ගල්යුගයේ මිනිස්සුත් අව්කණ්ණාඩි දැම්මෙ පොෂ් වෙන්නද?
මැලේසියාව, අප්‍රිකාව, මාලදිවයින, පිලීපීනය, මැදපෙරදිග රටවල් වගේ රටවල්වලට බොහොම තදට හිරුඑළිය වැටෙනවා. ඉතින් මේ රටවල ගොඩක් උදවිය අව්වෙන් ඇස් බේරගන්න හිතාගෙන සන්ග්ලාසස් දානවා. හැමෝම වගේ සන්ග්ලාසස් දාන නිසා ඒක ඒ අයට අරුමයක් නෙමෙයි. ඉතින් එයාලා සන්ග්ලාස් දාන අය දිහා ඇස් වපර කරලා අමුතුවට බලන්නේ නෑ. “අර බලපන්කෝ අරකිගේ ෂෝ එක” කියලා අව්කණ්ණාඩි දාපු අයට කෝචෝක් කරන්නේත් නැහැ. උඩ ඉඳලා යටට යනකල් බලලා කින්ඩියට වගේ හිනාවෙන්නෙත් නැහැ.
අපේ රටත් සමකාසන්න රටක්. ඉතින් අපිටත් බොහොම තදින් හිරුඑළිය වැටෙනවා. හැබැයි මෙහෙ හැමෝම සන්ග්ලාසස් දාන්නේ නැහැ. යාන්තමට හරි කණ්ණාඩි කුට්ටමක් දාන්නේ කාර්වල, මෝටර් සයිකල්වල යන අය විතරයි. ඇයි සාමාන්‍ය අයට අව්කණ්ණාඩි තහනම්ද?
කාලෙකට කලින් වුණු සිද්ධියක් මතක් වුණා. සන්ග්ලාසස් දෙකක් දාගත්තු ලස්සන ගෑනු ළමයෙක් මම හිටපු බස් හෝල්ට් එකේම හිටගෙන හිටියා. එතැන හිටපු වැඩිමහල් කාන්තාවෝ කීපදෙනෙක් අර කාන්තාව ගැන කුටු කුටු ගගා මොනවදෝ කියවන්න ගත්තා. “බොරුවට කණ්ණාඩි දෙකකුත් දාගෙන අන්ධයෙක් වගේ” ඔය කතාව මට වගේම අර ගෑනු ළමයටත් ඇහුණා. ඉතින් අව්කණ්ණාඩි දෙක ශේප් එකේ ගලෝලා බෑග් එකට ඔබාගත්තු එකයි ඇය කළේ.
අපි ඉන්නේ රස්නේ රටක. ඒ නිසා ගිනිගහන අව්වේ පාරට බැස්සහම ඇස්වලටයි, ඇස් වටේ සමටයි ලොකු හානියක් වෙනවා. ඉතින් ඇස් දෙකයි ලස්සනයි දෙකම රැකගන්න ඕනේ නම් අව්කණ්ණාඩි දාන්නම ඕනේ. අර කියාපු ගෑනු ළමයා වගේ අනිත් උන්දැලා කියන එව්වගෙන් හිත ගස්සගන්නේ නැති කෙනෙක් නම් විතරක් මේ ලිපිය කියවලා හෙට ඉඳලම සන්ග්ලාසස් දාන්න පටන්ගන්න.
මිනිස්සු අව්කණ්ණාඩි පාවිච්චි කරන්න පටන්ගත්තේ ගල්යුගයේ ඉඳලා. හැබැයි සන්ග්ලාසස් කියන්නේ නවීන ලෝකේ නාඩගමක් කියලා හිතන ඈයෝ ඒ බවක් දන්නේ නැහැ. ඇමරිකාවේ හිටපු එස්කිමෝවරු තමයි මුලින්ම අව්කණ්නාඩි පාවිච්චි කරලා තියෙන්නේ. සත්ව කටුවලින් ෆ්‍රේම් එක හදාපු මේ කණ්ණාඩි මැදට සීල් දත්වලින් හදාපු කණ්ණාඩියක් පවා ඔබ්බවලා තියෙනවලු.
