මාස 9න් වාහනයක් ගත්තා අවුරුදු තුනක් යන්න කලින් මිලියනයකට වැඩි වැටුපක් ගත්තා
සමහරු සඳුන් ගැට අතමිට මොළවගෙන ඉපදෙද්දි සමහරු ඉපදෙන්නේම දුක් කරදර ගොඩක් අතේ මිටි කරගෙන. ඇමරිකාවේ විල්මා රැඩොල්ෆ් ඉපදෙන්නේ ආබාධ හයක් එක්ක. පස්සේ කාලෙකදි පෝලියෝ නිසා ඇය ඔත්පල වෙනවා. “මේ ලෙඩේ නිසා කවදාවත් ඔයාට ඇවිදින්න බැරිවෙයි” වෛද්‍යවරු එහෙම කියද්දි “ඇවිදින්න විතරක් නෙමේ ඔයාට දුවන්නත් පුළුවන් පුතේ” විල්මාගේ අම්මා කිව්වේ එහෙම. විල්මා නම් විශ්වාස කළේ අම්මා කිව්ව දේ.
ඒ විශ්වාසය කොච්චර දුරක් ගියාද කිව්වොත් පස්සේ කාලෙක විල්මා ලෝකේ වේගවත්ම කාන්තාව වෙනවා. ඒ ඔලිම්පික් ධාවන තරඟ කීපයකින්ම රන් පදක්කම් දිනලා.
විල්මාගේ කතාව අපිත් එක්ක කිව්ව ඇයත් විල්මා වගේම හිත හයිය ගැහැනියක්. හඳුන් වෙනුවට දුක් කරදර අතේ ගුලි කරගෙන ඉපදිලා පස්සේ ජීවිතේ දිනපු තරුණියක්.
“විල්මා රැඩොල්ෆ් මම කැමතිම චරිතයක්. මගේ ඔෆිස් රූම් එකේ ඇගේ කියමනක් ලොකු කරලා ගහගෙන ඉන්නවා. ඒක මට හයියක්. මගේ අම්මත් විල්මගේ අම්මා වගේමයි. මම කවදාහරි දිනයි කියලා මට නොතිබුණු විශ්වාසයක් මගේ අම්මටත් තිබුණා.”
අද ‘ධරණී’ කවරය සොඳුරු කරන ඇය තක්ෂිලා කෝරලගේ. තාත්තගේ අසනීපේ වෙනුවෙන් වැඩිපුර රුපියල් 5000ක් හොයාගන්න එක ජීවිතේ එකම හීනේ කරගෙන කොළඹට පයගහපු ඇය අද සාර්ථක වෘත්තීය කාන්තාවක්. මිලියනපතිනියක්. ඉතින් ඇගේ කතාව කියවන්න තරම් සුවිශේෂයි නේද?
“මම කෑගල්ල අඹන්පිටියේ. තව සහෝදරයෝ තුන්දෙනෙක් ඉන්නවා. පුංචි කාලේ ඉඳලම ගෙදර ආර්ථික ප්‍රශ්න තිබුණා. මගේ තාත්තා වකුගඩු රෝගියෙක්. තාත්තා අමාරුවෙන් රස්සාවක් කරලයි අපිට කන්න බොන්න දුන්නේ. අපි ඉස්කෝලේ ගියෙත් බොහොම අමාරුවෙන්.
තාත්තා දුක් විඳින එක මට බලාගෙන ඉන්න බැරි වුණා. රස්සාවක් නොකර තාත්තාව ගෙදර තියාගෙන බලාගන්නයි මට ඕන වුණේ. ඒ නිසා උසස් පෙළින් පස්සේ රස්සාවක් කරන්න තීරණය කළා. ජොබ් එකකට වැදගත් වෙන නිසා AAT සම්පුර්ණ කරලා කොළඹ ගියා.”
කොළඹින් ජොබ් එකක් හොයාගත්තු තක්ෂිලා මහරගම පැත්තේ පුංචි කාමර කෑල්ලක නතර වුණේ 2013දි.
