Uncategorized

“මං ගෙදර ඉන්නේ ඉරිදා විතරයි. එදාට ගමේ අය මාව හොයාගෙන එනවා. ඉතින් මේ වෙනකොට මං ගෙදරත් පොඩියට බයික් ත්‍රීවිල් වගේ වාහන රෙපෙයාර් කරනවා.” – තිසරි හංසමාලි

වැලිමඩ, නුගතලාවේ ජීවත් වූ නන්දසේන බස්රථ රියැදුරෙකි. නන්දසේන බස්රථයේ දෛනික චාරිකාව නිමවා එය නිවසට රැගෙන එනතුරු ඉස්පාසුවක් නැතුව බලාසිටි කෙනෙක් ඔහුගේ නිවසේ සිටියාය. ඒ එවකට අවුරුදු දෙකහමාරක් පමණ වූ ඔහුගේ දියණියයි. එනිසා නිවසට ආ වහාම නන්දසේන කළේ සිය දියණිය තිසරි ඔසවා රියැදුරු අසුන උඩින් තබන එකය. ඒ වෙලාවට හතර මහනිධානයක් පහළ වුණාක් මෙන් සතුටකින් පුංචි එකී දඟලන්නීය. විටෙක ඈ සුක්කානම කරකවා බලන්නීය. ඇක්ස්ලේටරය හෝ බ්‍රේක් පැඩලය පාගා බලන්නටද ඈ රුසිය. ඔය කොයි වෙතත් ඈ ආසම වැඩේ බස්රථය අලුත්වැඩියා කරන සැටි බලා සිටින්නටය.
 
ඔය කියූ පොඩි කෙල්ල දැන් ලොකුය. දැන් ඈට 23කි. පුංචි සන්ධියේදී බස් අලුත්වැඩියා වැඩ ආසාවෙන් බලා සිටි ඇය දැන් වාහන අලුත්වැඩියා කරන කොම්පැණියක මෝටර් රථ කාර්මික ශිල්පිනියක ලෙස සේවය කරයි. එහි සේවය කරන එකම තරුණිය ඇයයි.
 
“මං පුංචි කාලේ ඉඳන්ම වාහනවලට හරි ආසයි. ඒ ආසාව නිසාම වැලිමඩ මධ්‍ය විද්‍යාලයේදි උසස්පෙළට කළෙත් ඉංජිනේරු තාක්ෂණය විෂය. උසස්පෙළ සමත් වුණත් කැම්පස් යන්න බැරිවුණා. ඒත් කැම්පස් ගිය අය එළියට එන්නත් කලින් මට මං ආස කරපු හීනෙට යන්න පුළුවන් වුණා.”
 
තිසරි හංසමාලි අපට මුණගැහුනේ මහියංගන පාරේ කයිලගොඩ හන්දියේ වන ‘ඔටෝ මිරාජ්’ නම් ඇය සේවය කරන ආයතනයේදීය. යකඩ ගොඩවල් සමඟ ඔට්ටු වෙන රස්සාවක් තෝරාගැනීම සම්බන්ධව පවුලේ එකම ගැහැනු දරුවා වූ ඇයට මුලදී පවුලෙන්ම බාධා පැමිණි බව ඈ කියයි. නමුත් දියණිය සිහිනය අත් නොහරින බව වැටහුණු තැන ආශිර්වාද කරනු හැර වෙන මඟක් ඇගේ දෙමව්පියන්ට ද නොතිබෙන්නට ඇත.
 
සරසවි වරම් අහිමි වූ නිසා තිසරි ඇගේ හීනයට යන පාර කපාගන්නට බණ්ඩාරවෙල කාර්මික විද්‍යාලයට යන්නට සිදුවිය. එහි මෝටර් රථ විදුලි ශිල්පී පාඨමාලාව හැදෑරු එකම සිසුවිය වූයේ ඇයයි. උගත් දෑ ඔපමට්ටම් කරගැනීමට පාඨමාලාවෙන් පසු තිසරි ගමේ ගරාජ් එකක සේවය කළාය. පසුව පාඨමාලාවේ මූලික පුහුණුව ලබන්නට තිසරි ගොස් ඇත්තේ කැප්පෙටිපොළ ඩිපෝවටය.
 
“මූලික පුහුණුව ඉවරකරලා මං නුවර අරුප්පොල තාක්ෂණික විද්‍යාලයට ගියා. ඒ ගිහින් මෝටර් රථ ජාතික ඩිප්ලෝමාව (National Diploma in Auto Mobile) කරලා ඒ විභාග ටික ලියලා තමයි පුහුණුවට මෙතැනට ආවේ.”
 
වවුලාගේ මඟුල් ගෙදර ගියපසු එල්ලී සිටින්නට සිදුවෙයි. එලෙසම ගරාජ් එකක සේවයට පැමිණි පසු සියුමැලි දෑත්වලින්ද බර වැඩ කරන්නට සිදුවෙයි. ඈට එය අරුමයක් නොවුණත් එහි පැමිණෙන්නවුන්ට එය විස්මය දනවන දසුනක් වී ඇති බවයි තිසරි පවසන්නේ.
 
“මාව දැක්කම ගොඩාක් අය පුදුම වෙලා බලාගෙන ඉන්නවා. ගොඩක් අය හිතන්නේ මේ රස්සාව ගෑනු අයට කරන්න බැරි එකක් කියලා. ඉතින් මං ටයර් ගළවනකොට, වාහන යටට රිංගගනකොට කට්ටියට පුදුමයි.”
 
