විශේෂාංග

ටික්ටොක් පෙම්වතා බලන්න ලංකාවට ආ 67 හැවිරිදි නෙදර්ලන්ත පෙම්වතිය හාට්ඇටෑක් එකකින් මැරිලා

‘‘සර්, වැල්ලවත්තේ සුපුන් ආර්කේඩ් රෙසිඩන්ස් මහල් නිවාසයේ කාමරයක විදෙස් කාන්තාවක් ඔලුවෙ ලේ පෙරාගෙන සිහිනැතුව වැටිලා ඉන්නවා.’’

නොදන්නා දුරකතන අංකයකින් මිරිහානේ පිහිටි 119 පොලිස් හදිසි ඇමැතුම් කොට්ඨාසය වෙත ඒ ඇමතුම ලැබුණේ පසුගිය පෙබරවාරි 24 වෙනිදා රාත්‍රී හතකුත් ගාණටය. වහාම ක්‍රියාත්මක වූ පොලිස් හදිසි ඇමතුම් ඒකකයේ නිලධාරීන් ඒ ඇමතුම ගැන අදාළ ප්‍රදේශය භාර වැල්ලවත්ත පොලිස් ස්ථානය දැනුවත් කළහ. ඒත් සමඟම ක්‍රියාත්මක වූ වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රශාන් සිල්වාගේ මෙහෙයවීමෙන් එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර කුමාර ඇතුළු නිලධාරි කණ්ඩායමක් ගාලු පාරට මුහුණලා පිහිටි සුපුන් ආර්කේඩ් රෙසිඩන්ස් මහල් නිවාසය කරා ගියේ තත්පරයක් හෝ ප්‍රමාද නොවෙමිනි.

පොලිස් නිලධාරීන් එහි යනවිටත් 1990 සුවසැරිය ගිලන් රථයක් එතැනට පැමිණ තිබුණි. ඒ කවුරුන් හෝ මෙම සිදුවීම ගැන දැනුම් දී තිබූ නිසාය. ඔවුන්ගේ අදහස වූයේ විදෙස් කාන්තාව මියගොස් ඇති බවයි. නමුත් ඇය විදෙස් කාන්තාවක් නිසා එම මරණය සාමාන්‍ය මරණයක් කියා අතහැර දැමීමට නොහැකි විය. මේ මරණය ජාත්‍යන්තරයේ පවා කතාබහක් ඇති කළ හැකි මාතෘකාවක් නිසාම පොලිස් නිලධාරින් වැල්ලවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාව මේ පිළිබඳව දැනුවත් කළේ ඉදිරි පියවරක් ගැනීමටය. මේ අතරතුර මියගිය විදෙස් කාන්තාව සිටි කාමරයේම නැවතී සිටි ලාංකික තරුණයෙක්ගෙන් ප්‍රශ්න කිරීමටත් පොලිසිය අමතක නොකළේය.

මියගොස් සිටි කලිඩින් නිෂා ගටොයින් නමැති 67 හැවිරිදි නෙදර්ලන්ත ජාතික කාන්තාව එරට රියැදුරු බලපත්‍ර නිකුත් කිරීමේ රජයේ ආයතනයක රැකියාවක් කර විශ්‍රාම සුවයෙන් පසුවූ කාන්තාවකි. කොතරම් වියපත් වුවද රූමත් බවින් අඩුවක් නොවූ නිෂාට මුදල් හදල් අතින්ද කිසිඳු අඩුවක් තිබී නැත. මීට දහඅට වසරකට පෙර සැමියාගෙන් වෙන්ව ඇති ඇයට දියණියක සහ පුතෙකු සිටියි. ඔවුන්ද විවාහකය. ඒ නිසාම නිෂාට තිබුණේ තමන් හරි හම්බකරගත් දෑ සමඟින් විවේකී විශ්‍රාම දිවියක් ගතකිරීම පමණි. විවේකයේ නිතර නිතර අන්තර්ජාලයේ සැරිසැරූ ඇය බොහෝවිට කල්ගත කළේ ‘ටික්ටොක්’ (TikTok) වීඩියෝ නරඹමිනි.

දිගින් දිගටම ටික්ටොක් නැරඹූ ඇයට අලුත් ටික්ටොක් මිතුරෙක් මුණගැසෙන්නේ ඔය අතරේය. ඒ වෙන කවුරුත් නොව ලාංකික තරුණයෙකු වෙන ගයාන් ය. 36 හැවිරිදි ගයාන් අසාර්ථක විවාහයන් දෙකකම උරුමක්කරුවෙකි. බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ ඔහුට දෙවැනි විවාහයෙන් වයස අවුරුදු දෙකක දරුවෙක්ද සිටියි. තමන්ටම කියා නිවසක් නොතිබූ නිසාවෙන් ඒ වනවිටත් ඔහු සිටියේ සිය සහෝදරියගේ නිවසේය. එහෙත් ඒ ජීවිතය තිත්ත වූ ගයාන් 2015 වසරේ ඩුබායිහි රැකියාවකට පිටත්ව ගියේය. නමුත් කොහේවත් නොතිබූ කොරෝනාවක් ලෝකයටම තර්ජනයක් වෙද්දී ඔහුටද සිදුවූයේ සිය රැකියාවට ආයුබෝවන් කියන්නටයි. අනතුරුව 2020 වසරේදී නැවත ලංකාවට පැමිණි ඔහු පසුගිය වසරේ අග භාගයේදී නැවතත් තුන් මසකට වීසා ගෙන ඩුබායි බලා ගියේය.

