කූඹි තුඩක වරදටත් තඩි බෑවම කොටියා කෑවත් ඇවිල්ලා කියයිද?
‘‘ටීචර්, මම මේ කියන්නමයි හිටියේ. අපේ දුව ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න. පොඩි වයසට නෙවෙයි මෙයා බොරු කියන්නේ’’ පංතියේ පාඩුවේ ඉන්න සාරංගාගේ අම්මා එහෙම ඇවිල්ල කියද්දී සංගීතා ටීචර්ට පුදුමත් හිතුණා.
‘‘ඇයි සාරංගාගේ අම්මා එහෙම කියන්නේ?’’ සංගීතා ඇහුවා.
‘‘ටීචර්ට කියන්න පහුගිය සිකුරාදා මම මේ ළමයව ඉස්කෝලෙට එව්වෙ ඉන්ටර්වල් එකේ සෙල්ලම් කරන්න යන්න එපා කියලා පුළුවන් තරම් කියලා.’’ සාරංගාගේ අම්මා එහෙම කියද්දි සංගීතා ඇය දිහා බැලුවේ පුදුමයෙන් වගේ.
හය වසරේ ඉන්න පුංචි දරුවෙක්ට සෙල්ලම් කරන්න එපා කියලා එව්වේ ඇයි? සංගීතා ටීචර්ට හිතුණා. ඒත් ඇය සාරංගාගේ අම්මට කතා කරන්නට ඉඩ දීලා බලාගෙන හිටියා.
‘‘සාරංගා ඉස්කෝලේ ඇරිලා ගෙදර එනකොට තමයි මම දැක්කේ සාරංගාගේ ගවුමේ පිටේ තිබ්බ හිල. ගවුමේ පදාසයක්ම ලොකුවට ඉරිලා. මොකද වුණේ කියලා අහද්දි මේ ළමයා කිව්වා දන්නෙ නැහැ කියලා. අනේ ඉතින් මාත් මෝඩයා වගේ ඒක විශ්වාස කළා. මම හිතුවේ මෙයා නොදැනුවත්ව කොහේ හරි පැටලිලා ගවුම ඉරිලා කියලා.’’
‘‘ඉතිං?’’ සංගීතා පුදුමයෙන් වගේ ඇහුවා.
‘‘ඉරිදා දවල් තමයි මම දැනගත්තේ සිද්ධ වෙච්ච දේ. අපේ ගෙදරට එහා පැත්තේ ඉන්නේ මෙයාට වඩා අවුරුදු දෙකක් වැඩිමල් ළමයෙක්. ඒ ළමයා ඉන්නේ මේ ඉස්කෝලෙමයි. ඒ ළමයා අපේ ගෙදර ආවා අලුවා දීසියක් අරගෙන. ඒ ඇවිල්ලා සාරංගාගෙන් ඇහුවා එදා ගවුම ඉරුණා නේද කියලා. මම ඉතින් හාර අවුස්සලා ඇහුවා. කොහොමද ඒ ළමයා අපේ දුවගෙ ගවුම ඉරුණු බව දන්නේ කියලා. ඒ ළමයා කිව්වා සාරංගා සෙල්ලම් කර කර ඉන්න ගමන් ඒ ළමයගෙ පන්තියේ ජනේලේ ගාවට ඇවිත් හේත්තු වුණාලු. ආපහු ඉස්සරහට යනකොට ජනෙල් කොක්කේ ගවුම පැටලිලා ඉරුණලු. ඒ ළමයා යනකම් ඉඳලා මම සාරංගාට හොඳටම දොස් කිව්වා. පාරවල් දෙකකුත් ගැහුවා. මම කියන්නේ ටීචර් පොඩිකමට ඔහොමත් බොරු කියන්න හොඳයිද?’’ ඇය සංගීතාගෙන් ඇහුවා.
‘‘පොඩ්ඩක් ඉන්න සාරංගාගේ අම්මේ. ඇයි එදා සාරංගාට සෙල්ලම් කරන්න එපා කිව්වේ?’’
‘‘සාරංගාට පොඩි හෙම්බිරිස්සාවක් වගේ තිබුණා. දූවිලි ගොඩේ සෙල්ලම් කරන්න ගිහින් හෙම්බිරිස්සාව වැඩි වෙයි කියලා තමයි එහෙම කිව්වේ…’’ සාරංගාගේ අම්මා කිව්වා.
සංගීතාට පොඩ්ඩක් විතර හිනා යන්නත් ආවා. ඒත් ඇය හිනාව නවත්තගෙන සාරංගාගේ අම්මගෙන් මෙහෙම ඇහුවා.
‘‘දුවට වීස් එක තියෙනවද?’’
‘‘අපෝ නැහැ.’’
‘‘එහෙනම් පීනසය තියෙනවද?’’
‘‘නැහැ ටීචර්. ඇයි එහෙම අහන්නේ?’’
අන්න එතකොට නම් සංගීතා ටීචර් සාරංගාගේ අම්මට පේන්නම හිනා වුණා.
‘‘සාරංගාගේ අම්මෙ, හොඳට ඉන්න දරුවොත් බොරු කියන්න පුරුදු වෙන්නේ දෙමව්පියන්ගෙම වැරදි නිසා. දරුවෝ බොරු කියන්නෙ දඬුවමට බය නිසා. අනිත් එක හෙම්බිරිස්සාව කියන්නේ සාමාන්‍ය ලෙඩක්නේ. ඒ වගේ දෙයක් නිසා මේ හය වසරේ සෙල්ලම් වයසේ ඉන්න දරුවෙක්ට සෙල්ලම් කරන්න එපා කියලා ඉස්කෝලෙ එවන එක ගැලපෙන්නේ නැහැ නේද? අනිත් එක හැම පුංචි දේටම දඬුවම් කරන්න ගියාම දරුවෝ බයට බොරු කියනවා තමයි. දෙමව්පියො ඉන්න ඕනේ දරුවොත් එක්ක යාළුවෝ වගේ. දෙමව්පියෝ කියන්නේ දරුවන්ට බය හිතෙන වචනයක් නම් දරුවෝ තමන්ගේ ඇත්ත දෙමව්පියන්ගේ ඉස්සරහා දිග අරින්න බය වෙනවා. ඉතින් ඒකට දරුවන්ට බැනලා වැඩක් නැහැ.’’
සංගීතා ටීචර් පැහැදිලි කරද්දී සාරංගාගේ අම්මා නිහඬ වුණා.
සමාධි ඩයස්