“මට ලැබුණේ රු.16,000යි. ඒ පඩියෙන් ඉතින් හැරෙන්නවත් ඉඩ නැති කාමරේක හිටියේ. දවසට එක වේලයි කෑවේ. ඒ ජොබ් එක අවුරුදු තුනක් කළා. ඒත් මගේ පඩිය වැඩිවුණේ නැහැ. තාත්තට සලකන්න තියා මගේ වැඩ ටික කරගන්නවත් සල්ලි මදි නිසා මම ඒ රස්සාවෙන් අස්වුණා. මට ඕනවුණේ තව වැඩිපුර 5000ක් ලැබෙන රස්සාවක්.”
ඒ රස්සාවෙන් අස්වෙච්චි තක්ෂිලා ආයෙත් කොළඹට පයගැහුවේ සම්මුඛ පරීක්ෂණ 5ක් ලෑස්ති කරගෙනයි.
“ජොබ් 4කින්ම මාව තෝරගත්තේ නැහැ. ඒ නිසා මට පස්වැනි එකටත් යන්න හිතුණේ නැහැ. සේරම දමලා ගහලා ආයේ ගමේ යන්න හදද්දි කම්පැනි එකෙන්ම කතා කරලා මගේ හිත හැදුවා. ඒ නිසා මම එදා ඉන්ටර්වීව් එකට ගියා. ඒ වගේම එයාලා මාව තෝරගත්තා. ඒක ඉන්ෂුරන්ස් ෆීල්ඩ් එකේ ජොබ් එකක්. එකපාර කන්ටෑක්ස් හදාගන්න බැහැනේ. ඉතින් මට මාස දෙකක් සැලරි නැතුව වැඩ කරන්න වුණා. ඒ මාස දෙක තමයි අදටත් මගේ ජීවිතේ කටුකම මාස දෙක.
මම කොළඹ පාරවල් දන්නේ නෑ, කන්ටෑක්ස් නැහැ. ඉතින් ඔය හැමදෙයක්ම දරාගෙන මම මහන්සි වුණා. කකුල් පැලිලා ලේ එනකල් ඇවිද්දා. ‘ඉන්ෂුරන්ස් ජොබ් කරලා කාටද හරි ගියේ?’ කියලා මගේ මූණටම අහපු අය හිටියා. ඒ කිසිදෙයක් මම වැටෙන්න හේතු කරගත්තේ නැහැ. තාත්තා වෙනුවෙන් සල්ලි හොයාගන්න එක තමයි මගේ එකම අරමුණ වුණේ.”
දියුණු වුණහම ජීවිතේ කටු කාපු තැන් කියන්න ලැජ්ජවෙන බහුතරයක් පිරිස අතරේ තක්ෂිලා ඇගේ කතාව කිව්වෙත් ඒ කැපකිරීම් තව කෙනෙක්ට ශක්තියක් වෙනවා දකින එක ඇගේ අරමුණ නිසාලු. හැබැයි ඔය අභියෝග හයියට හිතෙන් දරාගත්තු තක්ෂිලාට දරාගන්න බැරි දුකකට මුහුණදෙන්න වෙනවා. ඒ ඇගේ පියාගේ වියෝව.
“මම මහන්සි වුණේ තාත්තා නිසා. ඒත් ඒ මාස දෙකේ අන්තිම කාලෙදි තාත්තා මාව දාලා ගියා. තාත්තගේ මරණෙට ගමට ගියේ අතේ සතේ නැතිව. තාත්තාගේ මරණෙට එක රුපියලක් වියදම් කරන්න බැරිවුණා. මම මහන්සි වුණේ තාත්තා නිසා. ඉතින් එයා නැතිවුණම මේ රස්සාව මට මොකටද කියලා හිතුණා. එත් කවදහරි තාත්තාට වුණු දේ මගේ අම්මටත් වෙන්න පුළුවන් නේද කියලා හිතලා මම හිත හයිය කරගත්තා.”
තක්ෂිලා ඒ සැරේ කොළඹට එන්නේ ඇගේ මවට සැපවත් ජීවිතයක් හදලා දෙන එකම බලාපොරොත්තුවෙන්. බෝසතුන්ට පවා මුලින්ම බුදුවෙන්න විවරණ ලැබුණේ අම්මගෙන්. ඉතින් අම්මට තාත්තට සලකන ඒ උතුම් චේතනාවම ඇගේ ජීවිතේට වාසනාව උදාකළා වෙන්නැති.