කඩවසම් තරුණයෙකු වූ ගයාන් ඒ වනවිට ටික්ටොක් තරුවක් බවට පත්ව සිටියේය. ඉඩ ලද හැම අවස්ථාවකම ඔහු ටික්ටොක් විඩියෝ කළේය. ටික්ටොක් බැලීමට පුරුදු වී සිටි නිෂාට ගයාන්ව මුණගැහෙන්නේ එහෙමය. ඇය ඔහුගේ ටික්ටොක් විඩියෝවලට කොච්චර ඇබ්බැහි වී සිටියාද කිව්වොත් නිෂා ගයාන්ව සියැසින් දැකගන්නට ඩුබායි රාජ්‍යයටද පැමිණියාය. ඒ හරහා දෙදෙනා අතර තිබූ හිතවත්කම ආදරයකට පෙරලිනි. ඔය අල්ලපනල්ලේම ගයාන්ගේ වීසා අවසන් වී නැවත ලංකාවට ආවද දෙදෙනාගේ පෙම් කතාවට එය කිසිඳු බාධාවක් වූයේ නැත.

ප්‍රේමනීය හැඟීමෙන් මුසපත් වූ ගයාන්ටත් නිෂාටත් රටවල් දෙකක සිට ඔවුන්ගේ අසම්මත පෙම් කතාව ලිවීම හිතන තරම් ලේසි නොවුණු තැන නිෂා තීරණයක් ගත්තාය. ඒ කෙටි කලකට ලංකාවට පැමිණීමටයි. ඒ අනුවයි ඇය මාසයකට වීසා ලබාගෙන ඉකුත් පෙබරවාරි මස 21 වෙනිදා ලංකාවට පැමිණියේ. එසේ පැමිණෙන්නට පෙර ඇය මෙරටට පැමිණි පසු සිටීමට වැල්ලවත්ත ගාලු පාරේ පිහිටි සුපුන් ආර්කේඩ් රෙසිඩන්ස් මහල් නිවාසයේ කාමරයක්ද වෙන් කරගෙන තිබුණි. ඒ මහල් නවයකින් සමන්විත වූ මහල් නිවාසයේ දෙවෙනි මහලේ 256 වෙනි කාමරයයි.

පසුගිය පෙබරවාරි 24 වෙනිදා රාත්‍රී හතට පමණ ගයානුත් නිෂාත් දහවලේ ගමන් කිහිපයක් ගොස් නැවත කාමරයට පැමිණ තිබුණි. ඒ මොහොතේ නිෂා සිටියේ නාන කාමරයේය. ගයාන් සිටියේ නිදන කාමරයේය. එක්වරම ඔහුට ඇසුනේ නාන කාමරය දෙසින් යමක් වැටෙන අමුතු ශබ්දයකි. ඒ සැනින්ම ඔහු එතැනට දිවගියේය. එසේ යනවිටත් නිෂා නිරුවතින් බිම ඇද වැටී සිටි අතර හිස ප්‍රදේශයෙන් ලේ වහනය වෙමින් තිබුණි.

‘‘මං නාන කාමරයට ගිහින් බැලුවා. නිෂා බාත්රූම් එකේ වැටිලයි හිටියේ. මං උස්සලා ගත්තත් සිහිය තිබුණේ නෑ. මූණට වතුර ටිකක් ගැහුවත් කිසිම ප්‍රතිචාරයක් පෙන්වුවේ නෑ. ඔලුවෙනුත් ලේ ඇවිත් තිබුණේ. පස්සේ මං 1990 ට කතා කළා. එයාලා ඇවිත් බැලුවම නිෂා නැතිවෙලා කිව්වා.’’

ඒ එදා සිදුවීම ගැන කියන ගයාන්ය. පොලිස් පරීක්ෂණවලට සහාය දෙමින් ඔහු වැඩිදුරටත් පවසා සිටියේ නිෂා නාන කාමරය තුළ ලිස්සා වැටීමෙන් මියයන්නට ඇති බවයි. එහෙත් කට වචනය පිළිගැනීමට පොලිසිය සූදානම් වූයේ නැත. ඒ අනුවයි නිෂාගේ අභිරහස් මරණය ගැන මරණ පරීක්ෂණයක් සිදුකළේ.

‘‘පසුගියදා නෙදර්ලන්ත ජාතික කාන්තාවගේ මරණය සම්බන්ධව මරණ පරීක්ෂණයක් සිදුකළා. මොකද ඇගේ මරණය හදිසියේ සිදුවීම උඩ ඒ සම්බන්ධව සැකයක් තිබුණා. එහිදී අනාවරණය වුණේ නාන කාමරයේදී ඇය එක්වරම මියයාමට හේතුව හෘදයාබාධයක් බව. ඒ අනුව ඇගේ දේහය පෞද්ගලික මල්ශාලාවක් හරහා නෙදර්ලන්තයට යැවීමට කටයුතු කළා.’’

වැල්ලවත්ත පොලිසියේ උපපොලිස් පරීක්ෂක රන්දික ද සිල්වාගෙන් අප කළ විමසීමකදී ඔහු එසේ සඳහන් කළේය. කෙසේ හෝ අවසානයේ සිදුවූයේ දෙරටක තිබුණු හදවත් දෙකක් යා කළ ටික්ටොක් ප්‍රේමය හෘදයාබාධයක් නිසා අවසන්වීමයි.

භාතිය වෙඩිවර්ධන