ත්‍රිපෝෂ ගෙදරදිම හදාගන්නත් පුළුවන්
ගැබිනි මව්වරුන්ගේත්, අඩුබර දරුවන්ගේත් පෝෂණය ගැන කතා කරද්දී, ත්‍රිපෝෂ වැඩපිළිවෙල ගැන අමතක කරන්නට බැරිය. රජය මගින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල ලංකාවේ සෑම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයක් තුළම ක්‍රියාත්මක කෙරෙන්නකි. එය මව්වරුන් අතට ලබාදීම සිදුවන්නේ රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය අතිනි. ඒ මාසික මව් සායනයේදී හෝ ළදරු සායනයේදීය.
“ත්‍රිපෝෂ වැඩපිළිවෙල ගත්තම එය කාරණා දෙකක් මූලිකවයි ක්‍රියාත්මක වෙන්නේ. එහි පළමු කාරණය තමයි මාතෘ හා ළදරු මන්දපෝෂණය වළක්වා ලීම. දෙවැනි කාරණය තමයි දේශීය ගෝවියාගේ ආර්ථිකය නංවාලීම. එයින් අදහස් කරන්නේ මෙම වැඩපිළිවෙල සඳහා දේශීය ගොවි නිෂ්පාදන මිලට ගෙන ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමයි. ත්‍රිපෝෂවල සංයුතිය සැලකිල්ලට ගැනීමේදී ඊට අමුද්‍රව්‍ය වශයෙන් බඩඉරිඟු, සෝයා බෝංචි, පූර්ණ යොදය සහිත කිරිපිටි, විටමින් සහ ඛනිජ මිශ්‍රණයක් මෙහි අන්තර්ගතයි. ඒ වගේම මෙහි සීනි, රසකාරක හෝ කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැහැ. ත්‍රිපෝෂ කලින් පිසින ලද ආහාරයක් නිසා, ක්ෂණිකව ආහාරයට ගැනීමේ හැකියාව පවතිනවා.”
ඒ රජයේ පවුල් සෞඛ්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කුගේ හඬය. ත්‍රිපෝෂ වැඩසටහන සඳහා සෑම ගර්භණී මවක්ම සුදුසුකම් ලබන අතර, ළදරුවන් මාස හයට වැඩි අඩුබර දරුවන් විය යුතුය.
“අපි මාස හයට අඩු දරුවන්ව ත්‍රිපෝෂ වැඩසටහනට යොදා නොගන්නේ, දරුවෙකුට මාස හයක් වනතුරු නිර්දේශ කරන්නේ මව්කිරි නිසයි. මෙහිදී ළදරු වර්ධන සටහනේ බර හොඳ තත්ත්වයක තිබිලා යම් අසනීපයක් නිසා ඒ දරුවාගේ බර අඩුවීමක් වුණොත් නැවත එම දරුවාගේ බර යථා තත්ත්වයට පත්වෙනතුරු ත්‍රිපෝෂ ලබාදීම සිදුවෙනවා.”
ඇය පෙන්වා දෙන්නේ ත්‍රිපෝෂ ග්‍රෑම් සියයක අඩංගු පෝෂණ සංයුතිය ඉහළ බවය. ඒ අනුව එහි කාබෝහයිඩ්රේට් ග්‍රෑම් 61.9ක් ඇත. ප්‍රෝටීන් ග්‍රෑම් 20කි. යකඩ ග්‍රෑම් 18කි. මේදය ග්‍රෑම් 7.8කි. ශක්තිය කිලෝකැලරි 400කි. අයඩින් ඇතුළු ක්ෂුද්‍ර පෝෂක මයික්රෝග්රෑම් 44කි. විටමින් ඒ, ඒකක 1700ක් එහි අන්තර්ගතය.
ත්‍රිපෝෂ පිළියෙල කරගත හැකි ආකාර කිහිපයක් තිබේ. විශේෂයෙන්ම දරුවන්ට මෙම ආහාර පිළියෙල කර දීමේදී එම ක්‍රම අනුගමනය කරන්න සිදුවන්නේ, ඇතැම් දරුවන් මෙම ආහාර ප්‍රතික්ෂේප කරන්නට ඉඩ ඇති බැවිනි.
