ඕනම දෙපයකට විනාඩි දහයෙන් වැටකොළු සෙරප්පු ජෝඩුවක්
ඒ මීට ටික කාලයකට උඩදීය. එදා සුමනාත් ඇගේ එකම පුතාත් බුත්තල ප්‍රදේශයට ගියේ පෞද්ගලික කටයුත්තක් වෙනුවෙනි. පුංචි සන්දියේ පටන් සොබාදහමට හිත බැඳි පුරුද්ද නිසා සුමනාගේ ඇස් යොමුවී තිබුණේ පාර දෙපස වූ ගහකොළ දිහාවටය. ඒ අතරවාරයේ නන්නාඳුනන ගෙවත්තක වූ ඵලබර වැටකොළු වැලක් ඇගේ සිත් ගත්තාය.
“මං ඒ වැල ගාවට ගිහින් බලද්දී ඒක නියං වැටකොළු වැලක්. ඒක අපි උයන වැටකොළු ජාතිය නෙවෙයි. ඒ දවස්වල මං අත්කම් නිර්මාණ කරන්න ආසයි. ඉතින් මොකක් හරි නිර්මාණයක් කරනවා කියලා හිතාගෙන ගෙදර අයගෙන් අහලා ඒ නියං වැටකොළු ටික ඔක්කෝම කඩාගත්තා.”
මහන්නට ගොතන්නට කවදත් ප්‍රිය කළ සුමනා නියං වැටකොළු කරල් ටිකත් රැගෙනවිත් ඊළඟට බැලුවේ එයින් කළ හැකි නිර්මාණයක් ගැනය. එක්වරම කිසිවක් ඔලුවට නොආවත් ඇය ඒ වැටකොළු කරල්වල කෙඳි භාවිතා කර පෙනුමෙන් විශාල බෝනික්කෙක් නිර්මාණය කළාය.
“ලංකාවේ ගොඩාක් අය නියං වැටකොළු කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ. දන්න ටික දෙනාත් ඒවගෙන් වැඩකට කියලා කළේ නානකොට ඇඟ අතුල්ලන එක විතරයි. සාමාන්‍යයෙන් නියං වැටකොළු කරල් මෝරපුවම ඒක ඇතුළේ කොස්සක් වගේ එකක් තියෙනවා. අන්න ඒක අරන් තමයි මිනිස්සු නානකොට ඇඟ අතුල්ලන්නේ. ඉතින් එහෙම තැනකට දාලා තිබුණු වැටකොළු කරලේ කෙඳි අරන් තමයි මං ලොකු බෝනික්කෙක් හැදුවේ. ඒක මං වතාවත් ලංකාවේ තිබුණු චෝගම් එකට ප්‍රදර්ශන භාණ්ඩයක් විදියටත් ඉදිරිපත් කළා.”
එසේ ප්‍රදර්ශනයට ගිය සුමනාගේ බෝනික්කාට ඇයත් නොසිතූ අන්දමේ ආකර්ෂණයක් ලැබුණි. ඒ අකර්ෂණයෙන් දිරිමත් වූ ඇයට නියං වැටකොළු කෙන්දෙන් කළ හැකි නව නිර්මාණ පිළිබඳ එතෙක් නොවූ විරූ පිපාසාවක් ඇතිවිය. එහෙත් ඒ නිර්මාණ පිපාසය සංසිඳුවා ගැනීමට සෑහෙන තරම් නියං වැටකොළු නම් කොළඹ, පිටකෝට්ටේ පදිංචි සුමනාට තිබුණේ නැත.
“මං නියං වැටකොළු බීජ හොයාගෙන ගෙදර වත්තේ වගා කරන්න පටන්ගත්තා. හරි ඉක්මණට ඒ බීජ පැළ වුණා. වතුර පොහොර කිසිම දෙයක් උවමනා වුණේ නෑ. ඊටපස්සේ මං විවිධ දේවල් නිර්මාණය කරන්න පටන්ගත්තා.”
ඒ අනුව සුමනාගේ අතින් පරිසර හිතකාමී බොහෝ නව නිෂ්පාදන ප්‍රමාණයක් බිහිවිය. ඇතැම් ඒවා සාර්ථක වනවිට තවත් නිෂ්පාදන බලා සිටියදී අසාර්ථකද විය. එහෙත් ඒ අතරින් ඇය අවසානයේ අපූරු නව නිෂ්පාදන දෙකක් මතුකර ගත්තාය. ඒ වැටකොළු කෙඳි සෙරෙප්පු සහ වැටකොළු කෙඳි පාපිස්නාය.
