මගේ හඬින් නිළියන් දඩයම් කරන පල්හොරාව අල්ලන්න -මහාචාර්ය සුනිල් ආරියරත්න
මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ලෙස පෙනී සිටිමින් ප්‍රකට නිළියන්ගේ සහ නිරූපිකාවන්ගේ ලිංගික දර්ශන, හඬපට ලබාගන්නා පුද්ගලයෙකු සම්බන්ධව ගාලු වරාය පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණේ මීට මාස කිහිපයකට ඉහතදීය. ලද තොරතුරු මත පරීක්ෂණ ආරම්භ කළ පොලිසියට පසුගිය ජූලි මාසයේදි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබුණි.
මෙම සැකකරු වත්තෝරු තන්ත්‍රිගේ රවීන්ද්‍ර නමැති 47 හැවිරිදි සහාය අධ්යක්ෂවරයෙකි.
මහාචාර්ය සුනිල් ආරියරත්න ලෙස පෙනී සිටිමින් පුද්ගලයන් නොමග යවන මේ සිද්ධිය පිළිබඳ කසුකුසුව වසර දෙකක් පමණ කාලයක් තිස්සේ සමාජ මාධ්‍යවල උඩ යට යමින් තිබූ අතර, මෑතකදී එය යළි කරළියට පැමිණියේය. ඒ ප්‍රවීණ ටෙලිනාට්‍ය සහ චිත්‍රපට නිළියක වන නිර්ධා උයන්හේවා ගාලු වරාය පොලිසියට කළ එම පැමිණිල්ලෙන් පසුවය.
එම සිදුවීම ගැන අපි කළ කතාබහකදී ඇය කීවේ මෙහෙමය.
‘‘රවීන්ද්‍ර කියන්නේ මම කලින් වැඩ කරපු ‘නෑනලා’ ටෙලිනාට්‍යයේ සහාය අධ්යක්ෂවරයා. ඔහු මේ මෑතකදී මට කතා කරලා කිව්වා ‘නිර්ධා අක්කෙ සුනිල් ආරියරත්න මහත්තයට ඔයත් එක්ක ෆිල්ම් එකක් ගැන කතා කරගන්න ඕන කියනවා’ කියලා. මම කලින් සුනිල් ආරියරත්න මහත්මයත් එක්ක වැඩ කරලා නොතිබුණාට එතුමාට මම පුද්ගලිකව ගොඩක් ගරු කළා. ඒ නිසාම මම රවීන්ද්‍ර කරපු ඉල්ලීම අහක දැම්මෙ නෑ.’’
එතැන් පටන් ඇයට එම ඇමතුම ලැබෙනතුරු ඉවසිල්ලක් තිබුණේ නැත. ඒ අන් කිසිවක් නිසා නොව සුනිල් ආරියරත්නයන් වැනි ස්වර්ණමය කලාකරුවෙකුගේ නිර්මාණයකට දායක වීමට ලැබීමේ සතුට නිසාවෙනි.
සහාය අධ්යක්ෂවරයා කී ආකාරටම මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ ඇයට ඇමතුමක් ලැබිණි. එහෙත් එක්තැනකදී ඇයට ඔහු පිළිබඳව සැකයක් පහල විය. ඊට හේතුව කතා කළ පුද්ගලයා ඔහුව නොපෙනෙන සේ කැමරාව අක්‍රිය කරගෙන සිටීමයි. එනිසාම ඇය සමඟ කතා කරන්නේ සුනිල් ආරියරත්න මහතා බව හොඳාකාරවම දන්නේද යන්න ඇය රවීන්ද්‍ර නමැත්තාගෙන් කිහිපවරක් අසා ඇත. පසුව ඇගේ සැකය නැති කිරීම සඳහාද මෙම උපාය දූතයා ඉතාම සූක්ෂමශීලීව කටයුතු කර ඇත. ඒ සුනිල් ආරියරත්නයන්ගේ චිත්‍රපට, ගේය පද නිර්මාණ සහ අනෙකුත් කලා නිර්මාණ ගැන ගැඹුරින් කතා කරමිනි. එසේ කළේ අල්පමාත්‍ර හෝ සැකයක් ඇත්නම් එයද මඟහරවාගෙන ලිස්සා යාමට සිතාගෙන විය යුතුය. එනිසාම ඇය කතා කරන්නේ ව්‍යාජ පුද්ගලයෙකු සමඟ බවට කිසිසේත්ම සැකයක් නොසිතුණ බව නිර්ධා අප සමඟ කීවාය.
