කොණ්ඩෙ මුරණ්ඩු වුණාම අණ්ඩ දාලා බේරෙන්න බෑ
ඔන්න එකමත් එක කාලෙක පිටිසර ගම්මානෙක ගමගෙදරක් තිබුණා. ගමරාළයි ගමහාමිනේයි තමයි මේ ගමගෙදර ජීවත්වුණේ. ඉතින් මේ ගමරාළගේ කොණ්ඩෙයි රැවුලයි කපන්න ඒ දවස්වල ගම්මානෙ හිටපු කරණවෑමියා මාසෙකට වතාවක් ගමගෙදරට යනවලු. ඒ දවස්වල කුලීමලී පියවන්ඩ මුදල් නෝට්ටු නොතිබුණු හින්දා ඒ වෙනුවට භාණ්ඩ හුවමාරු කරගත්තු බව අපි අහලා තියෙනවානේ. ඉතින් මේ කරණවෑමියා ගමගෙදරට ඇවිල්ලා මාසෙකට වතාවක් ගමරාළගේ කොණ්ඩෙයි රැවුලයි කපලා යන හිලව්වට දුන්නේ වී මල්ලක්ලු. රැවුලයි කොණ්ඩෙයි කැපුවත් නැතත් කරණවෑමියා ගෙදරට ඇවිල්ලා යන නිසා වී මල්ල දෙන එක පුරුද්දක් බවට පත්වෙලා.
ඔහොම එක දවසක මේ කරණවෑමියා ගමගෙදරට යද්දී ගමරාළ ගෙදර ඉඳලා නෑ. ඒත් කරණවෑමියා දුරකතර ගෙවාගෙන ආවේ තමන්ගේ කර්මාන්තෙ වෙනුවෙන් නිසා ඔහු ගෙදර හිටපු ගමහාමිනේගෙන් ඒ මාසෙට අදාළ වී මල්ල ඉල්ලුවලු. ගමරාළ තරම් නිර්ලෝභී නොවුණු ගමහාමිනේ වී මල්ල නිකන්ම දීලා දාන්න පොඩ්ඩක් අදිමදි කරලා තියෙනවා. වැඩක් ගන්නෙ නැතුව නිකං වී මල්ලක් දෙන්න බැහැ කියලා හිතපු ගමහාමිනේ ලහි ලහියෙ පුටුවක් අරගෙන ඇවිල්ලා තමන්ගෙ දණිහෙන් පහළටත් තිබ්බ කොණ්ඩය කපන්නයි කියලා කරණවෑමියාට බල කළාලු. කරණවෑමියාටත් වෙන කරන්න දෙයක් නොතිබුණු හින්දා ගමහාමිනේගේ කොණ්ඩෙ කපලා දාලා. ඉන්පස්සෙ තමයි ගමහාමිනේ වී මල්ල කරණවෑමියා අතට දුන්නා කියන්නේ.
ඇත්තම කිව්වොත් ඔය වගේ ගමහාමිනේලා එදා විතරක් නෙවෙයි අදත් ඉන්නවා. දුරදිග නොහිතා තමන්ගේ කොණ්ඩෙට විණ කරගන්න ඒ බොහෝ දෙනෙකුට තමන් කරගත්තේ මොන අපරාධයක්ද කියලා මතක් වෙන්නේ කල් ගතවුණාට පස්සේ. අන්න එහෙම අයට තමයි මේ ආයුර්වේද සත්කාර ටික වඩා වැදගත් වෙන්නේ.
ගොඩක් වෙලාවට අපි පාවිච්චි කරන ෂැම්පු වර්ග නිසා අපේ හිසකෙස්වලට හානි වෙනවා. ඒ හානිය අවම කරගන්න නම් අහිතකර රසායනික ද්‍රව්‍යවලින් තොර ආයුර්වේදීය ෂැම්පු වර්ගයක් තෝරාගැනීම කළ යුතුමයි. ඒ වගේම සතියට තෙවරක් පමණක් එම ෂැම්පු වර්ගය භාවිතා කිරීමත් ප්‍රමාණවත්. එයින් හිස්කබලට වෙන හානියත් හිසකෙස්වලට වන හානියත් අවම කරගන්න පුළුවන්.
