නවතම ප්‍රවෘත්ති

සමහරු මට දැනුත් කතා කරන්නෙ ‘කැප්ටන්’ කියලා

ඔයා අර නැවෙන් නිවාඩුවකට ආව කෙනෙක්ද?

නැහැමම ඒ නැවේ වැඩ කරනවා.

බොරු කියන්න එපා ගෑනුන්ට පුළුවන්ද  නැව්වල වැඩ කරන්න..? ඔයා ඒ නැවේ කැප්ටන්ගේ බිරිඳ නේද?

නැහැමම තමයි ඒ නැවේ කැප්ටන්

ඇමරිකාවේ පළමු නාවික කපිතාන්වරිය කේට් මැක්කියු කැරිබියානු වෙරළතීරයේ ඇවිදිමින් ඉන්දැද්දි මුහුණදුන්නු සිදුවීමක් ගැන ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ සටහන් කරලා තිබ්බේ මේ විදියටයි. මහ විශාල නැව්වල වැඩ කරන ගමන් ලෝකේ පුරා යන එක ගෑනුන්ට කරන්න පුළුවන් වැඩක් කියලා සමහරුන්ට විශ්වාස කරන්නත් අමාරුයි.

ඒ අවිශ්වාසය නිසාදෝ අදටත් ලෝකෙටම ඉන්නේ වෙළඳ නාවික කපිතාන්වරියන් නවදෙනෙක් විතරයි. ලෝකයේ වෙනත් රටවල වගේම ලංකාවෙත් පිරිමින්ට සාපේක්ෂව වෙනත් නාවික තනතුරු දරණ කාන්තාවන් ප්‍රමාණය ඉතා අවමයි. අද ‘ධරණී’ කවරය සරසන සොඳුරු යුවතියත් මේ සුවිශේෂී පිරිස අතරින් අයෙක්. ඇය වෙළඳ නාවික කැඩෙට් තක්ෂිලා පතිරණ.

අනිත් අය නොකරන දෙයක් කරන්න මට ලොකු හීනයක් තිබ්බා. මම ට්‍රැවල් කරන්න එහෙමත් කැමතියි. ඉතින් ඔය කාරණා දෙක නිසා තමයි නැවක වැඩ කරන්න ඕනේ කියන අදහස මගේ හිතට ආවේ.

කතාවේ ඉස්සරහට යන්න කලින් වෙළඳ නාවික කැඩෙට්වරියක් වෙන්න ඇය සැපිරූ සුදුසුකම් ගැන අහන්න හිතුවේ ලිපිය කියවන අයටත් ඒ කාරණාව වැදගත් වෙයි කියලා හිතුණු නිසයි.

මම ඉගෙනගත්තේ ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන්. උසස් පෙළට ඉංජිනේරු තාක්ෂණය හැදෑරුවා. පස්සේ වෙළඳ හා නාවික කටයුතු අමාත්‍යාංශය යටතේ පවත්වන Mercmarine Training  ආයතනයේ වෙළඳ නාවික පුහුණු පාඨමාලාවේ පළමු  අදියර සම්පූර්ණ කළා. පළමු අදියර සම්පූර්ණ කළාට පස්සේ අපිට වෙළඳ නාවික කැඩෙට්වරු විදියට නැව් නගින්න පුළුවන්.

අ.පො.ස. උසස් පෙළ විද්‍යාව, ගණිතය, තාක්ෂණය යන විෂයධාරාවලින් විශයන් දෙකක් සමත් අවුරුදු 24ට අඩු ඕනම කෙනෙක්ට මේ පාඨමාලාව හදාරන්න පුළුවන්ලු.

 

*නැව් නැග්ගම මාස ගාණක් මුහුද මැද ඉන්න ඕනනේ. ඒ නිසා මේ වෘත්තියේ ජීවිත අවධානමක් තියෙනවා නේද?

මම මේ වෘත්තිය තෝරගන්නවට අම්මයි තාත්තයි  පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. නැව්වල ඉන්න එක ලොකු අවධානමක් කියලා එයාලත් මුලදි බයවුණා. මුහුදෙදි අනතුරු වළක්වගන්න වගේම ජීවිත ආරක්ෂාව ගැන බලාගන්නේ කොහොමද කියන එකත් හැම නාවික සාමාජිකයෙක්ටම උගන්වනවා. ඒ නිසාම දැන් නාවික අනතුරු වෙන්නෙම නැතිතරම්.