ඒ වගේම ක්‍රි.ව. 37-68 කාලේ රෝමය පාලනය කරාපු නීරෝ කොලෝසියමේ ග්ලැඩියේටර සටන් නරඹන්න එමරල්ඩ් ගල්පතුරුවලින් හදාපු සන්ග්ලාසස් පාවිච්චි කළාලු. එතකොට අද අපි පාවිච්චි කරන අව්කණ්ණාඩි හදලා තියෙන්නේ ඇමරිකාවේ සෑම් ෆෝස්ටර් 1919දී. පස්සේ මෙව්වා බොහොම ඉක්මනින් මිනිස්සු අතරට ගිහින්. මර්ලින් මොන්රෝ, ජැක් නිකලොස්, ජැකී කෙනෙඩි වගේ නිළියෝ අව්කණ්ණාඩි පාවිච්චි කරන්න ගත්තු නිසා මෙව්වා තරුණියන් අතරත් ජනප්‍රිය විලාසිතාවක් වුණාලු. සන්ග්ලාසස් දැම්මහම හොඳ පෙනුමක් ලැබෙනවා තමයි. හැබැයි ඊටත් වඩා ඇස් දෙකයි සැබෑ පෙනුමයි ආරක්ෂා කරගන්න අව්කණ්ණාඩි අපිට උදව් කරනවා.
හිරුකිරණේ පාරජම්බුල කිරණ (UV) කියලා අපේ ශරීරයට අහිතකර කිරණයක් තියෙනවා. රටකට වැටෙන හිරුඑළියේ ත්‍රීව්‍රතාවය එක්ක UV කිරණ මනින දර්ශකයක් තියෙනවා. අපේ රටේ UV ප්‍රමාණය තියෙන්නේ 8-12ත් අතර. ඒකේ තේරුම අපිට මේ කිරණය ඉතා වැඩි වශයෙන් වැටෙනවා කියන එක. ඉතින් පාරජම්බුල කිරණවලින් ආරක්ෂා වුණේ නැත්තම් ඇසේ සුද, ග්ලුකෝමා, අන්ධබව වුණත් එන්න පුළුවන්. ඒ වගේම අක්ෂි පිළිකා ඇතිවෙන්නත් මේක හේතුවක්. අන්න ඒ නිසයි අපි අනිවාර්යයෙන්ම සන්ග්ලාසස් දාන්න ඕනේ. අව්වට ඇස් පිච්චිලා ඇස් වටේ කළුවෙන එක නතර කරන්නත්, දූවිලිවලින් ඇස් පරිස්සම් කරන්නත් අව්කණ්ණාඩිවලට පුළුවන්.
හැබැයි ඉතින් ගන්නන් වාලේ අව්කණ්ණාඩි ගත්තට වැඩක් නැහැ. සන්ග්ලාසස් ගන්නකොට බලන්න ඕන කාරණා කිහිපයක්ම තියෙනවා. හිරුඑළියේ UV-A, UV-B, UV-C කියලා පාරජම්බුල කිරණ කොටස් තුනක් තියෙනවා. මෙව්වගෙන් UV- A කියන කොටස පොළොවට වැටෙන්නත් කලියෙන් ඕසෝන් ස්ථරෙන් බ්ලොක් කරලා දානවා. හැබැයි අනිත් කොටස් දෙකම අපිට වැදෙනවා. ඉතින් කණ්ණාඩි ගන්නකොට මේ දෙක බ්ලොක් කරන්න පුළුවන්ද කියලා බලන්න ඕනේ. ප්‍රමිතිය ගැන හිතන්න.
හැබැයි අව්කණ්ණාඩි නොදා හිටියත් බාල එව්වා නම් දාන්න එපා. සාමාන්‍යන් අපි හිරුඑළියේ යනකොට අපේ ඇහේ කණීනිකාව පොඩිවෙලා අක්ෂි කාචය ඇතුළට යන UV ප්‍රමාණය ස්වභාවිකවම අඩු කරනවා. හැබැයි බාල අව්කණ්ණාඩි දෙකක් දැම්මහම ඇස්වලට හිරුඑළිය වැටෙන්නේ නැති නිසා කණීනිකාව පොඩිවෙන්නේ නැහැ. එතකොට UV කිරණ කෙළින්ම ඇහැ ඇතුළට යනවා. ඒ කියන්නේ අව්වේ යනකොට වැටෙනවට වඩා වැඩි කිරණ ප්‍රමාණයක් ඇහැට වැටෙනවා.
සන්ග්ලාසස් ගන්නකොට මූණේ හැඩේ ගැනත් හිතන්න වෙනවා. නැත්තම් ඉතින් එළ හරකයි මී හරකයි වගේ කිසි ගැලපීමක් නැතිවෙන්න පුළුවන්. ඕවලාකාර, රවුම්, හදවත, දියමන්ති හැඩය, හතරැස්, ත්‍රිකෝණාකාර කියලා මුහුණු හැඩ කිහිපයක්ම තියෙනවා. මෙව්වගෙන් ඔයාගේ මුහුණේ හැඩේ මොකද්ද කියලා දන්නවනේ. ඒ ඒ හැඩවලට ගැලපෙන්න අව්කණ්ණාඩි හැඩ තෝරගන්න ඕනේ.
