අනිත් අයගේ ඇදකුද හොයන්නේ නැත්නම් අනවශ්‍ය ප්‍රශ්න එන්නෙත් නෑ
ඉස්සර ලෝකේ ගෑනුන්ට බැහැයි කියලා වෙන් කරාපු වැඩ ටිකක් තිබුණනේ. සැපයුම් සහ සැපයුම් දාම අංශය නැත්තම් ලොජිස්ටික් කියන්නෙත් අන්න එහෙම පැත්තක්.
ඒ කාලේ සැපයුම්, ප්‍රවාහන වගේ අංශවල වැඩ කළේ පිරිමි උදවිය විතරයි . 1960 දෙවැනි ලෝක යුද්දේ කාලෙදි ඇමරිකාවේ හිටපු තරුණ ගැටව් බහුතරයක් යුද්ධෙට ගියා. පිරිමි ප්‍රජාවේ අඩුවත් එක්කලා රටේ විශාල ශ්‍රම හිඟයක් පැනනැග්ගා. ඇමරිකාවේ ඉන්න තරුණ කෙල්ලන්ව සැපයුම් සහ ප්‍රවාහන අංශවල සේවයට බඳවාගත්තේ එයින් පස්සේ. ලිලී එළිසබත් ලොජිස්ටික් අංශයේ පළමු වාණිජ බලපත්‍රය හිමිකරගෙන ඉතිහාසෙට එකතුවෙද්දි හැනා කයින් ලොජිස්ටික් පැත්තේ වයිට් කොලර් ජොබ් එකක් කරපු ප්‍රථම කාන්තාව වුණා.
ඔහොම ආපු ලොජිස්ටික් ගමන අද වෙනකොට කාන්තාවන්ට අමුතු තැනක් නෙමෙයි. කාන්තා සේවයේ කැපී පෙනෙන අංශයක් විදියට ලොජිස්ටික් අංශය පහුගිය වසර දෙකේ වාර්ථා පවා තිබ්බා.
යුරෝපීය රටවල ගෑනුන්ට ඕවා කරන්න නිදහස තිබුණට අපිට කොයින්ද එහෙම නිදහසක් කියලා සමහරු කියනවනේ. අද ‘ධරණී’ කවරය සරසන තිශාක්‍යා නිශාමිනී සමරකෝන් නම් ඒ ගැන කිව්වේ වෙනම කතාවක්.
“ඉස්සර අපේ කාන්තාවන්ට නිසිතැන ලැබුණේ නැහැයි කියනවනේ. හැබැයි දැන් ඒක එහෙම නැහැ. හරියට වැඩ කරන්නේ කවුද ඒ කෙනාට අදාළ තැන ලැබෙනවා. දැන් ඒකට ගෑනු/ පිරිමිකම බලපාන්නේ නැහැ. මම වැඩ කරන ආයතනය වුණත් ඒකට උදාහරණයක්.”
එහෙම කියන තිශාක්‍යාත් සැපයුම් සහ සැපයුම් දාම අංශයෙන් ඉහළට ආපු කාන්තාවක්. HVA Foods PLC (Heladiv) ආයතනයේ සැපයුම් දාම අංශ ප්‍රධානී ලෙස සේවය කරන්නේ ඇයයි. අපේ රටේ ගොඩක් කාන්තාවන් දැන් මේ අංශයෙන් ඉහළට යනවා කියලයි ඇය ඇගේ කතාව පටන්ගත්තේ.
“මගේ ගම දෙහිවල. අම්මයි, තාත්තයි, නංගිලා දෙන්නයි තමයි පවුලේ ඉන්නේ. මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවෙන් තමයි ඉගෙනගත්තේ. මම උසස් පෙළට කළේ සයන්ස්. ඒ අංශයෙන් ජොබ් එකක් කරන්න තමයි ඒ කාලේ ආසාව තිබුණේ.”
තිශාක්‍යාගේ මවත් සැපයුම් සහ නිෂ්පාදන අංශයේ රැකියාවක් කළ කාන්තාවක්ලු.
