විශේෂාංග

ලස්සන පිඟන්වල බත් කන්න දස්සයෝ වෙන්නම ඕනද?

සමිතා එයාගේ පුතා එක්ක තරින්දිලාගේ ගෙදර ආවා. තරින්දි කියන්නේ සමිතාගේ හොඳම යාළුවා. තරින්දිටත් ඉන්නේ පුතෙක්.

‘‘එහෙනම් අපි මොනවාහරි බීලම ඉමු නේද?’’ කියන ගමන් තරින්දි ලස්සන මග් කීපයකට දාගෙන කිරි අරන් ආවා.

සමිතාටත්, පුතාටත් මග් දෙක දෙද්දි සමිතා තරින්දිට මෙහෙම කිව්වා.

‘‘අනේ තරින්දි ප්ලාස්ටික් කෝප්පයක් නැද්ද? මෙයා මග් එක වට්ටයිද දන්නේ නැහැ.’’ එතකොට තරින්දිට යන්තම් හිනාගියා.

‘‘මගේ පුතා පරිස්සමින් මේක බොන්නකෝ. හොඳට අඬුවෙන් අල්ලගන්න. එතකොට වැටෙන්නේ නැහැ.’’ එහෙම කියපු තරින්දි තමන්ගේ පුතා දිහාවට හැරුණා.

‘‘පුතා කෝ ඉස්සෙල්ලම වාඩි වෙන්නකෝ. සෙල්ලම් කර කර කොෆී බොන්න බෑනේ.’’ කියන ගමන් පුතා අතට අර ලස්සන මග් එකක් දුන්නා.

සමිතා ඒ දිහා බලාගෙන හිටියේ පොඩ්ඩක් පුදුමයෙන්.

‘‘මේ පුතා හැමදාම තේ බොන්නේ මේ මග් එකේද? නැත්තම් අපිට දෙන නිසාම පුතාටත් සෙරමික් මග් එකකම තේ දුන්නද?’’ සමිතා හිතින් හිතුවා.

දවල්ට කෑම කන වෙලාව එද්දි තරින්දි සමිතාවයි පුතාවයි එක්කගෙන ගියේ කෑම කාමරයට.

‘‘කෝ පුතාලා දෙන්නා අත් හෝදගෙන මේසේ ගාවින් වාඩි වෙන්නකෝ.’’

එහෙම කියලා තරින්දි කැබිනට් එක ඇරලා පිඟන් දෙකක් ගත්තා. එකක් සමිතා ගාවිනුත් අනිත් එක සමිතාගේ පුතා ගාවිනුත් තිබ්බා. ඊටත් පස්සේ පිඟන් රාක්කයෙන් තවත් පිඟානක් අරන් තමන්ගේ පුතා ඉස්සරහින් තිබ්බා. ඒ පිඟාන දැක්කම සමිතට තවත් පුදුම හිතුණා. සුදු පාට සෙරමික් පිඟානේ රත්තරන් පාටට වැඩ දාලා. හරිම කලාත්මක වටින පෙනුමක් තමයි ඒ පිඟානේ තියෙන්නේ කියලා සමිතාට හිතුණා.

‘‘බෙදාගෙන කන්න සමිතා. පුතාලත් කන්න.’’ එහෙම කියාගෙන තරින්දිත් තව පිඟානක් අරන් වාඩි වුණා. ඒ පිඟාන තනි සුදු පිඟානක්. ඒකත් සෙරමික්.

‘‘නිසල, ඔයා ගෙදරදි බත් කන්නේ මැටි පිඟන්වලද?’’ එකපාරම සමිතාගේ පුතා ඇහුවේ සමිතාගේ හිතෙත් තිබුණු ප්‍රශ්නයක්.

‘‘ඔව් කවිඳු. ඇයි?’’ නිසල ඇහුවා.

‘‘අපේ අම්මි මට දෙන්නේ කැත ප්ලාස්ටික් පිඟන්. මම ආස ලස්සන පිඟන් ඔක්කොම තියෙන්නේ කබඩ් එකේ.’’ කවිඳු කිව්වේ මුහුණ බිමට බර කරන්.

‘‘අයියෝ.. ඒ මේ මෙයා කඩයි කියලා. තාම පොඩියිනේ’’ සමිතා එකවරම කිව්වා.

‘‘ඉතින් අම්මියි තාත්තියි දෙන්නත් කන්නේ ප්ලාස්ටික් පිඟන්වලනේ. සමහර දවස්වලට නම් අම්මා ඇතිලියටම බත් දාගෙනත් කනවා.’’ කවිඳු කියද්දි සමිතාට ලැජ්ජත් හිතුණා.

‘‘හරි හරි දැන් කන්නකෝ පුතාලා.’’ තරින්දි කිව්වේ කවිඳුගේ හිස අතගාලා.

කාලා ඉවර වුණාට පස්සෙ පොඩ්ඩො දෙන්නා එළියට දිව්වේ සෙල්ලම් කරන්න.

‘‘සමිතා ජීවත් වෙනවා කියන්නේම පීඩනයක්නේ. පොඩි එවුන් පාඩම් වැඩ නිසා පීඩනයෙන්. අපි සල්ලි හොයන්න පීඩනයෙන්. ජීවිතේ පුංචි පුංචි මොහොතවල් ලස්සනට ගත කළොත් ඒ පීඩනය යන්තමට හරි අඩු වෙනවා. මම ඒකයි මෙයාලට ලස්සනට කන්න කෑම මේසය ලෑස්ති කරන්නේ. නිසල ඒ පිඟානට ආසයි කිව්වම මම බැහැ නොකියා ඒක එයාට දුන්නා. නිසලගේ අතින් ඒක කැඩුණත් මොනවා කරන්නද? ඒත් එයා සතුටින්නේ කෑම කන්නේ. එයා හරි පරිස්සම් හැබැයි. මම කිව්වා කඩන්න එපා කියලා. ඒත් ඉතින් කැඩුණත් කරන්න දෙයක් නැහැ. ඒක පිඟානක්නේ.’’ තරින්දි හිනාවෙවී කියද්දි සමිතා තරින්දි දිහාම බලාගෙන හිටියා.

‘‘ඔයාලා දෙන්නත් සෙරමික් පිඟන්වල නේද කන්නේ එතකොට?’’ සමිතා ඇහුවා.

‘‘ඔව්. මටත් පුළුවන් ඉතින් හොඳ පිඟන් පරිස්සම් කරන්න කියලා අපි දෙන්නටත් බෙලෙක් පිඟන් හරි, ප්ලාස්ටික් පිඟන් හරි ගන්න. ඕනෙම කෙනෙක් හොඳම පිඟන් කෝප්ප තියාගෙන ඉන්නේ අමුත්තන්ට දෙන්න. ඒත් පවුලේ අයටත් හොඳ බඩු දුන්නා කියලා පාඩුවක් වෙන්නේ නැහැනේ. අරපිරිමැස්ම, පරිස්සම වටිනවා තමා. ඒත් අපිත් ලස්සනට, සතුටු හිතෙන විදිහට ජීවත් වෙන එකත් ඒ තරමටම වටිනවා කියලයි මට හිතෙන්නේ.’’ තරින්දි කියද්දි සමිතා හිස වැනුවේ සතුටින්.

‘‘ඔයා කියන එක ඇත්ත. පුතා කැබිනට් එකේ තියෙන ලස්සන පිඟන් දිහා බල බල ප්ලාස්ටික් පිඟානේ කන එක පව් කියලා මට කවදාවත් කලින් හිතිලා නැහැ. අපි හැමදේම කරන්නේ දරුවන්ගේ සතුට වෙනුවෙන්නේ. ඉතින් ඒ වෙනුවෙන් ලස්සන පිඟානක් කෝප්පයක් කැප කරන්න ඇයි බැරි?’’ සමිතා කිව්වා.

සමාධි ඩයස්