ඕවල් මුහුණ
එවියේටර් කණ්නාඩි, කැට් අයි, ඍජුකෝණාස්‍ර කණ්ණාඩි, මුහුණට වඩා විශාල සන්ග්ලාසස්, සමනල හැඩයේ එව්වා තමයි වැඩිය හොඳ. මුහුණට වඩා විශාල රාමු තියෙනවා නම් ලස්සන වැඩි කරවනවා.
හදවත් හැඩය
එවියේටර්, කැට් අයි, රවුම් කණ්ණාඩි, චතුරස්‍ර හැඩ හදවත් මුහුණු තියෙන අයට කැපෙනවා. හැබැයි කොයිම වෙලාවකවත් පුංචි ෆ්‍රේම් තියෙන අව්කණ්ණාඩි ගන්න එපා.
දියමන්ති හැඩය
මේ අයට ගැලපෙන්නේ පොඩි ෆ්‍රේම් තියෙන සන්ග්ලාසස්. එවියේටර්, ඕවල් කණ්ණාඩි සහ රවුම් හැඩයේ එව්වා.
හතරැස් මුහුණ
එවියේටර්, රවුම් හැඩය, ඍජුකෝණාස්‍ර, කැට් අයි, ඕවල් වගේ හැඩ තමයි හතරැස් මුහුණකට ගැලපෙන්නේ. ඒ වගේම රාමුවේ පළල මුහුණට සමාන එව්වා වගේම වර්ණ ෆ්‍රේම් සහිත එව්වා මේ අයගේ පෙනුම වැඩි කරවනවා.
ත්‍රිකෝණාකාර
ඍජුකෝණාස්‍ර, ඕවල්, ක්ලබ්මාස්ටර්ස්, එවියේටර්.
රවුම් හැඩය
ඍජුකෝණාස්‍ර, හතරැස් හැඩය, එවියේටර් තමයි රවුම් මුහුණක් තියෙන අයට ගැලපෙන්නේ.
ඒ වගේම හිරුඑළියේ ත්‍රීව්‍රතාවය එක්ක සන්ග්ලාසස්වල වීදුරුවේ පාට ගැනත් හිතන්න. නිතරම තද අව්වේ යන කෙනෙක් නම් දුඹුරු, අළු, කොළ වගේ පාට පාවිච්චි කරන්න. එතකොට සාමාන්‍ය අව්වකට නිරාවරණය වෙන කෙනෙක් නම් කහ, රත්තරං පාට, ඇම්බර්, රෝස වගේ පාටක් තෝරගන්න. ඒ වගේම ඇහැ විතරක් වැහෙන ප්‍රමාණෙට නැතිව ඇහැ වටේම කවර් වෙන එකක් ගන්න. අව්කණ්ණාඩියේ රාමුවේ විලාසිතාව ගැනත් හිතන්න. ඒක දීර්ඝකාලයක් පවතින එකක්ද කියලා වගේම වැඩිය බර නැති සැහැල්ලු එකක්ද කියලත් බලන්න. පාට පාට ලොකු මෝස්තර තියෙන එව්වා විනෝද චාරිකාවකට, බීචි ගමනකට වගේ ඇරෙන්න සාමාන්‍ය භාවිතයට නම් ගැළපෙන්නේ නැහැ.
අව්කණ්නාඩි දෙකක් තෝරගන්න වගේම ඒක හරියට පාවිච්චි කරන්නත් දැනගන්න ඕනේ. තද හිරුඑළියකට විතරක් නෙමෙයි එළිය අඩු දවස්වලටත් අව්කණ්ණාඩි දාන්න. හැබැයි ගෘහස්ථ ස්ථානවලදියි, රෑටයි කණ්ණාඩි දාන්න යන්න එපා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා හවස්වරුවක සන්ග්ලාසස් දාගෙන ක්‍රිකට් ගහන වීඩියෝවක් කාලයක් සමාජ මාධ්‍යවල උසුළු විසුළුවලට ලක්වුණා මතකයි. ඉතින් අව්කණ්ණාඩි දාන්න ඕනේ කොයිවෙලාවටද නොදාන්න ඕනේ කොයිවෙලාවටද කියන එක තෝරබේරගන්න තරම් බුද්ධිමත් වෙන එක තමන්ගේ වැඩක්. අනික කළුවරේ අව්කණ්ණාඩි දාන එකෙන් අපේ ඇස්වලටත් හානිවෙනවා.
