විශේෂාංග

ජනාධිපති කරන්නේ පිහියෙන් ඇනලා සමාව ඉල්ලනවා වගේ වැඩක්

රට මුහුණදෙමින් සිටින ආර්ථික අර්බුදයේ තරම මේ වනවිට කිසිවෙකුටත් රහසක් නොවේ. සඳහා විසඳුම් සෙවීමේදී මූලිකත්වයේලා සැලකිය යුතු කරුණු ගැනත්, බත් මුට්ටිය පිසගැනීමේ සිට සාමාන්‍ය ජනතාව මුහුණදෙන දුෂ්කරතා ගැනත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමඟින් කළ සම්මුඛ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සැකසේ.

අපේ රට අද බරපතළ ආර්ථික ප්‍රපාතයකට ඇදවැටී අවසන්. ගෘහනියක්, මවක් හැටියට මේ පිළිබඳව ඔබේ කියැවීම කෙබඳුද?

ඇත්තටම ඉතාම බරපතළ ඒ වගේම දුක්ඛිත තැනකටයි රට ගමන් කරමින් තිබෙන්නේ. විශේෂයෙන් අම්මලා කියන්නේ ආහාර සුරක්ෂිතතාව ගැන ගොඩක් කල්පනා කරන කොටසක්. අපි දන්නවා ඉස්සර අපේ අම්මලා උයන්න ගන්න හාල් ටිකෙන් මිටක් වෙනම මුට්ටියක දාලා ඉතිරි කරනවා. ඒ මොනයම් හරි ආපදා දවසක් ආවොතින් එදාට පරිභෝජනයට ගන්න. ඒ අම්මගේ දැක්මට වඩා එහා ගිය ආර්ථික දැක්මක් රට කරවන දේශපාලනඥයා සතුවිය යුතුයි. ඒ වෙන්න ඕන වගකීම ඉටු නොවීම හමුවේ අද අපිට ඕන ආහාර ටික නැහැ. බඩු මිල අහස උසට නැගලා. එක්දහස් හාරසියයට තිබුණු ගෑස් එක රුපියල් පන්දාහක් වෙලා. දරුවන්ගෙ අධ්‍යාපනය කඩා වැටිලා. බෙහෙත් ටික නැති වුණාමත් වද විඳින්න වෙන්නේ අම්මලාටයි. අපි දීර්ඝ කාලයක් තිස්සේ ණය අරගෙන කාපු කතාව ඇත්ත. ඒත් මේ වර්තමාන අර්බුදයට නම් වගකිව යුත්තේ පැහැදිලිවම මේ ආණ්ඩුවයි.

ඇයි ඔබ එහෙම කියන්නේ? ඔබත් එම ආණ්ඩුවේ කොටස්කාරිනියක් නේද?

ඔව්. මමත් ඇතුළුව පක්ෂ විපක්ෂ හැම දේශපාලනඥයෙක්ම, ආර්ථිකය සම්බන්ධව තීන්දු තීරණ ගත් හැමදෙනෙක්ම ඊට වගකිව යුතුයි. ඇත්තටම වර්තමාන මුදල් ඇමති අලි සබ්‍රි මහත්තයා මේ ඇත්ත රටට පෙන්නලා දුන්නට ස්තූතිවන්ත වෙන්න ඕන. ඒ කතාව හරියට ඇහුවනම් අපි වැටිලා ඉන්න ආර්ථික ප්‍රපාතයේ තරම මොනතරම්ද කියනෙක පැහැදිලි වෙනවා. ඔහු එම කතාවෙදි කියනවා, අපට මේ ආර්ථික අගාධයෙන් ගොඩ එන්න අවුරුදු දෙකක් යාවිද ඊට වඩා කාලයක් යාවිද කියලා කියන්න බැහැ කියලා. ඇත්තටම අද වෙනකොට රට හමුවේ තියෙන යථාර්ථය ඒකයි. මේවා බලධාරින් නිලධාරින් කලින් දැකිය යුතු දේවල්. මේ තත්ත්වය අපි දැක්කා. වාහනයක් ප්‍රපාතයට යන එක වළක්ව ගන්න නම් තිරිංග තද කරලා අල්ලගන්න ඕන. ආර්ථිකයත් ඒ වගේ. මම කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍යවරිය විදියට ඉඳිද්දි ඖෂධ හිඟය ගැන කියලා විදෙස්ගත ධානපතියන්ගෙන් ඖෂධ ටික ඉල්ලුවම ඒකට ඇතැමුන් මට හිනාවුණා. අද අත්‍යවශ්‍ය ඖෂධ රැසක් රට තුළ නැහැ. බොහොමයක් සැත්කම් කරනෙක කල්දාලා ජනතාවගේ ජීවිත අනතුරේ හෙලලා.

කොරෝනා කාලේ ගඟට මුට්ටි දැම්මා. දැන් ඉන්දියාව ඖෂධ ගන්න දුන් මුදල්වලින් ආණ්ඩුව යකඩ බට අරන් ස්ථිර මාර්ග බාධක හදනවා කියලා චෝදනාවක් තියෙනවා?