ඒ වගේම අවිවේකී බව, රාත්‍රී කාලයේ ස්නානය කිරීම, උණුවතුර ස්නානය කිරීම, කොණ්ඩය තෙත පිටින් සිටීම, තෙත කොණ්ඩය ගැට ගසාගෙන සිටීම, තෙත කොණ්ඩයත් සමඟ වායුසමනය කළ කාමරවල සිටීම වැනි දේවලුත් හිසකෙස් අකලට වැටීමට සහ පැසීමට හේතුවක් වෙනවා.
ඒ වගේම තෙත කෙස්කලඹ වියළා ගැනීමට නිරන්තරයෙන් විදුලි හිසකෙස් වියලන පාවිච්චි කිරීම නිසාත් නිරෝගී කෙස්කළඹට හානි වෙනවා. හිසකෙස් සේදීමේදී තදින් ඇතිල්ලීම සහ හිසකෙස් පිසදැමීමේදී තුවාවලින් තදින් පිසිදැමීම නිසාත් හිසකෙස්වලට හානි වෙන්න පුළුවන්.
ඒ හැරුණාම අකලට හිසකෙස් ගැලවී යාමට සහ අකලට හිසකෙස් පැසීමට ශරීරයේ පිත දෝෂය කෝපවීමත් බලපානවා. ඒ නිසා ඉස්සන්, කකුළුවන්, කෙලවල්ලන්, සෝස් වර්ග, චිලි පේස්ට් වර්ග, සීනි හා පිටි අධික ආහාර වර්ග අවම කිරීම ඉතා වැදගත්.
මීට අමතරව ගැබිණි මවක් කුස තුළ සිටින දරුවාගේ හිසකෙස් වර්ධනය වීම ගැන සිතනවානම් කැල්සියම් බහුල ආහාර වර්ග, මුරුංගා කොළ, කතුරුමුරුංගා, ගොටුකොළ ආදී පලා වර්ග වගේම නෙල්ලි ආදියත් ආහාරයට ගැනීම සුදුසුයි.
හිසකෙස් හොඳින් වියැලුණු පසු පෝෂණීය හා ඖෂධිය තෙල් වර්ගයක් හිසකෙස්වල සහ හිස්කබලේ ගා සම්බාහනය කිරීම හරහා පෝෂණීය කෙස්කළඹක් පවත්වාගැනීමට හැකිවනවා. හිසේ තෙල් ගැල්වූ පසු උණුසුම් තුවායකින් හිසකෙස් බැඳ සිටීමෙන් තෙල් හොඳින් හිසට උරාගැනීම සිදුවෙනවා
ආයුර්වේදයේ විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් වන ශිරෝධාරා ප්‍රතිකාර ක්‍රමය හරහා හිසට සහ හිසකෙස්වලට විශේෂ සුවයක් ලබාදීමට හැකියි. මේ අතර ශිලෝ වස්ති යෙදීමද විශේෂයි. වෙනිවැල්ගැට සමඟ උළුහාල් තම්බා සකස් කරගත් දියරය හිසට යෙදීම එලෙස ඉතා පහසුවෙන් කළ හැකි සත්කාරයක්. එසේ යොදන උළුහාල් මගින් හිසකෙස්වල නිරෝගී බව වැඩි කිරීමට උපකාරී වෙනවා.
මීට අමතරව හිසකෙස්වල ශක්තිමත් බව වැඩි කිරීම සඳහා හොඳින් අඹරාගත් වෙරලු කොළ පල්පයක් හිසේ ගල්වා විනාඩි විස්සක් පමණ හිඳ ස්නානය කරන්න පුළුවන්.
