රූපලවන්‍ය

වයසට යනකොට තිරිසන් වෙනවද ; තිරිහන් වෙනවද ?

කාලෙකට උඩදී එක ගමක ගොවි මහත්තයෙකුයි උන්දැගේ හාමිනෙයි දෙන්නා හේනක් කුඹුරක් කොටාගෙන කාටත් කරදරයක් නැතුව ජීවත්වුණාලු. මේ දෙපළට දරුමල්ලොත් නොහිටපු එකේ දරුවො වගේ රැක බලාගත්තා කියන්නේ සන්තකේටම කියලා තිබුණ හේනයි, කුඹුරයි. ඔන්න ඉතිං එහෙම එක දවසක ගොවි මහත්තයා හේන කොටන්න කියලා උදේම ගෙදරින් පිටවෙලා ගිහින්. හාමිනේත් උන්දැට ඇඹුල හදාගෙන ඉර මුදුන් වෙන්න කලින් හේනට ගියේ හේනේ වැඩවලට ටිකක් හවුල්වෙන්න හිතාගෙන. ඉතින් දෙන්නත් එක්ක හේනේ වැඩ කරලා දවල් කෑම කන්න හදද්දී තමයි උන්දැට මතක් වෙලා තියෙන්නේ ගෙදර මැස්සේ අමතක වෙලා ආපු මාළු ජාඩිය. ඒක අරගෙන එනකන් මහත්තයාට බුලත්විටක් හපන්න කියලා උන්දැ ගියාලු හනිකට මාළු ජාඩිය අරගෙන එන්න. ඒ ගිහින් එන ටිකට ගොවි මහත්තයා අතුරුදන් වෙලාලු. ඒ වෙනුවට නාඹර කොලු ගැටයෙක් හේනේ කොටයක් උඩ වාඩිවෙලා ඉන්නවා හාමිනේ දැකලා. ඒ පාර හාමිනේ කොලුවගෙන් අහලා “ඈ බොල කොල්ලෝ මේ හේනේ හිටපු අපේ මහත්තයා දැක්කද? ” කියලා. ඊටපස්සේ කොලුවා කිව්වලු “ඈ බොල යෝධියේ උඹට මාව අඳුරගන්න බැරිද ඒ මම තමයි” කියලා. ඒ කතාව අදහගන්න බැරුව හාමිනේ එතැනම සිහිසුන් වෙලා වැටුණලු. පස්සේ වංහුං හොයලා බලද්දී තමයි දැනගන්න ලැබිලා තියෙන්නේ බුලත් විටේ තිබිලා ගොවි මහත්තයාට කළුනික කොළයකුත් කැවිලා කියලා. ඒක කාපු ගමන් තමයි නාකි උන්දෑට හිටිගමන් තරුණ  පෙනුමක් ලැබිලා තියෙන්නේ. ඒ කාලේ තරුණ පෙනුම ගන්න කළුනික කැවුණත් ඇති වුණාට අද කාලේ අහම්බෙන් හරි කැවෙන්න කළුනික හොයාගන්න තියෙන එකක්යැ! හැබැයි කළුනික නැති වුණාට තරුණ පෙනුම රැකගන්න පුළුවන් ඕනෑතරම් ආයුර්වේද සත්කාර නම් තියෙනවා ඕන්. ඒක නිසා මෙදාපාර අපි බියුටි පිටුව වෙන්කරන්න හිතුවෙත් ඒ වගේ වයසට වඩා වැඩි පෙනුමක් ලැබෙන එක වළක්වාගන්න කරගන්න පුළුවන් ආයුර්වේද සත්කාර කිහිපයක් ගැන කියන්නයි.

සාමාන්‍ය පුද්ගලයෙක් වයස්ගත වෙනකොට සමේ විවිධ වෙනස්කම් ඇතිවෙනවා. එතකොට සම රැළි වැටීම, අඳුරු පැහැවීම වගේම කළු සුදු ලප ඇතිවීමත් සාමාන්‍ය දෙයක්. ඒ විතරක් නෙවෙයි සමේ ඇදෙනසුළු බව අඩුවෙලා සමේ දීප්තිය අඩුවීමත් දැකගන්න පුළුවන්. වියපත් වීම හැරුණාම වෙනත් හේතු නිසාත් පුද්ගලයෙකුගේ පෙනුමේ මේ වගේ ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්. ඒ හේතු අතර ආහාර රටාව , මානසික ආතතිය, පාරිසරික බලපෑම්, ජානමය සාධක, නින්දේ ගැටලු, මත්ද්‍රව්‍ය භාවිතය, රූපලාවණ්‍ය ආලේපන අධිකව භාවිත කිරීම, විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීම, ව්‍යායාම අඩුවීම වගේම හෝමෝන බලපෑමත් දක්වන්න පුළුවන්. එවැනි ලක්ෂණ ඇත්නම් හොඳම දෙ සුදුසු වෛද්‍යවරයෙක් මුණගැහිලා උපදෙස් ලබාගන්න එකයි. ඒ හැරුණාම  කෙනෙකුට තරුණ පෙනුම රැකගන්න කරන්න පුළුවන් සත්කාර කිහිපයක් ආයුර්වේදයේත් සඳහන් වෙනවා.  ඒ සත්කාර අතර අභ්‍යන්තර වගේම බාහිර සත්කාරත් විශේෂයි.

මී පැණි කියන්නේ එවැනි එක සත්කාරයක්. මී පැණි ආහාරයට එක්කර ගැනීමෙන් සම වියළිවීම වගේම රැළි වැටීමත් වළක්වා ගන්න පුළුවන්.

