විශේෂාංග

පෙම අරන් නම තියාගිය සුදු මහත්තයා

බ්‍රිතාන්‍ය පාලන සමය තුළ තෝමස් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ නිල නිවස බවට පත්ව තිබුණේ ‘මේට්ලන්ඩ් බංගලාව’යි. සාදයන්ගෙන් අඩුවක් නොවූ මේට්ලන්ඩ් බංගලාවේ එදිනද පැවැත්වෙමින් තිබුණේ රස සාදයකි. කෑමබීමෙන් මධුවිතෙන් පමණක් නොව සාදය රසවත් කරන්නට නර්ථන කණ්ඩායමක්ද පැමිණ තිබුණි. සුරූපී තරුණියන් කීපදෙනෙකුගෙන් සැදුම්ලත් එම කණ්ඩායමේ නර්ථනයන් එදා එතැන සිටි සියල්ලන්ගේම සිත් පැහැරගත්තේය. ඇසිපිය නොහෙලා එදෙස බලාසිටින්නට තරම් ඒ නැටුම් සරාගිකය.

මේ අතර නර්තන කණ්ඩායමේ සිටි අතිසුන්දර තරුණියක පිළිබඳව කෙනෙකුගේ හිතේ අමුතු හැඟීමක් කැකෑරෙමින් තිබුණි. ඒ වෙනකෙකුගේ නොව මේට්ලන්ඩ් බංගලාවේ ප්‍රධානියා වූ මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ හිතේය. ඉන්පසු කුප්පමේණියා සුවඳ පිටුපස දුවයන බළලෙකු මෙන් ඔහු ඇය පසුපස ගියේය. සුරූපී ඇය පිළිබඳව දිගින් දිගටම විස්තර සෙව්වේය.

දින කිහිපයක් ගතවෙද්දී එම තරුණියගේ නම ‘ලොවීනා’ බව ආණ්ඩුකාරවරයාට ආරංචි විය. එසේම ඇය රොඩී කුලයක තරුණියක් බවද දැනගන්නට ලැබුණි. ලන්දේසි පුද්ගලයෙකුට දාව රොඩී කුලයක කාන්තාවකගේ කුසේ ඉපදුණු ඇයට ඒ වනවිට වයස අවුරුදු දාහතක් පිරුණා විතරය. වයසින් මඳක් පරිණත වුවද කඩවසම් පෙනුමක් තිබූ මේ ආණ්ඩුකාරවරයා සමඟ​ පෙමින් වෙළෙන්නට ලොවීනා පසුබට වුණේ නැත. එදා පටන් එම කාලය පුරාවටම ආණ්ඩුකාරවරයා ඇයව හඳුන්වා ඇත්තේ ‘ලොවීනා’ ලෙස නොව ‘ලැවීනියා’ ලෙසය. ඒ ඔහුට උච්චාරණය සම්බන්ධව තිබූ අපහසුව නිසාය.

මේ කාලය තුළ ඔවුන් දෙදෙනාගේ මුණගැසීම් සිදුවූයේ රහසේය. ඒ වෙනුවෙන් ආණ්ඩුකාරවරයා රහස් උපක්‍රම පවා යොදා තිබුණි. ඔහු තම නිල නිවසේ සිට ලොවීනා ජීවත් වූ රොඩී නිවස දක්වා දිවෙන රහස් උමඟක්ද තැනුවේය. නමුත් කාලය ගතවෙද්දී මේ සම්බන්ධය රහසක් ලෙස තබාගැනීමට දෙදෙනාටම නොහැකි විය. එනිසා මේ ආදර කතාවේ පරක් තෙරක් නොදැන සිටි බොහෝදෙනා පැවසූවේ ලොවීනා යනු මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ ලිංගික භාණ්ඩයක් බවයි. නමුත් එය හුදෙක්ම වැරදි වටහා ගැනීමක් වූ අතර ආණ්ඩුකාරවරයා සැබෑ ලෙසම ඇයට ආදරය කරමින් තිබුණි.

දෙදෙනා අතර ආදර කතාව මෙසේ ගලායද්දී ආණ්ඩුකාරවරයාගේ නිල නිවසේ සිටි එක් සොල්දාදුවෙකුට ලොවීනා පිළිබඳව පෙම් සිතක් පහළ විය. ඔහු ඇයව හමුවීමටද කිහිපවරක්ම උත්සාහ ගත්තේය. ඒ බව කනවැකුණු වහාම ආණ්ඩුකාරවරයා කළේ ඔහුට වෙඩි තබා මරා දැමීමයි. ඒ ඇය නිසා ඔහු අතින් මියගිය දෙවෙනි සොල්දාදුවා වූ අතර ඊට පළමුවද ඇගේ නිරුවත් උඩුකය දෙස බලා සිටි සොල්දාදුවෙක් ඔහු අතින් මැරුම් කා තිබුණි. එදා කුලය අනුව රොඩී කාන්තාවන්ට හිමිව තිබූ තැන මත ඔවුන්ට උඩුකය වැසෙන සේ ඇඳුම් ඇඳීමේ අවසරයක් තිබුණේ නැත. එම සිදුවීමෙන් පසු මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයා සියලුම කුලහීන කාන්තාවන්ට උඩුකය වසා ගැනීමට ප්‍රසිද්ධියේම අවසර ලබාදුන් බව කියැවේ.