ඊළඟට අපි ඇගෙන් අහලා බැලුවේ නැවේදි ඇයට පැවරෙන වගකීම් ගැනයි.

සාමාන්‍යයෙන් අපි නැවක මාස 6-9ත් අතර කාලයක් ඉන්නවා. ඔය කාලෙදි නැව් බඳ පරීක්ෂාව සහ නඩත්තු කටයුතු හරිහැටි සිද්ධවෙනවද කියලා හොයාබැලීම තමයි නාවික කැඩෙට්වරුන්ට පැවරෙන වගකීම්. මේ තනතුරෙන් පස්සේ තවත් ඉහළට තනතුරු මට්ටම් හතරක් තියෙනවා. ඒ එකිනෙකට පැවරෙන වගකීම් වෙනස්.

මුලින්ම නැව් නගිද්දි ඇතැමුන්ට සී සික්, හෝම් සික් එහෙම හැදෙන්නවලු. හැබැයි ඒ දේවල් කළමනාකරණය කරගන්නත් ඔවුන් ඉගෙනගෙන තියෙනවා. අනික ගොඩබිමේ හැම තාක්ෂණයක්ම නැව්වලත් තියෙන නිසා ඕනම මොහොතක පවුලේ අය එක්ක කතාබහ කරන්න පුළුවන් බවත් ඇය කිව්වා.

වෙළඳ නාවිකයෝ විදියට ගොඩක් වෙලාවට අපි වැඩ කරන්නේ විදේශීය නැව්වල. ඒ නිසා ඉතින් අපිට ගෙවන්නෙත් ඩොලර්වලින්.

වෙළඳ නාවික කැඩෙට්වරුන් විදියට එක නැව් නැගීමකින් ඔවුන් රටට සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් උපයා දෙනවා. ප්‍රධාන නාවික කපිතාන්වරයෙක්ට මසකට උපයන්න පුළුවන් උපරිම මුදල ඩොලර් 10,000ක් විතර වෙනවාලු. ඒ කොහොම වුණත් මේ දායකයත්වය වෙනුවෙන් ඔවුන්ට නිසි ඇගයීමක් නොලැබෙන බවත් නොකියා බැහැ.

මම තෝරගත්තු මේ පාර ගැන මම හරි ආඩම්බරයි. නැව්වල වැඩ කරනවා කිව්වම ගොඩක් අයට පුදුමයි. සමහරු මට දැන් කතා කරන්නෙත් කැප්ටන් කියලයි. හැබැයි ලංකාවෙන් තාම නාවික කපිතාන්වරියක් බිහිවෙලා නැහැ. ඉතින් කවදාහරි දවසක කැප්ටන් කෙනෙක් වෙලා ලංකාවේ නම ලෝකෙට ගෙනියන එකයි මගේ එකම බලාපොරොත්තුව.

ඇගේ බලාපොරොත්තු අපට කියන ගමන් ‘ධරණී’ කියවන ඔබට බලාපොරොත්තුවක් දෙන්නත් ඇය අමතක කළේ නැහැ.

ගොඩක් තරුණියෝ මෙහෙම දෙයක් තියෙනවා කියලා දන්නේ නැහැ. නැත්තම් සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ගෘහ සේවයට හෝ අඩු පඩියට වැඩගන්න රැකියාවලට යෞවන කාලේ නාස්ති කරන්නේ නැතුව මේ වගේ දේකට යොමුවෙන්න. ඒකට මම කිව්ව විස්තරත් කෙනෙක්ට උපකාරවෙයි කියලා හිතනවා. අනික මේ වගේ දේවල් පිරිමින්ට පුළුවන් වුණාට අපිට බැහැයි කියලා නම්  කොයිම වෙලාවකවත් හිතන්න එපා. ඒ අයට පුළුවන් නම් ඇයි අපිට බැරි කියලා හිතලා ඉස්සරහටම යන්න බලන්න.

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි

ඡායාරූප – ජගත් නානායක්කාර