රූපලවන්‍ය

සුන්දර සිනහව රැකගන්න දත් ටික පරිස්සම් කරගන්න…

සුරංගනා පාරාදීසේ හිටපු හැම සුරංගනාවියකටම විවිධ දේවල් කරන්න හැකියාවක් තිබුණා. නමුත් ඒ පාරාදීසේ හිටපු හිල්ඩා කියන පුංචි සුරංගනාවිට තමන්ගේ විශේෂ හැකියාව මොකක්ද කියලා අඳුනගන්න බැරිවෙලා තිබුණා. ඉතින් එක දවසක් රාත්‍රිය පුරාම විශාල චෙරි ගහක් යටට වෙලා හිල්ඩා ඒ ගැන දුකින් කල්පනා කර කර හිටියා. මේක දැකපු පාරාදීසේ නායක සුරංගනාවිය ඇවිල්ලා හිල්ඩාට කිව්වා “හිල්ඩා ඔයාගෙ හැකියාව ඔයා හොයාගෙන යන්න. ඔයාගෙ සතුට ඔයා හොයාගෙන යන්න” කියලා. 

ඊටපස්සේ හිල්ඩා තමන්ගේ හැකියාව මොකක්ද කියලා හොයාගන්න නගරයේ උස ගොඩනැගිලි මැදින් පියාඹන්න ගත්තා. ඔහොම පියාඹන අතරවාරයේ හිල්ඩාට ඇහුනා එක ගෙදරක උඩුමහලේ පුංචි දරුවෙක් තමන්ගේ වැටුණු කිරි දතක් අතේ තියාගෙන අම්මත් එක්ක කතා කරන හඬ.

“අම්මේ මගෙ දතක් වැටුණා. දැන් ඉස්කෝලෙ යාළුවො මට හිනාවෙයිද?” 

“ඕක හිතන්න එපා පුතේ. ඔය දත වැටුණට තව අලුත් දතක් එනවා ඔයිටත් වඩා ලස්සනට.”

මේක අහපු ඒ පුංචි කොලුවා අලුත් දතක් එනකම් වැටුණු දත කොට්ටේ යට තියාගෙන නින්දට ගියා. ඈත ඉඳගෙන මේ දිහා බලාගෙන හිටපු හිල්ඩාට මේ දරුවා ගැන දුකක් ඇතිවෙලා දරුවා හිටපු කාමරයට ගිහින් කොට්ටේ යට තිබුණු දත අතට ගද්දිම රන් කාසියක් මැවුණා. ඉන් පස්සෙ අතේ තිබුණ කිරි දත එකපාරටම අහසට ඇදිලා ගිහින් තරුවක් බවට පත්වුණා. නිදාගෙන හිටියට අර පුංචි කොල්ලා මේ බව හොරෙන් බලාගෙන තමා උන්නේ. හිල්ඩා එතැනින් පිටත් වුණා විතරයි පුංචි දරුවා තමන්ගේ අම්මට කෑ ගහලා සුරංගනාවියක් ඇවිත් තමන්ට රන් කාසියක් තෑගි කරපු බවත්, වැටුණු දත තරුවක් බවට පත්කරපු බවත් සතුටින් කියන්න ගත්තා. ඈතට පියාඹමින් හිටපු හිල්ඩාට ඒ පුංචි පුතා සතුටින් කෑ ගහන සද්දය ඇහිලා හදවතට විශාල සන්තෝෂයක් දැනෙන්න ගත්තා. එදා ඉඳන් හිල්ඩා දැනගත්තා අනිත් අයව සතුටු කරන්න පුළුවන් හැකියාවකුත් තමන්ට තියෙනවා කියලා. ඉන් පස්සෙ දත් වැටුණු හැම දරුවෙක්ම මේ සුරංගනාවි එයාලා ළඟට එනකන් බලාගෙන හිටියලු.

ඉතින් දත් වැටුණ පුංචි කොලු ගැටයන්ට, කෙලි පොඩිත්තන්ට දත් දෙන්න සුරංගනාවියො  හිටියට මේ පත්තරේ කියවන අය දත්වලට හානි කරගෙන දත් වට්ටගත්තොත් ආයෙ දත් දෙන්න කෙනෙක් නැති බව මතක තියාගන්න ඕන. පුංචිම කාලේ අපිට තියෙන්නේ කිරිදත්. කිරිදත් වැටුනට පස්සේ නැවත එන්නෙ ස්ථිර දත් ස්ථරයක්. ඔය ස්ථිර දත්වලින් තමයි අපි කන කෑම අඹරන්නෙ, තලන්නෙ, පොඩි කරන්නේ. දත් නැත්තන් කන්න තියා හරිහමන් විදියට කතා කරන්නවත් බැහැ. ඉතින් කිරිදත් වැටිලා ඊටපස්සේ එන මේ ස්ථිර දත් ස්ථරය ආරක්ෂා කරගන්න එක අපි කොයි කවුරුත් කරන්න ඕන දෙයක්. 