*වාහනත් එක්ක වැඩ කරද්දි අනතුරු වෙලා නැද්ද? අපෙන් තිසරි ට අතුරු ප්‍රශ්නයකි.
 
“පිච්චෙන කැපෙන ඒවා තමයි ගොඩාක්ම. දවසක් එන්ජින් එකේ ප්‍රශ්නයක් තිබුණු කාර් එකක් ආවා. මමත් ඉතින් ආපු ගමන් එන්ජින් එක අල්ලලා බැලුවා. ඒක රත්වෙලා කියලා එවෙලේ මට අමතක වුණා. ඉතින් මගේ එක අතක් හොඳටම පිච්චුණා. දැන් නම් එන්ජින් එක දිහාට අත යද්දි මට මතක් වෙන්නේ ඒක.”
 
දැන් මුහුණුපොතේද තිසරි ප්‍රසිද්ධය. තිසරි ගැන අප දැනගත්තේද මුහුණුපොත නිසාය.
 
“මෙතැනට දවසක් පාලිත රාජපක්ෂ කියලා ඩොක්ටර් කෙනෙක් ආවා. ඒ ඔහුගේ වාහනේ ගැටලුවක් ගැන බලාගන්න. ඒ ඩොක්ටර් මාව දැකලා මාත් එක්ක කතා කරලා මගේ ගැන ෆේස්බුක් එකේ පෝස්ට් එකක් දාලා. ඒ පෝස්ට් එක ගොඩක් අය අතරේ හුවමාරු වෙලා තමයි මාව අඳුනගත්තේ.”
 
මෝටර් රථ කාර්මික ශිල්පිනියක් ලෙස අද සිටිනා තැනට පාර කැපුනේ සිය පියා නිසා බවත් තිසරි කීවාය.
 
“බහුතරයක් තාත්තලා දුවලට මේ වගේ පාරවල්වල යන්න දෙන්නේ නැහැ. ඒත් මම පොඩි කාලේ ඉඳලා තාත්තා මට බස් එක්ක ගැවසෙන්න ඉඩ දුන්නා. ඉතින් තාත්තා නිසා තමයි අද මං මේ වගේ තැනක ඉන්නේ. පුංචි කාලේ වෙන ගෑනු ළමයි බෝනික්කන්ට ආසවෙද්දි මං ආසවුණේ වාහනවලට. ඒත් මං ඒවා පදිනවට වඩා කළේ ගෙනැල්ල දවසක් ගියාම ගළවලා ඒවා හදලා තියෙන විදිය බලන එක. හැබැයි පස්සේ ආයෙත් තිබුණු විදියටම හදනවා. ඒ පුරුද්ද දැන් මගේ වෘත්තිය බවට පත්වෙලා. දැන් වාහනේ සද්දෙන් ලෙඩේ මොකක්ද කියලා කියන්න මට පුළුවන්.”
 
සර්පයෙක් කෑ විට සිංහල වෙද මහත්තුරු ලෙඩාගේ නාඩි අල්ලා කෑ සර්පයා කියන තරමේ දස්කමක් තිසරිට වාහන සම්බන්ධයෙන් ඇත. ඒ හැකියාව නිසාම ගමේ උදවියටද දැන් තිසරිව නැතුවම බැරිය.
 
“මං ගෙදර ඉන්නේ ඉරිදා විතරයි. එදාට ගමේ අය මාව හොයාගෙන එනවා. ඉතින් මේ වෙනකොට මං ගෙදරත් පොඩියට බයික් ත්‍රීවිල් වගේ වාහන රෙපෙයාර් කරනවා.”
 
අම්මා තාත්තා හැරුණුකොට තිසරිට ඉන්නේ බාල සහෝදරයෙකි. ඒ හැමෝමත් ඇගේ ගමනට ශක්තියක් බව තිසරි කීවාය.
 
“මං තෝරගත්තේ ලෝකයත් එක්ක ඉස්සරහට යාවත්කාලීන වෙන ක්ෂේත්‍රයක්. රටේ මොන ප්‍රශ්න ඇති වුණත් රැකියා ගැන බයක් නෑ. මං වගේ වෙන්න හිතන ඕනතරම් ගෑනු ළමයි ඇති. ඒ අයට මං කියන්නේ බය නොවී මේ පාර තෝරගන්න. මේ වෙනකොට අපේ රටේ කාර්මික විද්‍යාල ඕනතරම් තියෙනවා. ඒ හරහා ඒකට ආරම්භය ගන්න පුළුවන්.”
 
වාහන එක්ක හැප්පෙන එක වෙහෙසක් වුවද රැකියාවේ සතුට ඇගේ ඒ වෙහෙස අකාමකා දමා තිබෙන හැඩය. රෝගී වාහන නිරෝගී කර ඈ එකී සතුට සොයාගන්නීය. ඇය හා ගෙවූ හෝරාවට අවසානයක් දී අප යළිත් කොළඹ එන්නට හැරුනෙමු. ඒ එන ගමනේදී මා වාහනයේ පැති කණ්ණාඩියෙන් ඈ දෙස බැලුවෙමි. අපත් සමඟ කතාව අවහර කළ ඇය එවිටත් හිටියේ අසල තිබූ ප්‍රාඩෝවක් යටය.
 
රුවන් එස්.සෙනවිරත්න
 
#Dharanee
www.dharanee.lk