ඔෆිස් එකේ වැඩ කරන්නේ.” තමන්ගේ රූමා ගලප්පත්ති ඇවිත් කියද්දි සවිඳු ඔහු දිහා බැලුවේ විමසිල්ලෙන්.

, ඉතින් අයියා මෙහෙ ආවේ?” ඔහු අමුත්තා දිහා බලලා ඇහුවේ කුතුහලයෙන්.

සවිඳු, උඹලගේ කැම්පස් එකේ ඉන්නවා ධර්මරාජ ඉස්කෝලේ ඉඳන් ආපු මලීශා සමරවික්‍රම කියලා නංගි කෙනෙක්.” ගලප්පත්ති කියද්දි සවිඳු ගලප්පත්ති දිහායි, කලිඳු දිහායි මාරුවෙන් මාරුවට බැලුවා.

ඉතින්?” සවිඳු ඇහුවා.

එවර නම් හඬ අවදිකළේ කලිඳු.

අපේ ගෙදරින් මට ඒ නංගි ගැන ප්‍රපෝසල් එකක් ගෙනාවා. ඒ ළමයා ඉගෙනගන්නේ NDM කැම්පස් එකේ කියලයි කිව්වේ. මම ඉතින් අද ඔෆිස් ඇවිත් ගලප්පත්ති මල්ලි එක්ක විස්තර කියද්දි මල්ලි කිව්වා, සවිඳු මල්ලිත් ඉගෙනගන්නේ ඒ කැම්පස් එකේ කියලා. ඒ නංගිව අඳුරනවද?”

අපෝ මොකද නොදන්නේ? ඒක හරි යන්නේ නැහැ අයියේ. මාසෙට එකා ගාණේ කොල්ලො මාරු කරනවා.” සවිඳු කියන්නන් වාලේ කියලා දැම්මා.

කලිඳු සවිඳු දිහා බලාගෙන හිටියේ අමුතුම බැල්මකින්.

ආහ් එහෙමද මල්ලි. තෑන්ක්ස් කිව්වට.” එපමණක් කී කලිඳු සිනාසෙමින් පිටවුණා.

අඩේ පව් බන් කලිඳු අයියා. කෙල්ලට හිත ගිහින් හිටියේ.” ගලප්පත්ති කියද්දි සවිඳු ඇහෙන නෑහෙන ගාණට එතැනින් ගියා.

ඊළඟ දවසේ කැම්පස් ගියාම සවිඳුට හදිසියෙන් වගේ මලීශාව මතක් වුණා.

ඒ මචන් අපේ කැම්පස් එකේ ඉන්නවද ධර්මරාජ ඉස්කෝලේ ඉඳන් ආපු මලීශා සමරවික්‍රම කියලා එකියක්?”  සවිඳු හදිසියේම තමන්ගේ යාළුවෙක්ගෙන් ඇහුවා.

ආ ඔව් මචන්. ගිය සතියේ කැම්පස් එකට අලුතින් බඳවගත්තු බැච් එකේ ඉන්නේ කෙල්ල.” මිතුරා කියද්දි සවිඳු හිසේ අත ගහගත්තා.

හත්තිලව්වයි. මම අරූට කිව්වේ මලීශා මාසෙට එකා ගාණේ කොල්ලො මාරු කරනවා කියලා නේද? ඒකි ගිය සතියෙද කැම්පස් එකට ඇවිත් තියෙන්නේ?” සවිඳු තමන්ගෙන්ම අහගත්තා.

මලීශාව සවිඳු කලින් දැනගෙන හිටියේ නැහැ. ඒත් කෙල්ලෙක් ගැන පිට කෙනෙක් අහද්දී ඇයව නොදන්නා බව කියනවට වඩා, ඇගේ ගුණ කියනවට වඩා නුගුණ කියන පුරුද්දට එදා ඉඳන්ම සවිඳු පුරුදු වෙලා හිටියා.. සවිඳුගේ මුවින් වගකීමක් නැතුව ඒ විදිහට මීට කලින් පිටවුණු වචන නිසා, ඇති වෙන්න ගිය ප්‍රේම සබඳතා කිහිපයක්ම බිඳුණා කියලා දැනගෙන හිටියත් සවිඳුට කවදාවත් වරදකාරී හැඟීමක් දැනිලා තිබුණේ නැහැ. හැබැයි දැන් නම් සවිඳුට දැනෙමින් තිබුණේ ලොකු ලැජ්ජාවක්. තමන් කියපු බොරුව බොරුවක් බව දැන දැනත් කලිඳු නිහඬවම පිටවෙලා ගිය එක ගැන පුදුමයක්.

හිතුවා වගේම එදා හවස බෝඩිමට ගියාම සවිඳුට ගලප්පත්තිගෙනුත් බැණුම් අහගන්න වුණා.

ඊයා ඕයි උඹ කරන වැඩ. මටත් එක්ක ලැජ්ජාවේ බැහැ. අද කලිඳු අයියා මගෙන් ඇහුවා කැම්පස් එකට සතියකට කලින් ආපු කෙල්ලෙක් ගැන මාස ගාණක වාර්තාවක් උඹ දුන්නේ කොහොමද කියලා. කලිඳු අයියා උඹව හම්බෙන්න ඇවිත් තියෙන්නේ ඒ කෙල්ලගේ චරිතෙ ගැන අහන්න නෙවේලු. ෆස්ට් ඉයර් එකේ නෝට් ටික ෆොටෝ කොපි කරගන්නයි, රැග් කේස් එකක් එහෙම ඇදුණොත් කෙල්ලව බේරගන්න කියන්නයිලු.” ගලප්පත්ති කියද්දි සවිඳුට ලොකු පසුතැවිල්ලක් දැනුණා.

ටික දවසක් යනකොට ගලප්පත්ති සවිඳුගේ මේ චරිත සහතික දීමේ අපූරු කලාව ගැන විශ්වවිද්‍යාලයේ සෙසු මිතුරන්ටත් කියලා තිබුණා.

ආ ග්‍රාමසේවක මහත්තයෝ, අපිටත් චරිත සහතිකයක් ඉල්ලගන්න බැරි වෙයිද?” සවිඳු දකින දකින තැන සවිඳුගේ බැච් එකේ සගයන් විහිලු කරද්දී සවිඳුට දෙන්න උත්තරයක් ඉතුරු වෙලා තිබුණේ නැහැ.

 

සමාධි ඩයස්