විශේෂාංග

මගේ මහත්තයා ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා දැනගත්තේ ලාහෝර් ප්‍රහාරය දවසේ

2010 වසරේ බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවති විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි අටදෙනාගේ වටය ඉතාම තීරණාත්මක එකක් විය. එම වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරඟය කෙරෙහි කාගේත් අවධානය යොමුවූයේ එම තරඟය දෙපිලේම ඉදිරිය තීරණය කළ එකක් වූ බැවිනි. මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර විස්ස තුළ ලකුණු 164ක් ලබාගත් අතර විස්තර විචාරකයින් පැවසුවේ එය එම පිටිය තුළ හඹායාමට අපහසු ඉලක්කයක් බවයි. එහෙත් ශ්‍රී ලංකා පිතිකරුවන් සාර්ථකව එකී ඉලක්කය හඹාගිය අතර කාගේත් හදවත් මොහොතකට ගල්ගැසුනේ ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දුවට ලකුණු ලකුණු 03ක් අවශ්‍ය වූ නිසාවෙනි. පන්දුවට පහරදීමට සූදානම්ව සිටියේ ශ්‍රී ලංකාව බිහිකළ අංක එකේ ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වූ චාමර කපුගෙදර . පන්දුව බාරවී තිබුණේ ඒ වනවිට ඉන්දීය කණ්ඩායමේ සිටි තීරණාත්මක පන්දු යවන්නා වන අශිස් නෙහ්රාටය. නෙහ්රා අවසන් පන්දුව එවන්නට සැරසෙද්දී කපුගෙදර සරදමට මෙන් සිනාසෙන අයුරුද දැකගන්නට ලැබුණි. ඊළඟ තත්පරයේ නෙහ්රා යොමුකළ පන්දුවට දැවැන්ත හයේ පහරක් එල්ල කරමින් චාමර කපුගෙදර ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළේ ලාංකීය ක්‍රීඩාලෝලීන්ගේ ඇසට සතුටු කඳුළක් එකතු කරමිනි. ඉතින් මේ කතාබහ ඒ ප්‍රහාරාත්මක දකුණත් පිතිකරු චාමර කපුගෙදරගේ බිරිඳ වන තමාරා කපුගෙදර සමඟිනි.

 

*තමාරා ක්‍රිකට් මැච් බලන්න පටන්ගත්තේ කවදා ඉඳන්ද?

චාමර බැන්දට පස්සේ තමයි මං ක්‍රිකට් මැච් බලන්න පුරුදුවුණේ.

 

*ක්‍රිකට් මැච් බැලුවේ නැත්නම් චාමර කපුගෙදරව දන්නේ කොහොමද?

මගේ යාළුවට ඒ කාලේ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. එයාගෙ යාළුවෙක් තමයි චාමර කියන්නේ. ඒ පිරිමි ළමයා යාළුවා බලන්න එනකොට චාමරත් ඒ එක්ක තනියට එනවා. එහෙම තමයි දැනගත්තේ.

 

*එතකොට දැනගෙන හිටියද එයා ජාතික කණ්ඩායම නියෝජනය කරපු ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් බව?

ඇත්තටම නෑ. එයාවත් කවුරුත් මට ඒ ගැන කිව්වෙත් නෑ. ඉතින් කොච්චර ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් වුණත් මං ඒක දැනගෙන හිටියේ නෑ.

 

*එතකොට එයා ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක් කියලා දැනගත්තේ කවද්ද?

අර 2009 අවුරුද්දේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහෝර් ත්‍රස්ත ප්‍රහාරය එල්ලවුණු වෙලාවේ දැනගත්තේ. එදා මගේ යාළුවගේ පිරිමි ළමයා මගෙන් කෝල් කරලා ඇහුවා චාමරලට මෙහෙම දෙයක් වෙලා තියෙනවා ඔයා එයාට කතා කරලවත් බැලුවේ නැද්ද කියලා. ඒ වෙලාවේ මං එයාට කිව්වා “ක්‍රිකට් කණ්ඩායමට එහෙම දෙයක් වුණාම මං චාමරට කතා කරන්නේ ඇයි?” කියලා. ඒ වෙලාවේ තමයි එයා මට කිව්වේ “ඇයි දන්නේ නැද්ද චාමර කියන්නේ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන ප්‍රසිද්ධ ක්‍රීඩකයෙක්නේ” කියලා. එදා තමයි චාමරව මං හරියටම දැනගත්තේ.