“මම වැඩ කළේ වෙල්ත් ප්ලෑනර් කෙනෙක් විදියට. තාත්තගේ වියෝව එක්ක කලින්ටත් වඩා මහන්සි වෙලා වැඩ කළා. ඔහොම වැඩ කරද්දි අවුරුදු තුනක් යන්න කලින් මට මිලියනයක් පන්නලා පඩි ගන්න ලැබුණා. ජොබ් එක කරන්න අරන් මාස 9ක් වෙද්දි පළවැනි වාහනේ ගත්තා. ඊටපස්සෙත් වාහන කීපයක්ම මාරු කළා.
අපේ ගේ ගොඩක් පොඩියි. තාත්තගේ මිනිය තියන්නවත් ඉඩ තිබුණේ නෑ. අම්මා හිටියේ ඒ ගෙදර. මම මාස හයෙන් අම්මට සැපපහසුවට ඉන්න පුළුවන් විදියට ගෙදර හැදුවා. ඒ වගේම අම්මව රටවල් කීපයකයටම එක්කරගෙන ගියා.”
උත්සාහය, කැපවීම තියෙනවා නම් ඕනම කෙනෙක්ට කරන්න බැරි දෙයක් නැහැ කියන එකට ඇත්තටම තක්ෂිලා හොඳ උදාහරණයක් කියලයි ඇයත් එක්ක කතා කරපු වචනයක් පාසා අපිට හිතුණේ.
“ඔය අතරේ මම ලංකාවේ හොඳම වෙල්ත් ප්ලෑනර් සම්මානය දිනුවා. ඒ වගේම ළාබාලතම වෙල්ත් ප්ලෑනර් විදියටත් පිදුම් ලැබුවා. පස්සේ මම වෙල්ත් ප්ලෑනර් මැනේජර් කෙනෙක් වුණා. ඊටපස්සේ අඩුම කාලෙකින් මට හොඳම වෙල්ත් ප්ලෑනර් මැනේජර් සම්මානයත් ලැබුණා.”
වෘත්තිය වෙනුවෙන් ඇය කරන කැපකිරීම පැහැදිලි කරන්න ඒ සම්මාන ප්‍රමාණවත්.
“දැන් මම ක්ලස්ටර් මැනේජර් කෙනෙක්. මට කලින්ටත් වඩා ලොකු සැලරි එකක් ලැබෙනවා. දැන් මම තවත් අයට ජීවිතේ ජයගන්න හැටි කියලා දෙනවා. මේ වෙනකොටත් මම මේ ෆීල්ඩ් එකේ සාර්ථක අය ගොඩක් හදලා ඉවරයි.”
ජීවිතේ දිනන්න තමන්ගේම ව්‍යාපාරයක් තියෙන්න ඕනේ, රස්සාවක් කරලා ගොඩ යන්න බැහැ කියලා සමහරු කිව්වට ඒ කතාව ගැන තක්ෂිලා කිව්වේ මෙහෙම.
“ආයතනයක සහායක තනතුරුවලට බැඳිලා ආයතනයේ විධායක නිලධාරී තනතුර දක්වා ගියපු අය ඉන්නවා. උදාහරණයක් විදියට මගේ ආයතනයේ විධායක නිලධාරීනි චතුරි මුණසිංහ. ඇය පුහුණුවන්නියක් විදියට සේවයට බැඳුණු කෙනෙක්. දැන් ඇය AIA ආයතනයේ විධායක නිලධාරිනිය. ලංකාවේ කෙනෙක් මේ ඉහළ තනතුර දරපු පළවැනි වතාව මේක.
ඉතින් දියුණු වෙන කෙනාට රස්සාවද, ව්‍යාපාරයද කියන එක අදාළ නැහැ. ජොබ් එක වුණත් මගේ දෙයක් කියලා හිතලා කැපවීමකින් කරනවා නම් ඒ ලැබෙන්න ඕන දේවල් සොබාදහමෙන්ම ලැබෙනවා.”
තක්ෂිලා සොබාදහම, ආකර්ෂණ නීතිය වගේ දේත් විශ්වාස කරනවලු.
