රූපලවන්‍ය

Tattoo එක හදවතට ළඟනම් මකන්න ලේසියි

අතීතයේ ජීවත්වෙච්ච ගෝත්‍රික කණ්ඩායම් තවත් ගෝත්‍රයකින් තමන්ගේ ගෝත්‍රය වෙන් කරලා අඳුරගන්න පුළුවන් වෙන්න එයාලගේ ඇඟේ පච්ච කොටාගෙන ඉඳලා තියෙනවා. ඒ ඒ පච්ච ඒ ඒ ගෝත්‍ර කණ්ඩායමේ අනන්‍යතාවය විදියටයි ඔවුන් සලකලා තියෙන්නේ. පච්චෙ කොටනකොට කෑගහන්නේ නැතුව ඒක දරාගෙන ඉන්න එක ඒ කාලේ හැටියට හරි හපන්කමක්ලු. කවුරු හරි කෙනෙක් පච්චය කොටන වෙලාවේ කෑගැහුවොත් හෝ වේදනාවට යම් විදියකින් ප්‍රතිචාර දැක්වුවොත් ඒක ඒ පුද්ගලයා තුළ පවතින නිවටකමක් හැටියටයි ඒ කාලේ උදවිය පිළිඅරගෙන තියෙන්නේ. පුරාවිද්‍යාත්මක පරීක්ෂණ කණ්ඩායම් පවසන විදියට මිසරයේ තියෙන මමීවලත් පච්ච තියෙනවා. ඒකෙන් පැහැදිලි වෙන්නේ පච්චවල ඉතිහාසය සෑහෙන ඈතට දිවයන එකක් කියලා.  

පච්චවලට ටැටූ කියන නම වැටුණේ 18 වැනි සියවසේ පොලිනිසියානු භාෂාවෙන් නිර්මාණය වුණ ටැටාවෝ කියන වචනයත් එක්ක. සිංහල භාෂාවෙන් පච්ච කියලා කිව්වට ගොඩක් වෙලාවට අපි අතරත් බහුලවම භාවිතා වෙන වචනය තමා ටැටූ කියලා කියන්නෙ. 

වර්තමානයේ ගොඩක් දෙනෙක් ටැටූ ගහන්නේ විලාසිතාවක් විදියට. හැබැයි මේක ආවට ගියාට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ටැටූ එක ගහන්න කලින් වගේම ඊට පස්සෙත් සැළකිලිමත් විය යුතු කරුණු කාරණා රාශියක් තියනවා. මොකද ටැටූ එකක් කරන්නේ අපේ සම සියුම්ව සිදුරු කරලා ඒ තුළට තීන්ත ඇතුල් කිරීමෙන්. සම කියන්නේ අපේ ශරීරයේ තියෙන බොහෝම සංවේදී ඉන්ද්‍රියක් නිසා සම සිදුරු කරලා කරන මේ ටැටූ එකකින් අපේ සමට විවිධ ආසාත්මිකතා සහ හානි සිදුවෙන්න පුළුවන්. ඒ නිසා ටැටූ එකක් ගහන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් හෝ ටැටූ එකක් ගහපු කෙනෙක් නම් මේ කියන්න යන කරුණු දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත් වේවි. 

ශරීරයේ කොතැන ටැටූ එකක් ගැහුවත් ඊට මාසයකට පමණ පෙර සිට ඒ ස්ථානයේ හොඳින් මොයිස්චරයිසර් ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම වැදගත්. මොකද ටැටූ එක ගහන ස්ථානයේ සම හොඳින් තෙතමනය සහිතව තිබ්බොත් ටැටූ එකට හොඳ නිමාවක් ගන්න පුළුවන්.