 

*ඉතින් එදා චාමරට ඔයා කතා කරලා බැලුවද?

ඒ දවස්වල මං ගුවන් සේවිකාවක්. ඉතින් ප්ලේන් එකේ යන ගමන්ම කතා කරලා බැලුවා. එයා එදා ටිකක් බයවෙලා වගේ හිටියේ. කොහොමහරි එදා කතා කළාට පස්සේ මාස කීපයක් යනකල් අපි ආයෙත් කතා කළේ නෑ.

 

*එතකොට චාමරගෙයි තමාරාගෙයි ආදර කතාව පටන්ගත්තේ කොතැනින්ද?

චාමරගේ ගෙවල් මහනුවර. එයා මාස කීපයකට පස්සේ එයාගේ යාළුවගෙන් මගේ විස්තර අහගෙන මං බලන්න නුගේගොඩට ආවා. ඒ ආපු සැරේ තමයි අපි දැන අඳුරගෙන ආදරේ කරන්න පටන්ගත්තේ.

 

*එතකොට දෙන්නගේ විවාහය සිද්ධවුණේ කොයි විදියටද?

අපි යාළුවෙලා අවුරුදු එකහමාරක් විතර ඉඳලා බැන්දා. දවස කිව්වොත් ඒ 2010 දෙසැම්බර් 16 වැනිදා.

 

*චාමරගේ පෙනුමත් එක්ක එයාට බැඳපු අලුත රඟපාන්න එහෙමත් ආරාධනා ලැබුණා කියන්නේ ඇත්තද?

එයාට රඟපාන්න ආරාධනා ලැබුණා කියලා එයා මගෙත් එක්ක කිව්වා. ඒත් එයාට ඒකට ආසාවක් තිබුණේ නෑ. මොකද එයාගේ ඇඟේ තිබුණේ ක්‍රිකට් විතරමයි.

 

*2010 අවුරුද්දේ තිබුණු ලෝක කුසලානයේදී චාමර ගහපු හයේ පහරක් නිසා එයා ලෝකයේම අවධානය දිනාගත්ත ක්‍රීඩකයෙක් වුණා. ඒ තරඟය බැලුවද?

ඒ තරඟය තිබුණේ අපි ආදරේ කරපු දවස්වල. එදා මං හොස්පිට්ල් එකේ හිටියේ. මොකද ඒ දවස්වල අපේ අක්කගේ දරුවට ඩෙංගු හැදිලා හොස්පිට්ල් එකේ නැවතිලා හිටියා. ඔය මැච් එක දවසේ මං තමයි එයා ගාව තනියට හිටියේ. එදා හොස්පිට්ල් එකේ ටීවී එකේ මැච් එක දාලා තිබුණා. එහෙම තමයි එදා මැච් එක බැලුවේ. එදා අන්තිම බෝලෙට ලකුණු තුනක් ගහන්න තිබුණේ. චාමර ඒකට හයක් ගහලා මැච් එක දිනවලා දුන්නා.

 

*චාමර ක්‍රිකට් ගැන ඔයා එක්ක කතා කරන්නේ නෑ කියන්නේ ඇත්තද?

(සිනාසෙමින්) ඔව් එයා ක්‍රිකට් ගැන මගේ එක්ක කතා කරන්නේ නෑ. මොකද එයා දන්නවා මට ක්‍රිකට් ගැන ලොකු අවබෝධයක් නෑ කියලා. හැබැයි ඒ කාලේ හොඳට සෙල්ලම් කරපු දවසට එහෙම හරි සතුටින් තමයි එයා ගෙදර ඉන්නේ. ඒක එයාගේ මූණෙන් පෙනුණා.

 

*චාමර ක්‍රිකට්වලින් සමුගත්ත දවසේ එයා ඔයාට මුකුත් කිව්වේ නැද්ද?

එහෙම විශේෂ දෙයක් කිව්වේ නෑ. ඒත් එයා හිතින් හුඟාක් දුක්වෙන්න ඇති ආයෙත් ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න වෙන්නේ නෑනේ කියලා.

 

*මේ වෙනකොට චාමර එක්ක ගෙවන ජීවිතේ කොයි වගේද?