“සැපයුම් අංශයේ ජොබ් එකක් කරන්න ආස හිතුණේ අම්මා නිසයි. අම්මා වැඩ කරන විදියයි ජොබ් එකත් එක්ක ලයිෆ් එක සමබර කරගන්න හැටියි දැක්කහම විද්‍යා අංශයෙන් යන අදහස අතඇරලා ලොජිස්ටික් ඉගෙනගන්න තීරණය කළා. මේ පැත්තෙන් මට ලොකු ගමනක් යන්න පුළුවන් කියලා අම්මත් කිව්වා.”
පස්සේ ඇය පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් ලොජිස්ටික් සහ මෙහෙයුම් සම්බන්ධ උපාධිය සම්පූර්ණ කළාලු.
“කැම්පස් එකෙන් අයින් වුණාට පස්සේ මම HVA Foods ආයතනයට අයැදුම් කළා. ඇප්ලයි කළ ෆ්‍රස්ට් ජොබ් එකටම මාව තේරුණා. ජූනියර් එක්සකටිව් වගේ පොඩි තනතුරකින් තමයි මම මේ ගමන පටන්ගත්තේ. ඊටපස්සේ හැමදේම ටිකෙන් ටික ඉගෙනගත්තා.”
*රැකියාවෙදි තිශාක්‍යාට පැවරිලා තියෙන වැඩ රාජකාරි මොනවද?
“මම වැඩ කරන්නේ සැපයුම් අංශයෙනේ. ඉතින් ආයතනයේ නිෂ්පාදන නියමිත වෙලාවට අදාළ තැන්වලට බෙදාහැරෙනවද කියලා හොයලා බලන්න ඕනේ. අවුට්සෝස් ෆැක්ටරිවලට අපේ නිෂ්පාදන හරි වෙලාවට යනවද, ඒවගෙන් ඒ දේවල් නිසි විදියට බෙදාහරිනවද කියලා බලන එකත් මගේ වගකීමක්. මගේ යටතේ යම් සේවක පිරිසක් වැඩ කරනවා. ඔවුන්ගේ වැඩකටයුතු හරි විදිහට සිද්ධවෙනවද කියන එකත් බලන්නේ මම. ඉස්කෝලෙදි මම ක්‍රීඩා කළා. ඊට අමතරව බටහිර තූර්යවාදක කණ්ඩායම් නායිකා, ශිෂ්‍ය නායිකාවක් විදියට හිටියා. ඒ දේවල්වලිනුත් නායකත්වයේ හුරුව මට ලැබුණා කියලයි මට හිතෙන්නේ.”
සාමාන්‍යයෙන් ලොජිස්ටික් අංශවල පිරිමි කම්කරු සේවකයන් වැඩිනේ. පිරිමි එක්ක හරි හරියට වැඩ කරද්දි අභියෝග ඇවිල්ලා නැද්ද කියන එකයි ඊළඟට මම ඇගෙන් ඇහුවේ.
“එහෙම නැහැ. මමත් පොඩිම තනතුරක ඉඳලා ආපු කෙනෙක්. ඉතින් කිසිම වෙලාවක අනිත් අයව තලලා පෙළලා වැඩ කරන්න යන්නේ නැහැ. ඒ නිසාමද කොහෙද ඒ අයත් මාත් එක්ක හොඳ සහයෝගයෙන් වැඩ කරනවා. ඒකට ගෑනු පිරිමි බේදයක් නැහැ.”
ඒ කාරණාව එහෙම වුණත් ඇයට අභියෝග එන්නේ නැතිවමත් නෙමෙයිලු.
“වෙලාවකට වැඩ කිහිපයක් බැලන්ස් කරන්න වෙනවා. මගෙත් එක්ක වැඩ කරන අයගේ ප්‍රශ්න ගැන වුණත් බලන්න ඕනේ මම. එහෙම වුණාම ඉතින් ඔලුවට පීඩනයක් දැනෙන එක සාමාන්‍යයිනේ. ඒ පීඩනය හරියට බැලන්ස් කරගන්න එක තමයි හපන්කම. ජොබ් එක කරන්න ගත්තු මුල් කාලෙට වඩා දැන් මට හොඳට ජොබ් ස්ට්‍රෙස් එක පාලනය කරගන්න පුළුවන්. රස්සාව කරන තැන අපි පැය ගාණක් රැඳෙනවා. ඉතින් එතැන පීඩනෙන්, දුකෙන් ඉන්නවා කියන්නේ ඒක ඔලුවට ලොකු බරක්. ඒ නිසා රස්සාව කරන තැන වුණත් සතුටින් ඉන්න බලන්න ඕනේ කියන එකයි මගේ අදහස. ඒකට සුදුසු පරිසරය හදාගන්න එක තමන්ගේ වැඩක්. ඔෆිස් එකක වුණත් කේලම් කියන්නේ නැතිව, අනිත් අයගේ ඇදකුද හොයන්නේ නැතිව, අනිත් අයත් එක්ක සමගියෙන් ඉන්නවා නම් ඔලුවට අනවශ්‍ය ප්‍රශ්න එන්නේ නැහැ.”