‘‘නිර්ධා මම කතා කරන්නේ වට්ස්ඇප් කෝල්වලින් විතරයි. අනික මගේ පැත්තෙන් කැමරාව ඕෆ් කරගෙන ඉන්නේ ඒකට මම අකැමති නිසා. මම මේ චිත්‍රපටයට ඔයත් එක්ක තවත් නිළියො දෙන්නෙක් තෝරගෙන ඉන්නවා. හැබැයි ඔයාව මම තෝරගෙන ඉන්නෙ ප්‍රධාන චරිතෙට. මම අනිත් දෙන්නවත් සම්බන්ධ කරගෙන රෑ 11ට විතර ඔයාට කෝල් එකක් ගන්නම්.’’
සුනිල් ආරියරත්න මහතා ලෙසින් පෙනී සිටි පුද්ගලයා පවසා තිබුණේ එසේය.
එසේම නිර්ධා උයන්හේවා කියන ආකාරයට ඔහු විසින් එම චිත්‍රපටය සඳහා ඇයට ලක්ෂ 35ක් වැනි විශාල මුදලක් ලබාදීමට පොරොන්දු වී ඇත.
කීවාක් මෙන්ම රාත්‍රී එකොළහ වනවිට ඇයට නැවතත් දුරකතන ඇමතුමක් ලැබිනි. සුනිල් ආරියරත්නයන්ගේ කාර්යබහුලත්වය ගැන හොඳ හැටි දන්නා බැවින් රෑ මැදියමේ කතා කිරීම ගැනද කිසිඳු සැකයක් නොතිබුණ බවයි ඇය අපට කීවේ.
‘‘මගෙන් මුලින්ම ඇහුවෙ කලා ක්ෂේත්රයට ආවේ කොහොමද කියලා. පස්සේ මම රඟපාලා තියෙන චිත්‍රපට ගැනයි, ටෙලිනාට්‍ය ගැනයි කතා කළා.’’
කතාව අතුරතුරදී ඇයව මුරුංගා අත්තේ මුදුනටම ගෙන යන්නටද මොහු විසින් අමතකකොට නැත. ඒ දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ආ මෙම ක්‍රියාව ඔහුට නුපුරුදු දෙයක් නොවුණු නිසාය. ඇයට හොඳ සිනමා අවබෝධයක් සහ අත්දැකීම් රාශියක් ඇති බව පවසා ඇති මොහු ඊළඟට අසන පැනයන්ට ඍජු පිළිතුරු ලබාදෙන ලෙසද කියා ඇත.
‘‘පස්සේ ඔහු මට කිව්වා මුඩුක්කු ජීවිතයක් ගතකරන කෙනෙක් විදියට රඟපාලා කතා කරලා පෙන්නන්න කියලා. එතැනදිත් මට ඔහු ගැන කිසිම සැකයක් හිතුණෙ නෑ. මොකද අපේ ක්ෂේත්රයේ ඕනෑම කෙනෙක් දන්නවා මම ගොඩක් සැර චරිත රඟපාලා තියෙන නිළියක් කියලා. අනිත් එක ඔහුගේ නිර්මාණයට අවශ්‍ය දේ මගෙන් ගන්න උත්සාහ කරනවා ඇති කියලයි මම හිතුවෙ.’’
කතාවේ හොඳම හරිය දැන්ය. හීන්සීරුවේ තම සිතැඟියාවන්ට ළංවෙමින් සිටි මොහු ඇයට පවසා ඇත්තේ තමන්ට ‘සර්’ නොකියා සුනිල් කියා කතා කරන ලෙසය.
‘‘පස්සේ ඔහු මගෙන් ඇහුවා සමලිංගික ජීවිතේ දැකලා තියෙනවාද කියලා. ඒ වගේ අයව ආශ්‍රය කරලා තියෙනවද ඇහුවා. එතැනදී මම අපහසුතාවයට පත්වුණා. නමුත් මට පුළුවන් සීමාවෙ ඉඳගෙන මම උත්තර දුන්නා. ඒත් ඒ පුද්ගලයා මම දීපු උත්තරවලින් සෑහීමකට පත්වුණේ නෑ. ඔහු මට කිව්වා ඒ විදියට කතා කරලා රඟපාලා පෙන්නන්න කියලා. මුලින්ම පිරිමින්ගේ සමලිංගිකත්වයට කියන වචනයක් ඔහු මට කියලා පෙන්නුවා. පස්සේ මටත් ඒක කියන්න කිව්වම මම කිව්වා. ඊටස්සේ ගෑනු ළමයි සමලිංගිකව හැසිරෙන විදියට කතා කරලා පෙන්නන්න කිව්වා.’’