දැන් අපි බැඳලා අවුරුදු දහතුනක් වෙනවා. අද ඊයේ බැඳපු දෙන්නෙක් වගේ හරිම සතුටින් තමයි අපි ඉන්නේ. අපිට පිරිමි ළමයිම තුන්දෙනෙක් ඉන්නවා. ලොක්කට දැන් අවුරුදු දහයක් වෙනවා. ජාතික කණ්ඩායමෙන් සමුගත්තට පස්සේ චාමර නම් දැන් ක්‍රිකට් පුහුණුකරුවෙක් විදියට කටයුතු කරනවා.

 

*එහෙනම් පොඩි චාමර කපුගෙදර කෙනෙක් අපිට අනාගත ක්‍රිකට් පිටියේ දකින්න ලැබෙයි නේද?

ඒක නම් කියන්න දන්නේ නෑ. චාමර කියන්නේ එයාලට ආස පැත්තෙන් ඉස්සරහට යන්න දෙනවා කියලා. ඒත් පොඩි චාමර කෙනෙක් එහෙම එනවා නම් චාමරත් ගොඩක් කැමති වෙයි.

 

*චාමරට අදටත් වෙනසක් නැතුව ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ආදරෙයි කියන්නේ ඇත්තද?

ඇත්ත ඇත්ත. අපි එළියට ගියත් ට්‍රිප් එකක් ගියත් චාමර එක්ක සෙල්ෆියක් ගහන්න කවුරුම හරි එනවා. එයා පුතාලගේ ඉස්කෝලෙට ගියත් ලොකු පිළිගැනීමක් තියෙනවා. එයාට එදා ලැබුණු ප්‍රසිද්ධිය තාමත් ඒ විදියමයි.

 

*ක්‍රිකට්වලට අමතරව එයා වෙන දක්ෂ මොනවටද?

චාමරට හොඳට උයන්න පුළුවන්. පරිප්පු එහෙම හරි රසට හදනවා. මටත් ඉතින් ලේසියි. ඒ වගේම එයාට හොඳට සිංදු කියන්නත් පුළුවන්. හැබැයි ඔය හැමදේටම වඩා එයා හරි දක්ෂයි නිදාගන්න. දවසක් වුණත් එකදිගට නිදාගනියි.

 

*එයා ඔයාට සැර කරන්නේ එහෙම නැද්ද?

(සිනාසෙමින්) අයියෝ නෑ. අපි ගෙදර ඉන්නේ හරියට හොඳම යාළුවෝ වගේ. හැබැයි එයා මැච් එකක් බලද්දි එහෙම ක්‍රීඩකයින්ට මුකුත් කියන්න දෙන්නේ නෑ. ඒ වෙලාවට කියනවා “එහෙනම් ඔයා ගිහින් ගහලා එන්න” කියලා.

 

*චාමර වයසට යන්නේ නැති එකටත් මොකක් හරි රහසක් ඇති නේද?

(සිනාසෙමින්) මමත් ඒ රහස එයාගෙන් අහනවා. ඒත් හිනාවෙනවා මිසක් කියන්නේ නෑ. ඒ වෙලාවට මං එයාට විහිලුවට වගේ කියනවා “මං ඔයාව සතුටින් තියන නිසයි ඔයා වයසට යන්නේ නැත්තේ” කියලා.

 

*හිටපු ක්‍රීඩකයෝ ගොඩාක් මේ වෙනකොට රට අතෑරලා ගිහින් තියෙනවා. ඔයාලට එහෙම අදහසක් නැද්ද?

මං හිතන්නේ ලංකාව තරම් හොඳ රටක් තව නෑ. චාමර ආසත් නෑ ලංකාව දාලා යන්න. මගේ ආසාවකුත් නෑ. ඒක නිසා දැනට නම් එහෙම අදහසක් නෑ.

 

*ක්‍රිකට් පිටිය හොල්ලපු ක්‍රීඩකයෙකුගේ බිරිඳක් වෙන්න ලැබුණු එක ගැන තමාරාට මේ මොහොතේ මොකද හිතෙන්නේ?

ඒ ගැන මට ලොකු සතුටක් වගේම ආඩම්බරයක් තියෙනවා. මොකද චාමරට ලංකාවේ මිනිස්සු හරිම ආදරෙයි. ඒ ආදරේ මං එයාගේ බිරිඳ නිසා මටත් ලැබෙනවා. ඒ අතින් මං හරි වාසනාවන්තයි කියලා මට හිතෙනවා.

 

රුවන් එස්.සෙනවිරත්න