ඔෆිස් කතාවලින් පස්සේ අපි ඇගේ පෞද්ගලික ජීවිතේ දිහාවටත් හැරුණා. වෘත්තීය ජීවිතේයි පෞද්ගලික ජීවිතේයි සමබර කරගන්න සැමියාගෙන් ඇයට ලැබෙන සහාය ගැන තිශාක්‍යා කිව්වේ එතකොටයි.
“හස්බන්ඩ්ගේ නම දිනුක් ලියනආරච්චි. ඔහු මෘදුකාංග ඉංජිනේරුවෙක්. ගෙදර කුස්සියේ වැඩ ගෑනුම කරන්න ඕනේ, පිරිමි අයට ඒවා කරන්න හොඳ නැහැ වගේ මතයක් අපේ සමාජයේ තිබුණනේ. ඉතින් ගෑනු අය රස්සාව කරලා ගෙදර ඇවිල්ලා ගෙදර වැඩත් තනියම කරගත්තා. හැබැයි දැන් ඒ කාරණාවත් සෑහෙන දුරට වෙනස්. දෙන්නම හම්බකරනවා නම් දෙන්නම එකමුතු වෙලා ගෙදර වැඩ ටිකත් කළමනාකරණය කරගන්න ඕනේ කියන තැන දැන් තරුණ පිරිස ඉන්නවා. මගේ සැමියත් එහෙම කෙනෙක්. මම එන්න රෑ වුණොත් එයා ගෙදර වැඩ කරලා තියනවා. ජොබ් ස්ට්‍රෙස් නිසා මූණ වෙනස්වුණු දවස්වලට එයා මගේ හිත හදනවා. එහෙම සහකරුවෙක් ඉන්නවා නම් ඇත්තටම ජීවිතේ හරි ලේසියි.”
*වෘත්තීය පැත්තෙන් සාර්ථක වෙන කාන්තාවන්ට පෞද්ගලික ජීවිතේ සාර්ථක කරගන්න බැහැ කියලනේ ඒත් මිනිස්සු කියන්නේ?
“සමබරතාවය තමයි ජීවිතේ වැදගත්ම දේ. ඒක නැත්තම් ඕනම කෙනෙක්ට ජීවිතේ සාර්ථක කරගන්න අමාරුයි. ඔෆිස් දවස් පහේම වැඩ කරන නිසා සතිඅන්තයේ අපි අපේ වැඩවලට කාලය හොයාගන්නවා. ගෙදර ඇවිල්ලා ඔෆිස් වැඩ කරන්නේ නැහැ. ඒ වගේම ඔෆිස් එකේදි ගෙදර වැඩ කරන්නේ නැහැ. ඒ නිසා මට එහෙම ප්‍රශ්නයක් වෙලා නැහැ. මම විතරක් නෙමෙයි වෘත්තීය ජීවිතේ සාර්ථක කරගන්න ගමන් පවුල් ජීවිතේත් සාර්ථක කරගත්තු කාන්තාවන් ඕනතරම් අපේ රටේ ඉන්නවා.”
කරන පුංචි දෙයක් වුණත් උනන්දුවෙන් කැපවීමෙන් කරන ගමන් හැමදේම සමබර කරගන්න පුළුවන් නම් හැමදාම සතුටින් ඉන්න පුළුවන් කියන එකයි අවසානෙදි ඇය අනිත් අයටත් දීපු පණිවිඩය.
සෙව්වන්දි හෙට්ටිආරච්චි
ඡායාරූප– ක්‍රිෂාන් කාරියවසම්