එතැනදී විශේෂයෙන්ම මතක තියාගන්න ඕන හොරට දත් නොමැත හිටියත්, වැඩිපුර දත් මැද්දත් දත්වලට හානිවෙනවා කියලා. හරියට දත් මදින්න නම් හරිහමන් දත් බුරුසුවකුත්, දන්තාලේපයකුත් අවශ්‍ය වෙනවා. සාමාන්‍යයෙන් වැඩිහිටියෙක් දත් බුරුවක් තෝරාගන්නකොට බුරුසුවේ හිස උස අඟලක් සහ පළල අඟල් බාගයක් වීම වඩා සුදුසු බව දන්ත වෛද්‍යවරු පවසනවා. ඒ වගේම දත් බුරුසුවක් මාස තුන හතරකට වතාවක් මාරු කරන්න පුළුවන් නම් වඩා හොඳ බවත් වෛද්‍යවරු ප්‍රකාශ කරනවා. 

දන්තාලේපයක් තෝරගන්නකොට ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් තෝරගැනීමෙන් දත් ස්ථරයේ එනැමලය ශක්තිමත් කරනවා. ඉතිං වෙළඳ දැන්වීම්වලට හසුවෙලා විවිධ දත්බෙහෙත් තෝරගන්නකොට පරිස්සමෙන්. ඒවගෙ ෆ්ලෝරයිඩ් අඩංගුද කියල ඇසුරුම කියවලා බලලම මිලදී ගන්න. දන්තාලේප භාවිතා කරනකොට දත් බුරුසුව මතට කඩල ඇටයක තරම් ප්‍රමාණයක් භාවිතා කිරීම හොඳටම ප්‍රමාණවත්. ඉන් පස්සෙ කල් වේලාව අරගෙන දත් ටික නිවීහැනහිල්ලෙ මැදගන්න එක තමයි කරන්න ඕන. 

දත් ස්ථරය මැද තියන දිවේ අපි ගන්න ආහාර රැඳිලා නිතරම මැලියම් බැඳෙනවා. ඒ නිසා මේ දිව හරියට නොමැදීම මුඛ දුර්ගන්ධය ඇති කරන්න ප්‍රධාන හේතුකාරකයක් වෙනවා. ඉතිං දත් මදිනකොට දිව මදින්න අමතක කරන්න එපා. 

උදෑසන කෑමවේලට කලින් වගේම, රාත්‍රී කෑම‍වේලෙන් පසුවත් දත් මදින්න අවශ්‍ය බව තමා වෛද්‍යවරු පවසන්නෙ. දත් සෙට් එක රැකගන්න දත් මදිනවට අමතරව කරන්න පුළුවන් දේවලුත් තියෙනවා. 

කහ පැහැ ගැන්වුණ දත් දෙපළක් තියන කෙනෙක්ට පුළුවන් බේකින් සෝඩා ස්වල්පයකට, දෙහි යුෂ සහ වතුර ස්වල්පයක් කලවම් කරලා ඒ මිශ්‍රණය දත් බුරුසුවේ ගල්වලා දත් මදින්න. එ මගින් දත්වල දීප්තිය වැඩිකරගන්න උදව්වෙනවා. 

සතියකට වතාවක් දත් මදින්න කලින් පොල්තෙල් තේ හැන්දක ප්‍රමාණයක් විනාඩි විස්සක් පමණ කටේ රඳවගෙන ඉදලා පසුව එය ඉවත් කරලා කට සෝදා හරින්න පුළුවන් නම් මුඛ දුර්ගන්ධය නැති කරගන්න පුළුවන් වෙනවා වගේම දත් ශක්තිමත් කරගන්නත් හැකියාව ලැබෙනවා. 

රාත්‍රී නින්දට කලින් දොඩම් ලෙල්ලකින් දත් මැදලා උදෑසන අවදි වුණාට පස්සෙ කට සෝදාහැරීමත් සතියකට වතාවක් කිරීමෙන් දත්වල වර්ධනය වෙන අහිතකර බැක්ටීරියා විනාශ කරලා නැවුම් දීප්තියක් ඇති කරන්න පුළුවන් වෙනවා. 

දවසට දෙවරක් කෙසෙල් ලෙල්ලක් යොදාගෙන දත් මැදීමෙනුත් දත්වල තියන කහට ගතිය ඉවත් කරගන්න පුළුවන්. 

අඟුරු කුඩු, බේකින් සෝඩා සහ පොල්තෙල් එකතු කරලා හදාගත්තු මිශ්‍රණයකින් දත් මැදීමෙනුත් දත්වල තියෙන අවපැහැ ගතිය ඉවත් කරගන්න පුළුවන්. 

මීට අමතරව ඔසුසලකින් ෆ්ලොස් නූල් මිලදීගෙන දත්වල රැඳෙන කෑම සහ මැලියම් වගේම දිවත් පිරිසිදු කරගන්න පුළුවන්. දත් බුරුසුවකින් පිරිසිදු කරගන්න අපහසු ස්ථාන මේ ෆ්ලොස් නූල්වලින් පිරිසිදු කරගැනීමේ හැකියාවක් තියෙනවා. 

හැබැයි ඔය කියපු දේවල් කරනවට වