විශේෂාංග

මෙහෙම කොල්ලො අනේ වාසනාවන්

අකලංක කියන්නේ චාමිනීලාගේ කාර්යාලයට අලුතින්ම ආපු සේවකයෙක්. කාත් එක්කවත් වැඩි කතාබහක් නැතුව පාඩුවේ හිටපු අකලංක කාර්යාල වෙලාවෙන් පස්සෙ විනාඩි 10ක්වත් නොරැඳී පිටවීම ගැන එක එක්කෙනා එක එක කතා කියන්න පටන් අරගෙන තිබුණා.

‘‘අපි අහද්දි නෑ කිව්වට ෂුවර් එකටම කෙල්ලෙක් ඇති. නැත්තම් මේ ගාල කඩාගත්තා වගේ දුවන්නේ මොකටද?’’ චාමිනී අකලංක නැති තැන හිනා වෙවී කිව්වා.

‘‘අනේද කියන්නේ. වැඩ ඇරිලා පොඩ්ඩක් සෙට් වෙන්න එන්න කියලා දවසක් මම කතා කළා. අනේ මට කලින් දාගත්තු පොඩි වැඩක් තියෙනවා කියලා මේකා දිව්වනේ.’’ ඒ විදිහට චාමිනීට උත්තර දුන්නේ කුෂාන්.

ඉතින් දවසක් උදේම චාමිනී කාර්යාලයට හරි හදිස්සියෙන් ආවේ අකලංක ගැන අලුත්ම ආරංචියක් අරගෙන.

‘‘කියන්න නම් සුපිරි ආරංචියක් තියෙනවා.’’

ඔෆිස් එකට ආපු චාමිනී ඇස් ඉඟි කරමින් අනිත් අයට කිව්වා.

‘‘ඒ මොකක්ද? කියන්නකො අපිටත්.’’

තරංගා ඇහුවේ ඒ ආරංචිය දැනගන්න පුදුම හදිසියකින්.

‘‘ඊයෙ මම ඔෆිස් ඇරිලා බුක්ශොප් එකට ගියානේ.’’ චාමිනී කිව්වේ ඇදලා පැදලා.

‘‘අගේ නොකර කියපන්කො.’’ අනිත් අය ආයෙමත් ඇවටිලි කළා.

‘‘පොත් තෝර තෝර ඉද්දි පොඩ්ඩක් හවස් වුණා. ත්‍රීවීලර් එකකම ගෙදර යනවා කියලා හිතාගෙන ඌබර් එකක් දැම්මා.’’

‘‘ඉතින්?’’

‘‘දන්නවද කවුද ආවේ කියලා?’’ කියන ගමන් චාමිනී ආයෙමත් හිනාවුණා.

‘‘කවුද?’’

‘‘අපේ අකලංක බන්…’’ චාමිනී කිව්වේ හයියෙන් හිනා වෙවී.

‘‘අකලංක? මොන අකලංකද?’’ තරංගා ඇහුවේ කුතුහලයෙන්.

‘‘අපේ ඔෆිස් එකේ වැඩ කරන අකලංක බන්. ඌ හවසට කරන්නේ ත්‍රීවීලර් රස්සාවලු.’’

‘‘හාපෝලැජ්ජාවේ බෑ අපේ ඔෆිස් එකටත් එක්ක. අකලංක උඹව දැක්කම මොකද්ද කිව්වේ?’’ තවත් කෙනෙක් පැනලා ඇහුවා.

‘‘මොනා කියන්නද අතටම අහුවුණාට පස්සෙ? මාව දැක්කම නම් මෑන්ට අප්සට් ගියා. ඒත් පොඩ්ඩක් කතා කර කර ගිහින් මාව ගෙදර බැස්සුවා. හවසට ඌබර් ඇප් එක දාගෙන ඉන්නේ, හයර් වැදුනොත් යනවා කිව්වේ…’’ චාමිනී කියද්දි අහගෙන හිටපු අයත් හිනා වුණා.

‘‘ගුඩ් මෝර්නින්ග් සර්.’’ එක පාරටම දොරෙන් ඇතුළු වුණු තමන්ගේ අංශ ප්‍රධානියාව දැකපු තරංගාට කියවුණා.

‘‘ගුඩ් මෝර්නින්ග් ළමයි. උදේම කට්ටිය මොනවද මේ බරටම සාකච්ඡා කරන්නේ?’’ අංශ ප්‍රධානියා ඇහුවේ තමන්ගේ අසුනට යන ගමන්. ඒ ඇහුණු තරංගා චාමිනී දිහාට හැරිලා ඇහැක් ගැහුවා.

‘‘ඊයේ චාමිනීට අපේ අකලංකව හම්බුණාලුනේ. අකලංක හවසට ත්‍රීවීලර් එලවනවලු.’’ තරංගා කිව්වේ අංශ ප්‍රධානියාත් තමන්ගේ හිනාවට හවුල් වෙයි කියලා හිතාගෙන.

‘‘වාව් මරුනේ. අකලංක මරු කොල්ලෙක්නේ.’’ එකපාරම අංශ ප්‍රධානියාට කියවෙද්දී අනිත් අය මූණට මූණ බලා ගත්තා.

‘‘ඔහොම උත්සාහවන්ත මිනිස්සුන්ට තමා දවසක හරි යන්නේ තරංගා. මහන්සි වෙන්න පුළුවන් කාලේ මහන්සි වෙලා උපයන මිනිස්සු තමා පස්සෙ කාලෙක සැපෙන් ඉන්නේ.’’

‘‘ඒත් සර්.. මේඅපි මේ කතා වුණේ ඒක අපේ ඔෆිස් එකේ නමට හොඳ නෑනේ කියලා.’’ චාමිනී ඇහෙන නොඇහෙන හඬින් කිව්වා.

‘‘පිස්සුද දරුවෝ? ලැජ්ජ වෙන්න ඕනේ හොරමැරකම් කරන්න. තමන්ගේ මහන්සියෙන් උපයන එක ලැජ්ජාවක් නෙවෙයි. හවස්වරුව නාස්ති කර ගන්නේ නැතුව තමන්ට පුළුවන් විදිහට මහන්සි වෙලා යමක් කරන්න හැමෝටම හිත දෙන්නේ නැහැ. ඒ අතින් අකලංක ගැන මට නම් හරි ආඩම්බරයි.’’ ඔහු කියද්දි හැමෝම නිහඬ වුණා.

සමාධි ඩයස්