Latest News

කුලී නිවසේ තබා ගැනීමට නොහැකි වූ මිය ගිය දියණියගේ දේහය විහාරස්ථානයේ තැබීමට අවසර

මිය ගිය දියණියගේ දේහය තබා ගැනීමට ස්ථානයක් නොමැති වීම හේතුවෙන් දැඩිගමුව මානුංගමුව විහාරස්ථානයේ ධර්ම ශාලාවේ දේහය තැන්පත් කර අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව ලබා දුන් සිදුවීමක් දැඩිගමුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මෙලෙස මියගොස් ඇත්තේ,නවගමුව දැඩිගමුව දේවමිත්ත මහා විද්‍යාලයේ දහය ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 15 හැවිරිදි නිපුනි නිසංසලා නමැති දැරියයි.

අදාළ දැරිය මාස කිහිපයකට පෙර හදිසියේ අසනීප තත්ත්වයට පත් වී හිසේ ඇතිවූ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මිය ගොස් තිබෙනවා.

මොනරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් අදාළ පාසල් දැරිය ඇයගේ මව්පියන් සහ සහෝදරියන් දෙදෙනා සමග දැඩිගමුව ප්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිට තිබෙනවා.

අදාළ දැරියගේ පියා ත්‍රී රෝද රථ රියදුරකු ලෙසත් මව පෞද්ගලික අංශයේ ආයතනයක කම්කරු රැකියාවක නිරතව ඇති බවත් වාර්තා වනවා.

ඇය පදිංචිව සිටි කුලී නිවසේ හිමිකරුවන් දේහය අදාළ නිවසේ තැන්පත් නොකරන ලෙස දැනුම් දීම හේතුවෙන් මොවුන් දැඩි අසරණභාවයට පත්ව සිටි අවස්ථාවේ දී මානුංගමුව විහාරස්ථානයේ විහාරාධිකාරී කළුබෝවිටියන සිරිරතන හිමියන් මැදිහත් වී දේහය විහාරස්ථානයේ ධර්ම ශාලාවේ තැන්පත් කර අවසන් ගෞරවය දක්වන ලෙස අනුශාසනා කර තිබෙනවා.

ඒ අනුව ඇයගේ දේහය පිළිබඳ ආගමික කටයුතු සියල්ල අද (28) දින විහාරස්ථානයේ දී සිදු කර අවසන් කටයුතු දැඩිගමුව සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.