Latest News

දුම්රිය අනතුරකින් පියා දිවි පුදා සිඟිති දියණිය බේරා ගනියි

මඩවල – තුන්මෝදර දී දුම්රිය මාර්ගයක ගමන් කරමින් සිටි පියෙක් දුම්රියේ ගැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, නාඔටුන්න – අලවත්තේ පදිංචිව සිටි දිමුත් මංජුල නැමති දෙදරු පියෙක්.

ඊයේ (23) පරවාහැර වේළුවනාරාම විහාරස්ථානයේ ඉදිකර ඇති වෙසක් තොරණක් බැලීමට ගොස් දුම්රිය මාර්ගය ඔස්සේ එමින් සිටියදී ඔවුන් මෙම අනතුරට මුහුණපා තිබෙනවා.

අනතුරින් 3න් හැවිරිදි දැරියක් ඇතුළු 11 දෙනෙක් දිවි බේරාගෙන ඇති අතර කුඩා දියණිය වඩාගෙන සිටි එම දියණියගේ පියා අවාසනාවන්ත ලෙස දුම්රියේ ගැටී ඇති බවයි වාර්තා වන්නේ.

මියගිය පුද්ගලයාගේ බිරිඳ ගැබිණි කාන්තාවක් බවද වාර්තා වනවා.

තුන්මෝදර දුම්රිය හරස් මාර්ගයේ දී අනතුරු ඇඟවීමේ සංඥා ක්‍රියාත්මක වී තිබිය දී එක්වරම මාතර සිට බෙලිඅත්ත බලා ධාවනය වන සාගරිකා දුම්රිය පැමිණ තිබෙන අතර ප්‍රධාන ලාම්පු ආලෝකයත් සමගම පිරිස මහ හඬින් කෑ ගසමින් රේල් පාරෙන් ඉවතට පැන තිබෙනවා.

කෙසේවෙතත් අනතුරින් දැරියට සීරීම් තුවාලයක් හෝ සිදුනොවී තිබුණු බව ද වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගන්දර පොලිසිය සිදුකරනවා.