ඊළඟ බරපතලම වැඩේ තමයි හොඳ ටැටූ ශිල්පියෙක් තෝරගැනීම. මෙතැනදී ටැටූ ශිල්පියාගේ රැකියා ඉතිහාසය සහ සේවාදායකයින්ගේ අත්දැකීම්, රෙකමදාරුකිරීම් ගැනත් සැළකිලිමත් වෙන්න ඕන. ඒ තුළින් වඩා හොඳ ටැටූ ශිල්පියෙක් තෝරගන්න ඕනම කෙනෙක්ට පුළුවන්. 

ටැටූ කරන්න පාවිච්චි කරන කටු සෞඛ්‍යාරක්ෂිත ඒවා වීම අනිවාර්යයයි. එහෙම නැතිනම් රුධිරය මගින් ආසාදනය විය හැකි විවිධ ලෙඩරෝග බෝ වෙන්න පුළුවන්. ටැටූ ශිල්පියා ගැන වගේම බඩු බාහිරාදිය ගැනත් සැළකිලිමත් වෙන්න ඕන කියන්නේ ඒකයි.

ටැටූ එකක් කළාට පස්සෙ ඒ ස්ථානයේ තියෙන්නෙ සම සිදුරු වීම නිසා ඇතිවුණ තුවාලයක්. මේ තුවාලය සුව වෙනකන් කාලයක් පරිස්සම් වෙන්න ඕන. ටැටූ එකට කලින් මොයිස්චරයිසර් ක්‍රීම් පාවිච්චි කරන්න කියලා කිව්වට ඊටපස්සෙ නම් කිසිම රූපලාවණ්‍ය ද්‍රව්‍යයක් ඒ අවට ගල්වන්න සුදුසු නෑ. ඒකෙන් ටැටූ එකේ වර්ණය වගේම සමත් විවිධ විපර්යාසවලට ලක්වෙනවා. 

සම සුව වෙනකන් සෞඛ්‍යාරක්ෂිත වටපිටාවක ඉඳීම වගේම තුවාල කොටස කැසීමෙන් සහ හීරීමෙන් වැළකී සිටීමත් අවශ්‍ය කාරණයක්. පාවිච්චි කරන කොට්ට මෙට්ට ඇඳ ඇතිරිලි නිතරම පිරිසිදුව තියාගැනීමෙන් ටැටූ එක හරහා ශරීරයට විශබීජ ඇතුළුවීම වළක්වාගන්න පුළුවන්.

අඳින ඇඳුම් පැළඳුම් නිසා ටැටූ එක කරපු ස්ථානය හිරවෙනවා නම් එහෙම ඇඳුම් ආයිත්තම් නොඇඳ ඉන්න එක වඩා හොඳයි. ඒ වගේම ටැටූ එක කරපු කාලෙදි සහ ටැටූ එක සුව වුණාට පස්සෙත් හිරුඑළියට නිරාවරණය නොකර ඉන්න එක වැදගත්. හිරුඑළියට නිරාවරණය වුණොත් ටැටූ එකේ වර්ණය වෙනස් වෙන්න පුළුවන්. ටැටූ එකක් කළාට පස්සෙ සති තුන හතරක් යනකන් මුහුදෙ, පිහිනුම් තටාකවල, ඇළදොළවල නාන්න යෑමෙන් වැළකී ඉන්න එකත් ටැටූ එක සහ සම පරිස්සම් කරගන්න උදව්වක් වෙනවා.

ටැටූ එකක් ගහද්දි වගේම මකද්දිත් සැලකිලිමත් වෙන්න ඕන කාරණා තියෙනවා. ටැටූ එකක් ගහන්න යන වෙලාවට වඩා මකන්න වැඩි කාලයක් ගතවෙනවා. ඒ ගතවෙන කාලයත් ටැටූ එකෙන් ටැටූ එකට වෙනස් වෙන්න පුළුවන්.