ඒ වගේම කොණ්ඩය ලස්සනට තියාගන්න කැමති කෙනෙක් නම් තෙත සහිත හිසකෙස් පීරීමෙන් වැළකිලා ඉන්න ඕන. මොකද හිසකෙස් තෙතමනය සහිතව තියෙද්දී කැඩී යාමට ඇති ඉඩ වැඩියි. ඒ වගේම ශක්තිමත් හා ඝන හිසකෙස්වලට වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ සඳහා අපිට ගෙදරදීම කරගන්න පුළුවන් සත්කාරයක් තමයි බිත්තර එකක් හෝ දෙකක් අරගෙන බීට් කරලා තෙත හිස්කබලේ ආලේප කර විනාඩි තිහකට පසු මද ඇල් ජලයෙන් සෝදා හරින එක. සතියකට වරක්වත් මේ සත්කාරය කළොත් හිසකෙස් තුනී වීම මගහැරිලා යනවා.
හිසකෙස්වල වර්ධනයට හා ඝන හිසකෙස්වලට එඬරු තෙල් සත්කාරයත් ඉතාම සුදුසුයි. මේකට කරන්න තියෙන්නේ එඬරු තෙල් මේස හැඳි තුනක් සමඟ පොල්තෙල් මේස හැඳි දෙකක් මිශ්‍ර කරලා රත් කර මද උණුසුමින් හිස්කබලේ සහ හිසකෙස්වල ආලේප කරලා විනාඩි දහයක් පමණ සම්බාහනය කරන එක. ඉන්පස්සේ උණුසුම් තුවායකින් හිස ගැට ගසාගෙන විනාඩි තිහක් පමණ තියලා ස්නානය කිරීමෙන් නීරෝගී කෙස්කළඹක් ලබාගැනීමට හැකියාව තියෙනවා.
හිසකෙස් වර්ධනයට, ඝන හිසකෙස්වලට වගේම ස්වභාවිකව හිසකෙස් කළු කිරීමටත් කරපිංචාවලට හැකියාවක් තියෙනවා. මේ සඳහා කරපිංචා කොළ මිටි දෙකක් සමඟ වතුර ස්වල්පයක් මිශ්‍ර කරලා ඝන පල්පයක් ආකාරයට අඹරගෙන විනාඩි තිහක් පමණ හිසේ ගල්වලා තියලා ස්නානය කිරීම සුදුසුයි.
ඒ වගේම භාවිතා කරන ලද තේ කොළ නැවත ප්‍රමාණවත් තරම් වූ ජලය යොදාගෙන රත් කරලා සිසිල් වූ පසු ෂැම්පු යොදා සේදූ හිසකෙස්වලට යෙදීමෙන් ඝන කළු නිරෝගීමත් කෙස්කළඹක් ලබාගන්න පුළුවන්.
ඒ වගේම ලෙමන් යුෂ වතුර කෝපයකට දමා හිස සේදීම මගින් හිසකෙස්වල තිබෙන තෙල් සහිත බව ආරක්ෂා කර ගැනීමට උපකාරී වෙනවා. මී පැණි මිශ්‍ර කළ ජලය ඉහත ආකාරයටම හිසට භාවිතා කිරීම මඟිනුත් හිස්කබලේ ඇති වියළි බව නැති කරලා තෙතමනය ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා.
මේ ආකාරයේ ගෙදරදීම කරගත හැකියි ආයුර්වේද සත්කාර හරහා නීරෝගී කෙස්කළඹක් ඕනෑම කෙනෙකුට ලබාගන්න පුළුවන්. නමුත් අකලට හිසකෙස් ගැලවී යාම වැනි තත්ත්ව ශාරීරික රෝගයක් මත ඇති වී තිබෙනවා නම් ඒ සඳහා වෛද්‍යවරයෙකු මුණ ගැසීම වඩා සුදුසුයි.
උපදෙස්
වෛද්‍ය වාසනා සමරවික්‍රම
ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කන්දකැටිය/ඌව පළාත
මානසික උපදේශනය සහ චීනකොට චිකිත්සාව පිළිබඳ ඩිප්ලෝමාධාරිනී
පවනි වාසනා