රට වෙනුවෙන් කෙල්ලෙක් මැස්සෙක් එක්ක හැප්පිලා
ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකම පොල් වගාවට ‘සුදු මැස්සා’ නම් කෘමියාගෙන් වන හානිය සුළුපටු නැතිය. සුදු මැස්සා මර්ධනයට මෙරටින් සාර්ථක ක්‍රමවේදයක් සොයාගෙන නැති මොහොතක තුෂාරා සෙව්වන්දි බස්නායක නම් පාසල් සිසුවියක් ඒ සදහා අතිසාර්ථක ක්‍රමයක් සොයාගෙනය. මේ ලිපිය සැකසෙන්නේ ඇයත් සමඟ ඒ ගැන කළ කතාබහක් ඇසුරින්ය.
ඒ ගෙවුණු අවුරුද්දේ මුලය. තම මිදුලේ තිබූ තැඹිලි ගසක් මොකක් නමුත් රෝගයකට ගොදුරුව ඇති බව තුෂාරා දුටුවද ඒ කුමක්දැයි ඈට වැටහීමක් තිබුණේ නැත. තැඹිලි ගසේ කොළවල පැහැයේ වෙනස සෝදිසි කළ තුෂාරා ගෙට දුවගොස් ඒ පිළිබඳ විමසුවේ පියාගෙන්ය. මේ නම් සුදු මැස්සා නම් කෘමියාගේ හපන්කමක යැයි ඈට කීවේ ඔහුය. කතාවෙන් කතාව තුෂාරාට සුදු මැස්සා අමතකව ගියාය. එහෙත් ඊට දින කිහිපයකට පසු පවුලේ උදවියත් සමඟ වැව්ගල ගලේ පන්සල වඳින්න ගියපු විටදීත් ඇය දුටුවේ බැලු බැලු අත පොල්ගස් කහ පැහැයට හැරී තිබෙන අයුරුය. තමන් ජීවත් වන කුරුණෑගල පොල් වගාවට සුදු මැස්සා කර ඇති හානියේ තරම තුෂාරාට හරියටම තේරුනේ එදාය.
“පස්සේ මම මේ සුදු මැස්සා ගැන සෑහෙන විස්තර හෙව්වා. මේ සතා ගස්වැල්වලට ගොඩාක් හානි කරන කෘමියෙක්. හැබැයි වැඩිපුර හානි කරන්නේ පොල් ගහට. ජීවත්වෙන්නේ පොල් කොළේ යටි පැත්තේ. ඒ ඉඳලා බිත්තර දානවා. බිත්තරවලින් කීටයෝ ආවම උන් පොල් කොළේ යුෂ උරා බොනවා. එතකොට තමයි පොල් කොළ කහ ගැහිලා තැනින් තැන කහ ලප එන්නේ. පස්සේ ගහ ක්‍රමයෙන් බාලවෙලා මැරිලා යනවා.”
මුලින්ම සුදු මැස්සා ගැන වාර්තා වූයේ යුරෝපේ රටවලින්ය. මේ තර්ජනය ආසියාතික රටවලට බලපෑම් කිරීම ඇරඹුනේ 2002දීය. මුලින්ම මාලදිවයිනේ පොල් වගාවට වින කෙරූ සුදු මැස්සා 2016දී අපේ අසල්වැසි ඉන්දියාවේ පොල් වගාවටද බෝ විය. අසල්වැසි රටෙන් මේකා අපේ රටට පියඹා ආවේ 2019දීය. සුදු මැස්සාගේ මුල්ම හානිය වාර්තා වූයේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් බවත් කිව යුතුය.
“මම ඉගෙනගන්නේ කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයේ. ඔය අතරේ සමස්ත ලංකා රොබෝ තාක්ෂණය හා නව නිපැයුම් තරඟාවලිය කියලා එකක් තියෙනවා කියලා ඉස්කෝලෙන් අපිව දැනුවත් කළා. කැමති නම් අපිටත් නව නිර්මාණ ඉදිරිපත් කරන්න කිව්වා. ඒකටම කියලා ඉස්කෝලේ නව නිපැයුම් සමාජයක් පවා පිහිටෙව්වා. සුදු මැස්සාගෙන් අපේ පොල් වගාව බේරගන්න මොකක් හරි නව නිපැයුමක් හදනවා කියලා මම හිතුවේ ඕකත් එක්කයි.”
ඒ වනවිට ඈ සිටියේ පාසලේ 11 පන්තියේය. සිතූ ලෙසම මෙරට පොල් වගාවට හානි කරන සුදු මැස්සා මර්ධනය කිරීමට කහ පැහැති කුඩයක් ආධාරයෙන් අතිසාර්ථක උගුලක් නිර්මාණය කිරීමට ඇය සමත් වූවාය.