ටැටූ එක කරලා තියෙන්නේ කළු පාටින් නම් ඒක ඉවත් කරන්න පහසු වුණාට රතු, රෝස සහ කොළ වගේ පාටවල් ඉවත් කරන්න වැඩි ශ්‍රමයක් වගේම වැඩි කාලයක් යනවා. ඒ වගේම එකිනෙකාගේ සමේ ස්වභාවය අනුවත් ටැටූ එකක් මකන්න ගතවෙන කාලය තීරණය වෙනවා. මීට අමතරව ටැටූ එක සිරුරේ පිහිටන ස්ථානය අනුවත් ටැටූ එක මකන්න යන කාලය වෙනස් වෙනවා. උදාහරණයක් විදියට හෘදය ආසන්නයේ ටැටූ එකක් කරපු කෙනෙක්ට ටැටූ එක මකන්න ගතවෙන කාලය අනිත් ස්ථානවල ටැටූ කරපු කෙනෙක්ට ගතවෙන කාලයට වඩා අඩුයි. මොකද හෘදය ආසන්න ප්‍රදේශයේ රුධිර සංසරණය වැඩියෙන් වෙද්දි ටැටූ එක මකනකොට සිද්ධවෙන තුවාලය ඉක්මනින් සුව වෙන්න එය පහසුවක් වෙනවා.

ටැටූ එකක් මකනකොට විශේෂයෙන්ම මතක තියාගන්න ඕන කාරණාව තමයි අඩු කාලයකින් ටැටූව ඉවත් කරලා දෙන්නම් කියන ටැටූ ශිල්පියෙක්ට එකඟ නොවී ඉන්න එක. මොකද ටැටූ එකක් මකන්න සිද්ධ කරන ක්ෂණික ප්‍රතිකාරවලින් විවිධ චර්ම රෝග ඇතිවීමේ දැඩි අවදානමක් පවතිනවා. 

ටැටූ එකක් ඉවත් කරගන්න ටැටූ ශිල්පියෙක්ගේ සහාය ලබා ගන්නවාට වඩා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හරහා ටැටූ එක ඉවත් කර ගන්නවා නම් වඩා හොඳයි. ටැටූ ශිල්පීන් ටැටූ එකක් ඉවත් කරන්න පාවිච්චි කරන ලේසර් ප්‍රතිකාර ක්‍රම හරහා ටැටූ එකේ වර්ණක වගේම සමේ වර්ණකත් ඉවත්වීම සිද්ධ වෙනවා. ඒක නිසා චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් සම්බන්ධ කරගැනීම වඩා හොඳයි. 

ටැටූ එකක් ඉවත් කරන ලේසර් ප්‍රතිකාර ක්‍රමයෙන් සමේ ලප කැළැල් ඇතිවීම, චර්ම ආසාදන, පිළිස්සුම් තුවාල ඇතිවීම, ඉදිමුම් ගතිය, සමේ ස්වභාවය වෙනස්වීම, දිගුකාලීන වේදනාව, බිබිලි හටගැනීම වැනි අතුරු ආබාධ ඇතිවීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා මේ ලේසර් ප්‍රතිකාර ක්‍රමය ටැටූ මැකීමට වඩාත් සුදුසු ප්‍රතිකාර ක්‍රමයක් විදියට හඳුන්වන්න බැහැ. 

ටැටූ එකක් ඉවත් කරද්දී ක්‍රම ක්‍රමයෙන් තමා ටැටූ එකට පාවිච්චි කරලා තියෙන වර්ණ, තීන්ත කුඩා අංශුවලට කඩලා ඉවත් කිරීමයි සිද්ධ කරන්නේ. මෙහිදී ටැටූ එක ඉවත් කරන කාලපරාසය තුළ වෛද්‍යවරයා හෝ ටැටූ ශිල්පියා ලබාදෙන උපදෙස් ඒ ආකාරයටම පිළිපැදීම සිදු කළ යුතුම දෙයක්. කළ යුතු දේවල් කරන්නත් නොකළ යුතු දේ නොකර ඉන්නත් ටැටූ එක ඉවත් කරගැනීමට අවශ්‍ය කෙනා වග වෙන්න ඕන. 

පවනි වාසනා