ඒ චෝදනාව ගැන නම් මම හරියටම කියන්න දන්නේ නැහැ. කොහොම නමුත් රටකට ආහාරපාන ටික වගේම ඖෂධත් අත්‍යවශ්‍යයි. මුට්ටි දාන මිථ්‍යාව ඇතුළේ නෙවෙයි ඇත්තට මුහුණ දෙන්න අපිට හොඳටම කාලය තිබුණා. මම නැවතත් කියන්නේ මේ ආණ්ඩුව මේ අර්බුදයට වගකිව යුතුයි. ජනතාව අද ජීවත්වෙන්නේ මහා ලොකු අස්ථාවර බවක් එක්ක. හෙට දවස මොනවා වේවිද කියන බය හැමෝටම තියෙනවා.

රසායනික පොහොර ප්‍රශ්නෙදි, තමන්ට වැරදුණා ඒ ගැන සමාවෙන්න කියනෙක ජනාධිපතිවරයා කිව්වා. හැබැයි ඒ ප්‍රශ්නෙටත් තවම විසඳුමක් නැහැ? ගොවියෝ ගොවිතැනින් ඉවත්වෙමින් ඉන්නවා.

අද එකිනෙක ගැටගැහුණු ප්‍රශ්න වැලක අපි ඉන්නේ. පොහොර ගැන ගත් තීන්දුව වැරදියි. ඊට සමාවෙන්න කිව්වට වැඩක් නැහැ. ඒක මිනිහෙකුට මැරෙන්න පිහියෙන් ඇනලා ඇවිත් සමාවෙන්න කියලා කියනවා වගේ වැඩක්. අද ඒ තීරණය නිසා මිලියන විසිදෙකක ජනතාවක් පීඩා විඳිනවා. මට මතකයි 70-80 ලෝකෙම ආහාර අර්බුදයක් ඇතිවුණ කාලේ සිරිමාවෝ මැතිනිය පාසල් පිට්ටනිවල පවා අල බතල වගා කරන්න කියලා කිව්වා. එහෙමයි එදා ආහාර සුරක්ෂිතතාව ඇති කළේ. අපිටත් අද ප්‍රශ්නයක් තියෙන බව ජනතාව දන්නවා. ගෙදර තියෙන පුංචි ඉඩේ හරි මොනවාහරි වගා කරගන්න එක වැදගත්. මොකද අපිට මේ අර්බුදයට මූණ දෙන්නම වෙනවා.

ඔබේ ගෙවත්තේ එවැනි ආදර්ශයක් තියෙනවද?

මම සියලු කොළ, පළා වර්ග ටික මගේ ගෙවත්තේ වගා කරලා තියෙනවා. ඒක මම කළේ අද ඊයෙක නෙවෙයි. වස විස නැති එළවලු, කොළ, පලා ටික කෑම වැදගත් නිසයි එහෙම කළේ. මම කොළ, පළා වවද්දි මගේ තව ඥාතියෙක් එළවලු වවනවා. අපි ඒවා හුවමාරු කරගන්නවා. උයන්න ගෑස් එක ගන්න එක අද හුඟදෙනෙකුට ප්‍රශ්නයක්. එහෙමයි කියලා අම්මා කෙනෙකුට දරුවෝ බඩගින්නේ තියන්න බැහැ. ගමේ නම් දර ලිපක්, පොල්කටු අඟුරු දාන ලිපකට හරි යන්න වෙනවා. තරුණ දරුවෝ අරගල, හර්තාල් කරලා සැබෑ නායකත්වයක් හොයද්දි පුළුවන් විදියට අපි අපේ දායකත්වය දෙන්න ඕන. රට අස්ථාවර කිරීම තවදුරටත් සුදුසු නැහැ. හැමෝම වරප්‍රසාද අයින් කරලා මේ වෙලාවේ රට ගැන හිතන්න ඕන. IMF යන්නත් රටේ ස්ථාවර බවක් තියෙන්න ඕන. ඒ අතරේ අරගල කළාට කමක් නැහැ. හැබැයි රට තව තවත් අස්ථාවර වුණොත් ඒ ගැඹුරින් ගොඩ එන්න අපට සෑහෙන කාලයක් යනවා.

ඒ ස්ථාවරය ඇති කරන්න මේ ආණ්ඩුවට පුළුවන්ද?

කොහෙත්ම නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න සියල්ලන්ම මෙය අවබෝධ කරගත යුතුයි. අද අපට ඩොලරුත් නැහැ. රුපියලුත් නැහැ. ජනතාව ඉල්ලන දේශපාලන වෙනස ඉක්මනින් වෙනවා නම් හොඳයි. රට ස්ථාවර කරගන්න එය හේතුවක්. අපට එසේ ඉක්මනින් යා යුතු ගමනක් දැන් තියෙන්නේ. මේ ආණ්ඩුවට ඉල්ලා අස්වෙන්න කාලේ හරි. සර්ව පාර්ෂික හෝ ඊට සමාන විසඳුමක් ගෙනෙන දේශපාලන විසඳුමකට යා යුතුයි.

එතැනදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපි, අපි ගැන හිතලා නෙවෙයි තීන්දු තීරණ ගන්න ඕන. රට ගැන හිතලයි. ඒ නායකත්වය තුළ අපිට IMF කලින් යන්න තිබුණා. එහෙම වුණානම් අද මේ තත්ත්වය වෙන්නේ නෑ කියන එක නෙවෙයි නායකත්ව දැක්ම කියන්නේ. අපි ඉතා ඉක්මනින් මේ රට නිවැරදි දිශානතියට ගත යුතුයි. තරුණ දරුවෝ ඒ වෙනුවෙන් දේශපාලනඥයන්ට පීඩනයක් එල්ල කිරීම වරදක් නොවෙයි.

දීපා වසන්ති එදිරිසිංහ