නමුත් කාලය ගතවෙද්දී මේ ආදර සම්බන්ධය ගැන පුවත එංගලන්තයේ ජෝර්ජ් රජතුමාගේ කනටද ගියේය. ඔහු සිතුවේ, මේට්ලන්ඩ් ලංකාවේ සිට තමාගේ මුදල් කුලහීන රොඩී තරුණියක් වෙනුවෙන් වියදම් කරන බවයි. සත්‍යය එය නොවුණද ජෝර්ජ් රජුට එසේ සිතන්නට ඕනෑවටත් වඩා සාක්ෂි තිබුණි. ඔහු අත වූ ලොකුම සාක්ෂිය වූයේ ඒ වනවිටත් මේට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාට විරුද්ධව රජුට ලැබී තිබූ පෙත්සම් ගණනාවයි. එහි ප්‍රතිඵලය වූයේ මේට්ලන්ඩ් නැවත මව්රටට ගෙන්වා ගැනීමට ජෝර්ජ් රජු කටයුතු කිරීමයි. ඒ අනුව පස් වසරක් පුරාවට ගලා ගිය ආදර කතාවට තිත තබන්නට අකමැත්තෙන් වුවද ‘මේට්ලන්ඩ්-ලොවීනා’ දෙදෙනාට සිදුවිය.

ඒ නිසා මේට්ලන්ඩ් නැවත එංගලන්තය බලා ගිය අතර ලංකාවේ ආණ්ඩුකාරවරයා ලෙස ඔහුගේ නිල කාලය සටහන් වූයේ වර්ෂ 1805 සිට 1811 දක්වා කාලයයි. නමුත් මව්රටට යෑමට පෙර ඔහු ජෝර්ජ් රජුගෙන් එක් ඉල්ලීමක් කළේය. සාජහාන් රජුට මෙන් ආදරයේ නාමයෙන් ටජ්මහලක් තැනවීම ප්‍රායෝගික නොවූ නිසාදෝ ඔහු කළ ඉල්ලීම වූයේ තමා විසූ නිල නිවස ‘මවුන්ට් ලැවීනියා’ ලෙසින් නම් කරන ලෙසයි. ඒ අනුව ලොවීනා පිළිබඳව මතකයන් ඇයව මුණගැසුණු මේ බිම මත සදා අමරණීය කිරීමේ අදහසින් කළ ඉල්ලීමට එංගලන්ත රජයේ අනුමැතිය ලැබුණි. එදා මේට්ලන්ඩ් බංගලාව ලෙසින් හැඳින්වූ එය පසුව ‘මවුන්ට් ලැවීනියා බංගලාව’ ලෙසින් වෙනස් වූ අතර එයින් නොනැවතී එය පිහිටි ගල්කිස්ස නගරයද ‘මවුන්ට් ලැවීනියා’ ලෙසින් හඳුන්වන්නටද බොහෝදෙනා හුරුවිය. සියල්ල එසේ සිදුවුවත් තමාට පණ මෙන් පෙම් කළ මේට්ලන්ඩ් සුදු මහත්තයා නොමැතිව ජීවත්වීමේ ඵලක් නැතැයි සිතූ ලොවීනා මුහුදට පැන දිවි නසාගත්තාය.

‘මේට්ලන්ඩ්-ලොවීනා’ ආදර කතාවට වසර දෙසිය ගණනක් ගතවී තිබුණද අදටත් ගල්කිස්ස මුහුදු වෙරළ දෙසින් හමන සුළගේ ඔවුන් තෙපලූ ආදර වදන් දෝංකාර දෙනු ඇසේ. එදා තෝමස් මේට්ලන්ඩ් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා සිටි මේට්ලන්ඩ් බංගලාව වෙනුවට අද එහි ඇත්තේ ගල්කිස්ස මහහෝටලයයි. එමෙන්ම අද ගල්කිස්ස බෞද්ධ බාලිකා විද්‍යාලය ඉදිකර ඇත්තේ එදා ලොවීනා ජීවත් වූ බව පැවසෙන රොඩී නිවස තිබූ ස්ථානයේය. එදා මේට්ලන්ඩ් බංගලාවත් රොඩී නිවසත් යා කරමින් තිබූ රහස් උමඟ අද සම්පූර්ණයෙන්ම වැසී ගොස් තිබේ. ඒ සියල්ල කාලයත් සමඟ එලෙසින් වෙනස් වුවද තෝමස් මේට්ලන්ඩ් සහ ලොවීනාගේ සොඳුරු වූ ආදර කතාව නම් අදටත් අමරණීයය.

රුවන් එස්.සෙනවිරත්න