දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳින් නෝනේ
දහම් වැඩ ඇරිලා ආපු වෙලාවේ ඉඳගෙන ඉනෝකා දහම්ගේ වටේ කැරකුණේ අලුත්ම ආරංචියක් කියන්න.
“දහම්, මට පොඩි වැඩක් සෙට් වුණා.”
“ආ??” දහම්ට කියවුනේ පුදුමයෙන්.
“එයාලා පිටරටට ප්ලාස්ටික් මල් යවන කම්පැනි එකක්. මට හම්බුණේ ෆේස්බුක් එක බල බල ඉද්දි. ඉතින් මම කෝල් කළා. එයාලා ගෙදරට බඩු ගෙනත් දෙනවලු. අපි මල් හැදුවම සල්ලි දීලා ගෙනියනවලු. ඔයත් හෙට ගෙදරනේ. මම එන්න කිව්වා. කමක් නෑනේ?” ඉනෝකා ඔලුවත් ඇල කරලා අහිංසක විදිහට අහද්දී දහම්ට සුසුමක් හෙලුනා.
ඊටපස්සේ මුකුත්ම නොකියා ඔහු පසෙකින් වාඩි වුණා.
“ඉනෝකා, ඔයාට බය හිතුණද? රටේ තත්වේ නරක අතට හැරිගෙන එන නිසා අපිටත් අඟ හිඟ කම් එයි කියලා?” දහම් ටික වෙලාවකින් ඇහුවා.
“එහෙමමත් නැහැ.”
“එහෙනම්?”
“හවස් වරුවේ වැඩි වැඩකුත් මට නැති නිසා කරන්න පුළුවන්නේ.” ඉනෝකා දුන්නේ දෙපැත්තටම නැති උත්තරයක්.
“මම ඔයාව මේ ගෙදරට එක්කගෙන ආවේ ඔයාව බලාගන්න ඕනේ නිසා. ඒක පිරිමියෙක්ගේ වගකීම. ඔයාගෙන් හම්බකරගෙන කන්න නෙවෙයි. ඔයා බය වෙන්න එපා. අපේ අයි ටී ෆීල්ඩ් එකේ ජොබ් එහෙම නැති වෙන්නේ නැහැ.” දහම් කිව්වා.
“දහම්, අපි නිකමට හිතමුකෝ ඔයාගේ ජොබ් එක නැති වුණා කියලා. එහෙම නැත්තම් ඔයාගේ සැලරි එක කැපුවා කියලා. එතකොට ඔයාගේ ආදායම අපි දෙන්නෙක් අතර බෙදෙන එක අසාධාරණයි නේද?” ඉනෝකා කියපු දේ යන්තම්වත් නොතේරුණු නිසා දහම් බලාගෙන හිටියේ කුතුහලයෙන්.
“අපේ ගෙදර ආදායම පහළට වැටිලා නැති බව ඇත්ත. එත් මේ රටක් විදිහට ආදායම පහළට වැටුණු අවස්ථාවක්. මුදල් උපයන්නේ, ඒ කියන්නේ රටට ආදායමක් උපයන්නේ අපේ රටේ ජනගහණයෙන් කොටසක් විතරයි. ඉතුරු කොටස අතරේ ඒ ආදායම බෙදිලා යනවා සහන, ආධාර විදිහට.” ඉනෝකා කිව්වේ පුංචි හිනාවක් මුහුණට අරන්.
“ම්ම්… ඉතින් කියන්නකෝ.” දහම් ඇහුවේ ඉතුරු ටිකත් අහ ගන්න තියෙන කලබලයෙන්.
“අසනීප, ආබාධිත, වයස්ගත, ඇත්තටම ගෙදර වැඩ එක්ක රස්සාවකට වෙලාවක් වෙන් කරන්න බැරි ගෘහණියෝ, ආගමික අරමුණු වෙනුවෙන් ජීවිතය කැප කල අය අතරේ ඒ ආදායම බෙදිලා ගියාට කමක් නැහැ. ඒත් අපි වගේ ඇත්තටම වැඩ කරන්න ශාරීරික ශක්තියයි, වෙලාවයි තියෙන අය කිසිම වැඩක් නොකර ඒ ආදායම බෙදා ගන්න එක නම් අසාධාරණයි මේ වෙලාවේ. මම මේ කියන්නේ රටක් විදිහට. “
“ඒක නම් ඇත්ත.” දහම්ට කියවුණා.
“අනිත් එක මම උසස්පෙළ වෙනකම් ඉගෙන ගත්තා. ගියේ රජයේ පාසලකට. මට නොමිලේ අධ්‍යාපනය ලැබුණා. ඒවාට මුදල් වෙන් කලේ අපේ රටේ දුප්පත් මිනිස්සු. ඔයාගේ ජොබ් එකට ප්‍රශ්නයක් නැති බව ඇත්ත. ඒත් මේ වෙද්දී ජොබ් නැති වෙලා පාරට වැටුණු මිනිස්සු, පාරේ දුක් විඳගෙන වෙළඳාම් කරන මිනිස්සු, සැලරි අඩුවෙන් ලැබෙන මිනිස්සු මට මතක් වෙනවා. ඒ හැමෝම මට ලැබුණු නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් බදු ගෙවපු අහිංසක මිනිස්සු. ඉතින් මට ඒ මිනිස්සුන්ට ණය වෙලා මැරෙන්න බැහැ. ඔයා මට වෙනසක් නොකර බලා ගන්නවා කියන හේතුව නිසා විතරක් මම ඒ දුක් විඳින මිනිස්සු අමතක කරලා දැම්මොත් ඒක ගොඩක් නරක වැඩක්.” ඉනෝකා කියාගෙන ගියේ නොඉවසිල්ලෙන්.
ඉනෝකාගේ ඇස් වලට කඳුළුත් පිරිලා තියෙනවා දැක්කම දහම්ට දැනුනේ පුදුමයක්. ගෙදර හුරතලයට හැදුණු, බිරිඳක් වෙලා ආවට පස්සෙත් ඒ හුරතල් ගති නොවෙනස්ව දකින්නට ලැබුණු ඉනෝකා ඇතුලේ මේ තරම් ගැඹුරු අදහස් තියෙන බව දහම් කලින් දැනගෙන හිටියේ නැහැ.
“මට ඔයා ගැන ඇත්තටම ආඩම්බරයි. අපේ රටේ උපයන්න පුළුවන් කම තියාගෙනත් කිසිම ඉපයීමක් නොකර ඉන්න හැමෝම මේ විදිහට හිතන්න පටන් ගත්තොත් මේ වැටුණු වලෙන් ගොඩ එන්න අපේ රටට අමාරු වෙන එකක් නැහැ.” දහම් ඒ සැරේ කිව්වේ හැඟීම්බරව.
සමාධි ඩයස්