ThrillerFest 2022 හි ‘Best First Novel’ සම්මානය ශ්‍රී ලාංකික කතුවරියකට
ThrillerFest 2022 හි ‘Best First Novel’ සඳහා වන සම්මානය ‘My Sweet Girl’ කෘතිය සඳහා ගැනීමට ශ්‍රී ලාංකික කතුවරියක් වන අමන්දා ජයතිස්ස සමත්වී තිබෙනවා.
මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර ත්‍රාසජනක ලේඛකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන අතර එය අමෙරිකාවේ නිව් යෝර්ක් හිදී පැවැත්වුනා.
මෙහිදී ත්‍රාසජනක ලේඛකයෙකු සඳහා වන ගෞරවනීය සම්මානය ලබා ගත් අමන්දා ජයතිස්ස මාධ්‍යට අදහස් දක්වා තිබුනේ, “මගේ සුන්දර රට වන ශ්‍රී ලංකාව මේ වන විට ඉතා දුෂ්කර කාලයක් ගත කරමින් සිටින අතර ඔබ එතැනින් පොතක් තෝරා ගැනීම මට ලෝකයක් තරම් වටිනවා.” යනුවෙන්.
ජාත්‍යන්තර ත්‍රාසජනක ලේඛකයින්ගේ සංගමය ප්‍රබන්ධ සහ ප්‍රබන්ධ නොවන යන අංශ දෙකහිම කතුවරුන්ගේ ගෞරවනීය සංවිධානයක් වනවා.
මිනීමැරුම් අභිරහස, රහස් පරීක්ෂක, සැකය, ත්‍රාසය, අද්භූත, ඔත්තු බැලීම, සැබෑ අපරාධ, යුද්ධය, වික්‍රමාන්විත හා සමාන විෂය ක්ෂේත්‍ර වැනි විෂයයන් මෙයට ඇතුළත් වන අතර මෙයට සීමාවන් නොමැති බවයි වාර්තා වන්නේ.
2021 වර්ෂයේදී ලොව ඕනෑම තැනක පළමු වරට ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කරන ලද නවකතාවක්, කෙටිකතාවක් හෝ ශ්‍රව්‍ය කෘතියක් 2022 ත්‍රාසජනක සම්මාන සඳහා සුදුසුකම් ලැබීමට නිර්දේශ වනවා.