“ඇත්තටම ත්‍රිපෝෂවලට කිරිපිටි ටිකක් එක් කරන්නෙත් ඒ රසට දරුවෝ තුළ කැමැත්තක් තියෙන නිසයි. මෙතැනදී දරුවෙක් ඒ ආහාරය ගන්න කැමති විදියට එය සකස්කර දෙන්න මවට හැකියාව තියෙනවා. එහිදී පානයක් විදියට එය හදලා දෙන්න පුළුවන්. ඊට අවශ්‍ය වෙන්නේ ත්‍රිපෝෂ මේස හැඳි තුනක්, උණුකර මදක් නිවාගත් ජලය හා සීනි ස්වල්පයක් එක්කරලා දීමේ හැකියාව තියෙනවා. කිරි හොද්දක් හදද්දී ත්‍රිපෝෂ මේස හැඳි තුනක් ඊට එක්කරලා, එය වෑංජනයක් ආකාරයට පිළියෙල කරන්නත් හැකියාව තියෙනවා. ඒ වගේම අග්ගලාවක් විදියට සීනි, පොල්, ලුණු දාලා එය සාදාගැනීමේ හැකියාවත් තියෙනවා. එමෙන්ම පිට්ටු කන්න කැමතිනම්, එය පිට්ටුවක් ආකාරයට පිළියෙල කරන්නත් හැකියි.”
ත්‍රිපෝෂවල රස ගුණ සංයුතිය ගැන කතා කළත්, තාවකාලිකව එම වැඩපිළිවෙල දැනට ඇණහිට තිබේ. එහෙත් මව්වරුන්ගේ පෝෂණ අවශ්‍යතාව නොසලකා හරින්නට පුළුවන් දෙයක් නොවේ. එය කෙසේ හෝ ඉටු කරගන්නට සිදුවන්නේ වැඩෙන දරුවෙකුගේ වර්ධනය, ශක්තිය, රෝග ආරක්ෂාව යන කාරණා සැලකිල්ලට ගැනීමෙනි. එහිදී ඒ ගැන ක්‍රියාත්මක වන්නට රජයට වගකීමක් ඇතත්, දැනට එය ඉටු නොවන්නේ නම් ඊට ආදේශකයක් අවශ්‍යය.
“කාලෙක ඉඳන් ත්‍රිපෝෂවලට ආදේශක විවිධ නම්වලින් වෙළඳපොළේ තියෙනවා. ඒ වගේම අලුත් අත්හදාබැලීම් කරමින් තියෙනවා. කොහොමනමුත් ත්‍රිපෝෂ ගෙදරදිම හදාගන්න පුළුවන්. ඒ බඩඉරිඟු, සෝයා බෝංචි, මුංඇට, කව්පි වැනි ධාන්‍ය වර්ග එක්කරලා. ග්‍රෑම් පනහක්, සියයක් ආදී වශයෙන් තමන් කැමති ප්‍රමාණයට ධාන්‍ය වර්ග ගෙන සෝදා, වේලා, කබලේ හොඳින් බැදගන්න. ඉන්පසුව එය කුඩු කරලා, (බ්ලෙන්ඩරයක් තියෙනවානම් බ්ලෙන්ඩ් කරලා) කෑමට ගන්න අවස්ථාවේ ඊට කිරිපිටි මේස හැන්දකුත් එක්කරලා අපි ඉහත කිව්ව විදියට අග්ගලා හදාගන්න පුළුවන්. ඒ වගේම කුරක්කන් කැඳ හදන විදියට මේ කුඩු කරගත් මිශ්‍රණය එක්කරලා කැඳක් හදාගන්නත් පුළුවන්. ඇත්තටම දරුවන්ගේ පෝෂණය, මව්වරුන්ගේ පෝෂණය රැකගන්න අපට මේ වෙලාවේ කළ හැකි විකල්පයක් විදියට මෙය හඳුන්වලා දෙන්න පුළුවන්.”
මෙහිදී ගර්භණී කාලය තුළ සායනයට එන මව්වරුන්ගේ දත්ත සටහන් කරගනු ලබන්නේ දරු කළලය වැඩීමේ ආකාරයද සැලකිල්ලට ගනිමිනි. එහිදී මවගේ උස-බර අනුව ඇයගේ වැඩිවන බර සැලකිල්ලට ගනු ලැබේ.