ගොනා හැරෙන්නේ පොල් පැළයට බව තේරුම් ගිය වහාම ඇමතුම විසන්ධි කර දුරකතනය ක්‍රියා විරහිත කරදැමීමට කටයුතු කර ඇති ඇය, මෙම සිදුවීම නිසා බොහෝසෙයින් බියට පත්වූ බව කියන්නීය.
පසුදා උදෑසන ඇය නැවතත් එම පුද්ගලයාගේ දුරකතන අංක පරීක්ෂා කරද්දී අනන්‍යතාවය තහවුරු කිරීමට යොදාගෙන තිබූ සුනිල් ආරියරත්නයන්ගේ ඡායාරූප සියල්ල ඉවත් කරගෙන තිබූ බව දැනගන්නට ලැබී ඇත.
පසුව මේ පිළිබඳව වහාම ගාල්ල වරාය පොලිසියට පැමිණිලි කළ ඇය සුනිල් ආරියරත්න මහතාවද අමතා ඒ ගැන දැනුවත් කර තිබුණි. පසුව ගාල්ල පොලිසියට පැමිණි මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා පවසා තිබුණේ සැකකරුවන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කරන ලෙසය.
‘‘ඇත්තටම ඔය කියන පල් හොරා දැන් සෑහෙන කාලෙක ඉඳලම මං විදියට රඟපාලා ගොඩක් නිළියන්ව, නිරූපිකාවන්ව රවට්ටලා තියෙනවා. ඒ මිනිහා හැමෝටම කියන්නේ එකම කතාවක්. ඒ තමයි චිත්‍රපටයක ප්‍රධාන චරිතෙකට තෝරගෙන තියෙනවා කියන එකයි, ලක්ෂ 35ක් වගේ ලොකු මුදලක් ගෙවනවා කියන එකයි. ඒ වගේම ඒ පොරෙන්දුව පිට ඒ අයගෙන් අසභ්‍ය හඬපට වගේම අසභ්‍ය ඡායාරූපත් ගෙන්නගන්න කටයුතු කරලා තියෙනවා කියලා ආරංචියි.’’
ඒ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අපිට ඒ ගැන කී කතාවය. එතුමා වැඩිදුරටත් පවසා සිටියේ කවුරුන් කෙසේ කීවද සිහිබුද්ධියෙන් යුතුව කටයුතු කිරීමට අනෙක් පාර්ශවයන්ටද වගකීමක් ඇති බවය.
‘‘ටිකක් බුද්ධිය පාවිච්චි කරලා හිතුවොත් ඕනම කෙනෙකුට තේරෙනවා අපේ කලා ක්ෂේත්රය ඇතුළේ නවක නිළියෙකුටවත් නිරූපිකාවකටවත් ලක්ෂ 35ක ලොකු මුදලක් ගෙවන්නේ නෑ කියලා. පහුගිය කාලේ ගොඩක්දෙනෙක් මේ මිනිහව නීතියට කොටු කරගන්න හැදුවත් රහස් පොලිසියේ ඇහැට වැලි ගහලා මිහිහා හැංගුණා. ඒ වගේම තාමත් සැරින් සැරේට එළියට ඇවිත් තවත් අයව රවට්ටනවා. මේ ගැන නීතිමය ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් වුණෙත් නිර්ධා උයන්හේවා ගාල්ල වරාය පොලිසියට පැමිණිලි කරපු නිසා. දැනට අත්අඩංගුවට අරන් තියෙන රවීන්ද්‍ර කියන සහාය අධ්යක්ෂවරයා කියන්නෙත් ඔහුටත් ඒ ගැන කිව්වෙ ඔහුගේ හිතවතෙක් කියලා.’’
තවද මෙම ව්‍යාජ පුද්ගලයාව නීතියේ රැහැනට කොටු කරගන්නාතුරු ඔහුට නොරැවටී සිටීමට වගබලාගන්නා ලෙස සුනිල් ආරියරත්න මහතා කියා සිටියේය. එමෙන්ම ඕනෑම අයෙකුට අවශ්‍ය විටකදී මේ ගැන සැකහැර දැනගැනීමට තමන්ව අමතන ලෙසට කියා සිටි ඒ මහතා ඔහුගේ පෞද්ගලික දුරකතන අංකයද මෙම ලිපිය සමඟ පළකරන ලෙස ඉල්ලා සිටියේය.
0777370225 – මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ පෞද්ගලික දුරකතන අංකය
ලිහිණි මධුෂිකා