“සුදු මැස්සා පොල් ගස්වලට එන්නේ පොල් ගහේ සුවඳට. ඒ වගේම කහපාටට මෙයාගේ පොඩි ආකර්ශනයක් තියෙනවා. මං මගේ කුඩ උගුල හදද්දි ඕවා හිතුවා. මුලින්ම මම කහ පාට කුඩයක් අරන් ඒකේ මිට පැත්ත උඩ අතට හරවලා සූර්ය බලයෙන් චාර්ජ් වෙලා රෑට ස්වයංක්‍රීයව පත්තුවෙන සෝලා ලයිට් දෙකක් හයිකළා. පොල් ගහේ සුවඳට ගැළපෙන ද්‍රාවණයක් හදලා ඒකත් කුඩේ රැඳෙව්වා. අවසානෙට කුඩේ හැමතැනම ස්ටිකර් ශීට් ඇලෙව්වා. රෑට සෝලා ලයිට් පත්තු වුණාම කුඩේට එළිය පාරවර්තනය වෙලා ලොකු ප්‍රදේශයකට ඒක විහිදිලා යනවා. ඒ ආකර්ශනයට සහ ද්‍රාවනයේ සුවඳට සුදුමැස්සෝ කුඩේට ඇවිල්ලා කුඩේ අලවපු ස්ටිකර්වල ඇලිලා මැරෙනවා.”
තුෂාරා මෙයට තබා ඇත්තේ ‘පොල් ශාකයට හානිකරන සුදු මැස්සන් මර්ධනය කිරීමේ උගුල’ යන නමය. එහෙත් කවුරුත් එයට කියන්නේ කුඩ උගුල කියාය. මේ බරසාර වැඩේට ඇයට ලොකුම සහාය දී ඇත්තේ තුෂාරාගේ පියා වෙන සිසිර බස්නායක ය. ඔහුද මීට ඉහතදී මෙවැනි වූ නව නිපැයුම් රැසක් සාදා පේටන්ට් බලපත්‍ර 12ක් පමණ ලබාගෙන ඇති අයෙකි.
“කුඩ උගුල හදන්න මට ගියේ රුපියල් 3000යි. කුඩේ ගාණ නිසයි එච්චරත් ගියේ. නැත්නම් මේක මීටත් අඩුවට හදන්න පුළුවන් නිර්මාණයක්.”
ගිය වසරේ (2023) සමස්ත ලංකා රොබෝ තාක්ෂණය හා නව නිපැයුම් තරඟයේ වයඹ පළාත් අංශයෙන් පළමු තැන ලැබුණේ තුෂාරාගේ කුඩ උගුලටය. පසුව පැවති සමස්ත ලංකා තරඟයේදීද කර්මාන්ත අංශය නියෝජනය කරමින් පළමු තැන ඇයට හිමිවිය. වයඹ පළාත නියෝජනය කරමින් සමස්ත ලංකා තරඟයට ගොස් සිටි එකම කාන්තා නියෝජනය ඈ බවයි තුෂාරා ‘ධරණී’ට පැවසුවේ.
“සුදු මැස්සා මර්ධනය කරන්න දැනට අපේ රටේ කරන්නේ පොල් ගස්වල කඳ කොටසේ කහ පාට ඉටිරෙද්දක් ඔතලා ඒකට ග්‍රීස් තවරන එක. වැස්ස ගමන් ග්‍රීස් ටික යනවා. ඒ නිසා ඒක ප්‍රායෝගික නැහැ. කුඩ උගුලේ ඔය වගේ ප්‍රායෝගික ගැටලු නෑ. අපේ ගෙදර ගස්වලටත් අපි කුඩ උගුල් හයි කළා. වැඩේ අතිසාර්ථකයි. අනික ගස් පහකට හයකට අවශ්‍ය එක උගුලයි. ඒ වගේම පොල් වතු වගේ තියෙන කෙනෙක්ට පොල් ගස් අතරේ ලණු යවලා බොලොක්කයක් ආධාර කරගෙන උගුල එහාට මෙහාට අරන් යන්න හදාගන්නත් පුළුවන්.”
මේ වනවිට තුෂාරා කුඩ උගුලට පේටන්ට් බලපත්‍රයක් ඉල්ලුම් කර තිබේ. එය ලැබුණු පසු මේ නිපැයුම හරහා සුදු මැස්සාව රටින් සහමුලින්ම පළවාහැර මෙරට පොල් වගාව බේරාගැනීම ඇගේ බලාපොරොත්තුවයි.
“සුදු මැස්සාගේ හානිය කොච්චර දුරට අපේ රටට බලපාලා තියෙනවද කිව්වොත් මේ වෙනකොටත් පොල් ත්‍රිකෝණය ඇතුළුව මුළු රටේම පොල් වගාව තියෙන්නේ අනතුරේ. මේ නිසාම අපේ පොල් පලදාව සීඝ්රයෙන් අඩුවෙලා. වෙළඳපොළේ පොල් මිල ඉහළ යන්න මේකත් හේතුවක්. ඉතින් මේ හදපු කුඩ උගුල හරහා අපේ රටේ සමස්ත පොල් වගාව සුදු මැසි තර්ජනයෙන් බේරගන්න මට බලාපොරොත්තුවක් තියෙනවා. රට ගැන හිතලා කරන්න යන ඒ වැඩේට රජයෙන් මට අතහිත ලැබේවි කියලයි මං විශ්වාස කරන්නේ.”
රුවන් එස්.සෙනවිරත්න