ඉස්සර දැන් වගේ ෆෝන් තිබුණේ නැහැනේ. ඉතින් පත්තරවල ‘මිතුරු හවුල’ වගේ එව්වට ලියලලු යාළු මිතුරියෝ හොයාගන්නේ. ඒකට අදාළ පුද්ගලයගේ මුද්දරේක තරම් ෆොටෝ කැල්ලකුත් පළ කරනවලු. ඉතින් සමහර අය ඒ කාලේ තිබුණු බෝතල් මූඩි තරම් ලොකු සන්ග්ලාසස් එහෙම දාලා ගත්තු ෆොටෝස් පත්තරේට එවනවලු. ඇස් දෙක පේන්නේ නැති නිසා එහෙම ෆොටෝ එවන අයට කවදාවත් මිතුරු ලිපි එන්නේ නැහැයිලු. ඇස් කියන්නේ මනුස්සයෙක්ගේ අනන්‍යතාව පෙන්නුම් කරන ප්‍රධානම දෙයක්. ඒ නිසා අනන්‍යතාව පෙන්නන්න ඕන වෙලාවට අව්කණ්ණාඩි ගලවන්න. ඒ වගේම දන්න කියන කෙනෙක් එක්ක කතා කරද්දිත් පුළුවන් නම් අව්කණ්ණාඩි ගලවන්න. එතකොට දෙන්නා අතර හොඳ සංවාදයක් හදාගන්න පහසුයි.
සමහරු සන්ග්ලාසස් ගන්නේ ඔලුවෙයි, ඇඳුමෙයි, බෙල්ල පිටිපස්සෙයි රඳවගෙන ඉන්න. හදිසි වෙලාවකදි ඒ වැඩේ කළාට කමක් නැහැ. හැබැයි සන්ග්ලාසස් දාන්නේ ෆැෂන් එකට කියලා හිතලා එව්වා ඔලුවෙයි, බෙල්ලෙයි, ඇඳුම අස්සෙයි දාගෙන ඉන්නවා නම් ඒක මහ මෝඩ වැඩක්.
ඒ වගේම ගෙදර අම්මා තාත්තා විතරක් නෙමෙයි පොඩි අයටත් අව්කණ්ණාඩි පාවිච්චිය හුරු කරන්න. පොඩි කාලේ ඉඳලම අව්කණ්ණාඩි දැම්මහම හතලිහ පැන්න හැටියේ හතලිස් ඇඳිරිය වගේ අක්ෂි ගැටලු ඇතිවෙන්නේ නැතිලු. පාසල් යන ළමයින්ට ක්‍රීඩා පිටිවලදි අව්කණ්ණාඩි අනිවාර්යය කරලා ඔස්ට්‍රේලියාව මේ ළඟදි අලුත් නීතියකුත් ගෙනවා.
තමන්ට ගැලපෙන අව්කණ්ණාඩි තෝරගන්න බැරි නම් අක්ෂි වෛද්‍යවරයෙක්ගෙන් උපදෙස් ගන්න. ඒ වගේම භාවිතා නොකරන වෙලාවට ඒක ආරක්ෂිතව අව්කණ්ණාඩි පෙට්ටියකින් අරන් තියන්න. ආයේ පාවිච්චි කරන්න කලින් මයික්‍රොෆයිබර් රෙදිවලින් පිහදාන්න. සන්ග්ලාසස් දෙකක් අවුරුදු දෙකක් දාන්න කියලයි වෛද්‍යවරු නිර්දේශ කරන්නේ. හැබැයි නිතරම හිරුඑළියට නිරාවරණය වෙනවා නම් ඊට කලින් සන්ග්ලාසස් මාරු කරන්න වෙනවා. ඒ වගේම පොතු ගැලවිච්චි, ඇදවුණු, පැල්ලම් තියෙන කණ්ණාඩි පාවිච්චි කරන්නත් එපා.
මිනිස්සු සන්ග්ලාසස් දාන්නේ පොෂ් වෙන්න නෙමෙයි කියලා දැන් තේරෙනවනේ. ඒ නිසා මේ අවුරුද්දේවත් සමාජෙ දිහා බලපු ඒ පරණ කණ්ණාඩි කුට්ටම ගලවලා අව්කණ්ණාඩිවලට මාරුවෙමු.
සෙව්වන්දි හෙට්ටිආරච්චි