“ඒ වෙනකොට මට ජාතික ශිල්ප සභාව විසින් දෙන විශ්වකර්ම සම්මානය ලැබිලා තිබුණේ. ඒ සම්මානය කෙනෙක්ට ලේසියෙන් ගන්න බැරි එකක්. ඒත් මට ඒක ගන්න පුළුවන් වුණා. ඊටපස්සේ මං වැටකොළු කෙඳි පාපිස්නාවට පේටන්ට් බලපත්‍රය අරගන්න හිතුවා. ඒකත් මට මාස කීපයක් ඇතුළත ගන්න පුළුවන් වුණා. ඒ අතරේම එංගලන්තයේ ඉන්න ශ්‍රී ලංකා වෘත්තිකයෝ එකතුවෙලා පරිසර හිතකාමී නව නිෂ්පාදනවලට සම්මාන දෙන වැඩසටහනක් කළා. එතැනදිත් මටත් සම්මානයක් ලැබුණා. ඔය වගේ ජාතික වගේම ජාත්‍යන්තර සම්මාන කීපයක්ම ඒ නිෂ්පාදන නිසා මට දිනාගන්න පුළුවන් වුණා.”
පේටන්ට් බලපත්‍රය හිමි සුමනාගේ වැටකොළු කෙඳි පාපිස්නාවටත් වඩා මේ දිනවල කාගේත් අවධානය යොමුවී ඇත්තේ වැටකොළු කෙඳි සෙරප්පු කෙරෙහිය. ඇය පවසන්නේ ඇයට ඉතා කෙටි කාලයක් තුළ සෙරප්පු ජෝඩුවක් නිර්මාණය කළ හැකි බවයි.
“මට විනාඩි දහයෙන් සෙරෙප්පු ජෝඩුවක් හදන්න පුළුවන්. ඒ වෙලාවෙම වැලෙන් කඩන වැටකොළු කරල් කීපයකින් තමයි එච්චර පොඩි කාලයකින් සෙරප්පු ජෝඩුවක් හදන්නේ. වෙන අමුද්‍රව්‍ය කිසිම දෙයක් භාවිතා කරන්නේ නෑ. කැමති නම් රබර් අඩියක් ගහන්න පුළුවන්. ඒත් ඒක අවශ්‍යම නෑ. ප්‍රමිතිය ගත්තම හැමදාම දැම්මත් මාස පහ හයක් විතර සෙරප්පු ජෝඩුව දාන්න පුළුවන්.”
මේ දිනවල සෙරප්පුවල මිල ගණන් ගැන අමුතුවෙන් කියන්නට උවමනා නැත. ඒ නිසා සුමනාගේ වැටකොළු කෙඳි සෙරප්පුවලට හොඳ වෙළඳපොළක් නිර්මාණය කරගත හැකි බව ඇගේ පෞද්ගලික අදහසයි. අවශ්‍ය නම් ඕනෑම අයෙකුට ස්වයං රැකියාවක් ලෙසද මෙය කළ හැකි බව ඇය කියන්නීය.
“ලාබදායි ස්වයං රැකියාවක් විදියට මේක කරන්න පුළුවන්. දැනටමත් මගෙන් සෙරප්පු, පාපිස්නා ගන්න අය ඉන්නවා. ඒ අයගෙන් හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා. ඊට අමතරව මේ වෙනකොටත් මං වැටකොළු කෙන්දෙන් තව තව නිෂ්පාදනවලට අතගහලයි තියෙන්නේ.”
70 හැවිරිදි ඇගේ එකම අපේක්ෂාව වන්නේ තම නිෂ්පාදන මෙරට ව්‍යාප්ත කිරීම සහ සංචාරක ව්‍යාපාරයේ දියුණුව වෙනුවෙන් යෙදවීමයි. වයස ගැනද නොසිතමින් ඇය දැන් වෙහෙසෙන්නේ ඒ වෙනුවෙනි. ඉතින් වයසට ගියත් සතුටින් ජීවිතය දරන්නියක වන සුමනා කතාබහ අවසානයේදී සමස්ත ‘ධරණී’ පාඨකයින්ට තම නියං වැටකොළු කෙඳි නිෂ්පාදන ගැන මෙලෙසින් පැවසුවාය.
“අද වෙනකොට ලංකාවේ ගොඩාක් විවාහක කාන්තාවෝ ගෙවල්වල නිකන් ඉන්නේ. ඒ අයට මං කියන්නේ කම්මැලි නොවී මේ වගේ දෙයක් පටන්අරන් දියුණුවෙන්න කියලා. ආත්මතෘප්තියට වගේම අර මුලින් කිව්වා වගේ ස්වයං රැකියාවක් විදියටත් මේක කරන්න පුළුවන්. එහෙම කැමති ඕනම කෙනෙක්ට අතදෙන්න මං කැමතියි.”
රුවන් එස්.සෙනවිරත්න