අනතුරකින් මොළය මිය ගිය සැමියාගේ අවයව දන් දුන් බිරිඳ
ජිවිතයේ දරා ගත නොහැකි අවස්ථාවක් ශක්තිමත්ව දරාගත් කාන්තාවක් ගැන පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වනවා.
අනතුරකට ලක්ව මොළය මියගිය සිය සැමියාගේ අවයව දන්දීම සඳහා ඔහුව බදුල්ල මහ රෝහලේ සිට ගුවනින් කොළඹ ජාතික රෝහල වෙත ගෙන ආ බිරිඳක් සම්බන්ධව මෙලෙස වාර්තා වී තිබෙනවා.
පසුගිය 26 වනදා ඔහු රැකියාව නිම කර නැවත නිවස බලා යමින් සිටියදී බසයෙන් ඇද වැටී අනතුරකට ලක්වී තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, හසලක මහඅස්වැද්දුම ගම්මානයේ පදිංචි 48 හැවිරිදි එම්. ජී චමින්ද නැමති දෙදරු පියෙක්.
අදාළ පුද්ගලයා දින ගණනක් බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා ඇත්තේ අනතුරින් හිසට බරපතළ තුවාල සිදුවීම හේතුවෙන්.
කෙසේවෙතත් වෛද්‍යවරු රෝගියාගේ පවුලේ සාමාජිකයින්ට පවසා ඇත්තේ චමින්දගේ මොළය මියගොස් ඇති බැවින් තවදුරටත් ඔහු ජීවත් කළ නොහැකි බවයි.
එම අවස්ථාවේදී අදාළ කාන්තාව විසින් තම ස්වාමියාගේ අවයව දන්දී තවත් ජීවිත බේරාගැනීමට තීරණය කර තිබෙනවා.
බිරිඳ සහ දරුවන් දෙදෙනාගේ එම තීරණයෙන් පසු බදුල්ල මහ රෝහලේ වෛද්‍ය කණ්ඩායමක් විසින් රෝගී චමින්දව කොළඹ ජාතික රෝහල වෙත රැගෙන ආවේ ඊයේ (31) උදෑසනයි.
චමින්දගේ හදවත විදේශීය වෛද්‍ය කණ්ඩායමකගේ ද සහාය ඇතිව වෙනත් රෝගියෙකුට බද්ධ කිරීමට නියමිතයි.
එසේම ඔහුගේ පෙණහලු සහ අක්මාව මහනුවර රෝහලේදී තවත් රෝගියෙකුට බද්ධ කිරීමට නියමිත බව වාර්තා වනවා.
ඔහුගේ වකුගඩු බදුල්ල මහ රෝහලේදී රෝගීන් දෙදෙනෙකුට බද්ධ කිරීමට නියමිතව තිබෙනවා.
බදුල්ල මහ රෝහලෙන් ගෙන ගිය චමින්දගේ අවයව ඉවත් කිරීමෙන් පසු ඔහුගේ සිරුර යළි බදුල්ල මහ රෝහලට ගෙනැවිත් මරණ පරීක්ෂණයෙන් පසු පවුලේ ඥාතීන්ට භාරදීමට නියමිතව පවතිනවා.