“මගේ ජීවිතේ මට ලොකු හීන තිබුණේ නැහැ. හැබැයි තියෙන හීනවලට යන්න පාර පෙන්වන අය ලැබෙයි කියලා මට ලොකු විශ්වාසයක් තිබුණා. මම විශ්ව ආකර්ෂණය විශ්වාස කරනවා. හොඳ දේ කළොත් හොඳ දේ ලැබෙනවා. හැබැයි ලෝකෙට පේන්න හොඳ මූණ පෙන්නගෙන හිටියට වැඩක් නැහැ. හදවතින්ම ලෝකෙට, මිනිස්සුන්ට ආදරේ කළොත් තමයි අපිටත් හොඳ දේවල් ලැබෙන්නේ.”
අද ඇගේ වත්කම්වලින් වැඩි කොටසක් වෙන් කරලා තියෙන්නේ සමාජ සුබසාධනය වෙනුවෙන් බවත් ඇය කිව්වා.
“පෞද්ගලික මුදලින් මම දරුවන් කීපදෙනෙක්ටම උගන්වනවා. ඒ වගේම ඇස් පරීක්ෂා කිරීමේ වැඩසටහන් කරනවා. මගේ තාත්තා වෙනුවෙන් ලංකාවේ ඉන්න දුප්පත් අම්මලා තාත්තලාට හොස්පිට්ල් එකක් හදන්න මට ලොකු හීනයක් තිබුණා. ඒකට මම සෑහෙන මුදලක් ඉතුරු කළා. හොස්පිට්ල් එකක් හදනවා කියන්නේ තනියම කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඉතින් මම ඕක කරන්නේ කොහොමද කියලා මම හිත හිත හිටියා. ඔය අතරේ උමන්දාව පන්සලේ වැඩිහිටියන් වෙනුවෙන් රෝහලක් හදන බව මට දැනගන්න ලැබුණා. හාමුදුරුවන්ගෙන් ඒ ගැන ඇහුවම මටත් ඒකට උදව් කරන්න එකතු වෙන්න කියලා උන්වහන්සේ කිව්වා. ඉතින් ඒ වෙනුවෙන් මම විශාල මුදලක් පරිත්‍යාග කළා. තව ගොඩක් අය ඒකට දායක වෙනවා. කැමති නම් ඕනම කෙනෙක්ට මේකට දායක වෙන්නත් පුළුවන්. මේක අවුරුදු 50ට වැඩි අම්මලා තාත්තලාට නොමිලේ ප්‍රතිකාර කරන්න ලංකාවේ ඉදිවෙන ලොකුම සහ එකම රෝහල. ‘මහෝෂධ රෝහල’ කියලා මගේ හිතේ තිබුණු නමම රෝහලට දාන්න තරම් මම වාසනාවන්ත වුණා.”
ඇය අනිත් අය වෙනුවෙන් කරන දේවල් ගැන ඇය කතා කළේ නිහතමානී සතුටකින්.
“මට පෞද්ගලික හීන නැහැ. පුළුවන් තරම් අනිත් අයට උදව් කරන එකයි එකම බලාපොරොත්තුව. මට මේ තැනට එන්න උදව් වුණු මගේ අම්මා, පවුල, මාව විශ්වාස කරන මගේ ආදරණීය පාරිභෝගිකයන්, වෘත්තීය ජීවිතේ සාර්ථක කරගන්න සහාය දීපු මිස් ප්‍රියන්ති, විනෝල් ප්‍රියසෙනරත්, මගේ ගුරුවරයා සුරංජිත් ගොඩගම, AIA කළමනාකාරීත්වය සහ මට ගුරුහරුකම් දීපු සියලුම ගුරුවරුන්ව ආදරෙන් මතක් කරනවා.
මේ ලෝකෙට අඩුපාඩු එක්ක එන එක අපේ වරදක් නෙමෙයි. හැබැයි කවදාහරි අපි ඒ තත්ත්වයෙන්ම ජීවිතේට සමුදෙනවා නම් ඒක අපේ වරදක්. මනුස්සයෙක්ට එක රැයින් සාර්ථක වෙන්න බැහැ. ඒකට කැපකිරීම් කරන්න වෙනවා. ඒ ගමනෙදි ගල්, මුල් ඕනතරම් එනවා. ඒ ගල්මුල් ජීවිතේට ආශිර්වාදයක් කරගන්න කියන එකයි මම අනිත් අයටත් කියන්නේ.”
සෙව්වන්දි හෙට්ටිආරච්චි
ඡායාරූප – සමන් අබේසිරිවර්ධන