“පවුල් සේවා නිලධාරිනිය මේ ගැන මාසිකව සටහන් කරනු ලබනවා. එහිදී අදාළ කාන්තාව ගර්භණී මවක් ලෙසට සායනයට ආ පළමු දිනයේ ඇයගේ ශරීර ස්කන්ධ දර්ශකය උස සහ බර අනුව (BMI අගය) මැන බලනවා. එහිදී BMI අගය 18.5ට අඩු නම් ඇයව සැලකෙන්නේ අඩුබර සහිත මවක් හැටියටයි. එම අගය 18.5ත් 24.9ත් අතරනම් ඇය පෝෂණ මට්ටම හොඳ මවක් ලෙස සැලකෙනවා. BMI අගය 24.9ත් 29.9ත් අතර මවක් නම් බර වැඩි මවක් විදියටයි සැලකෙන්නේ. එම අගය 30ට වැඩිනම් ඇය තරබාරු කාණ්ඩයට අයත් වෙනවා.”
මෙම බර ප්‍රමාණය ගත්විට මවගේ මුළු ගර්භණී කාලය තුළ බර වැඩිවිය යුතු යැයි සැලකෙන ප්‍රමාණයක්ද ඇත. එනම් BMI අගය 18.5ක අගයක් ඇති මවකගේ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 12.5 සිට 18 දක්වා ප්‍රමාණයක් වැඩිවිය යුතුය. BMI අගය 18.5ත් 24.9ත් අතර මවකගේ බර කිලෝග්‍රෑම් 11.5 සිට 16 දක්වාත්, BMI අගය 24.9 සිට 29.9 දක්වා මවකගේ බර කිලෝග්‍රෑම් 7 සිට 11.5 දක්වාත්, BMI අගය 30 ට වැඩි මව්වරුන්ගේ බර කිලෝග්‍රෑම් 6 සිට 8 දක්වාත් වැඩිවීම සිදුවී ඇද්දැයි සැලකිලිමත් වේ.
අදාළ බර ප්‍රමාණය වර්ධනය කරගැනීමට අවශ්‍ය විටමින් වර්ග, ආහාර වර්ග ගැන දැනුවත්භාවය ලබාදෙන අතර, අවශ්‍ය විට වෛද්‍ය උපදේශනය සඳහා අදාළ මව්වරුන් යොමු කරන්නට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් උනන්දු වේ.
එහිදී මවට ලබාදෙන ත්‍රිපෝෂ පැකට්ටුවේ වැදගත්කමද කියාදෙන්නේ, එය සෑමවිටම පවුලේ ආහාරයක් කර නොගනිමින්, මවගේ පෝෂණ අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කළ යුතු නිසාවෙනි.
“මවක් ප්‍රසූතිය ආසන්න වෙනකොට ඒ නියමිත බර සපුරලා ඉන්නවානම් ප්‍රසූතියේදි ඇයට ඇතිවන සංකූලතා අවමයි. ඒ වගේම දරු ප්‍රසූතියට මුහුණදෙන්න ඇය තුළ ශක්තිය තිබෙනවා. ප්‍රසූතියේදි රුධිර වහනය වැනි අවධානම් අවස්ථාවක් ආවොත්, ඒ තුළින් මිදෙන්න ඇයගේ පෝෂණ මට්ටම තුළ බලපෑමක් තිබෙනවා. ඉතින් හැම අම්මා කෙනෙක්ම, මොන දුෂ්කරතා මැද වුවත් නිසි පෝෂණය ලබාගත යුත්තේ තමාගේත්, ඉපදෙන්නට සිටින දරුවාගේත් ආරක්ෂාව සැලකිල්ලට ගෙනයි.”
දේවිකා කොඩිතුවක්කු මහත්මිය කියන්නා සේම, ගර්භණී සමයේ මවක් ලැබිය යුතු පෝෂණය රටකට මනා ආයෝජනයක්ද වෙයි. ඒ නිරෝගී, ක්‍රියාශීලී, බුද්ධිමත් දරුවෙකු යනු හැමදාමත් රටට සම්පතක් වන බැවිනි.
දීපා වසන්ති එදිරිසිංහ