ඒ වගේම ස්ට්‍රෝබෙරිත් ප්‍රතිඔක්සිකාරක බහුල පළතුරක් නිසා  ස්ට්‍රෝබෙරි කෑවොත් සමේ තරුණ පෙනුම රැකගන්න පුළුවන්. ඒ වගේම කිරි සහ ආමන්ඩ් මිශ්‍ර කර පානය කිරීමෙනුත් සමේ වියපත් ගති දුරුකරගන්න හැකියාව ලැබෙනවා. 

නෙල්ලි කියන්නෙත් ප්‍රතිඔක්සිකාරක බහුල විටමින් සී අඩංගු පළතුරක්. ඒ  නිසා නෙල්ලි යුෂ පානය කිරීමෙන් සම වගේම හිසකෙසුත් පෝෂණය වෙනවා. 

ඒ වගේම තවදුරටත්  සමේ දීප්තිය වැඩිකර ලප කැළැල් නැති කරගන්න පුළුවන් හොඳ අභ්‍යන්තර සත්කාරකයක් විදියට දෙහි යුෂ පානය කිරීමත් හඳුන්වන්න පුළුවන්. හැබයි බඩේ ආම්ලිකතා ඇති අයටනම් දිනපතා දෙහි යුෂ පානය කිරීම ඒ තරම් සුදුසු නෑ. 

ඒ හැරුණාම තරුණ පෙනුම රැකගන්න නිවසේදී පහසුවෙන්ම කරන්න පුළුවන් බාහිර සත්කාර කිහිපයකුත් ආයුර්වේදයේ සඳහන් වෙනවා. මී පැණි තේ හැඳි දෙකකට අලිපේර තේ හැඳි දෙකයි, දෙහි යුෂ තේ හැඳි 1/2 කුයි එක්කරලා ආලේප කරලා විනාඩි පහළොවක් තිබෙන්නට හැර සෝදා හැරීමෙන් සමේ දුර්වර්ණ බව නැතිවෙලා සම දීප්තිමත් වෙනවා.

ඒ වගේම දොඩම් ලෙලි වියලා සාදාගත්  කුඩු තේ හැඳි දෙකකට සුදු හඳුන් කුඩු තේ හැඳි දෙකක් සහ රෝස වතුර තේ හැඳි එකක් හොඳින් මිශ්‍ර කර සමේ ආලේප කිරීමෙනුත් සම පැහැපත් වෙනවා. 

තෙල් හා කිරි සත්කාරය කියන්නෙ සම පැහැපත් කිරීමට වගේම සමේ රැළි වැටීම වළක්වා ගැනීමටත් හොඳ සත්කාරයක්. ඒකට කරන්න ඕනෑ නාරායන තෙල් තේ හැඳි දෙකකට හාතවාරිය චූර්ණය තේ හැඳි දෙකකුයි නැවුම් එළකිරි තේ හැඳි එකකුයි හොඳින් මිශ්‍ර කරලා සමේ ආලේප කරගන්න එකයි. ඊටපස්සේ විනාඩි විස්සක් තියලා මද උණුසුම් වතුරෙන් හෝදල ඉවත් කරගන්න ඕනෑ.

වැල් මී චූර්ණයෙන් තේ හැඳි දෙකක්, සුදු හඳුන් චූර්ණයෙන් තේ හැඳි දෙකක්, යෝගට් තේ හැඳි එකක් සහ මී පැණි තේ හැඳි එකක් මිශ්‍ර කර සමේ ආලේප කර විනාඩි විස්සක් තබා සෝදා හැරීමෙනුත් සමේ අඳුරු ලප කැළැල් ඉවත් කරගන්න පුළුවන්. 

ඒ විතරක් නෙමෙයි පැහැපත් වගේම දිදුලන සමක් ලබාගන්න ඔලිව් තෙල් තේ හැඳි දෙකකට ඉදුණු කෙසෙල් ගෙඩි තේ හැඳි දෙකක් එක් කරලා ඒකටම මී පැණි තේ හැඳි එකක් සහ දෙහි බිඳු තුනක් මිශ්‍ර කර සමට ආලේප කරගන්න පුළුවන්. ඊටපස්සේ කරන්න තියෙන්නේ විනාඩි පහළොවක් විතර තියලා සෝදා හරින එක තමයි.

හැබැයි ඉතිං මතක තියාගන්න ඕනෑ කාරණේ මේ විදියට සත්කාර කරලා වයසට වඩා වැඩි පෙනුමක් ලැබෙන එක වළක්වාගන්න පුළුවන් වුණත් අර කළුනික කැවුණ ගොවි මහත්තයාට වගේ හැමදාම තරුණවෙලා ඉන්නම් බැහැ ඕං. ඉපදුණ අපි හැමෝම දවසින් දවස වයසට යන එකනේ තිත්ත වුණත් ඇත්ත කතාව. ඒක නිසා ඒකත් මතකයේ තියාගෙන මේ සත්කාර ටික කරලා බලන්න. හැබැයි ඉතිං ඔය මොන සත්කාරේ කළත් වැඩක් නැහැ හිතේ සතුට සහ මානසික ඒකාග්‍රතාවය නැත්නම්. ඒකනිසා ඔය කියපු සත්කාර කරන ගමන් ඒ ගැනත් සැළකිලිමත් වෙන එක තමයි හොඳම දේ.

  • උපදෙස් – ආයුර්වේද වෛද්‍ය වත්සලා කුමාරි මධුෂාණි

         ආයුර්වේද වෛද්‍යවේදී හා ශල්‍යවේදී (ගෞරව)

         කොළඹ විශ්වවිද්‍යාලය

 

  • නෙත්මි තෂාරා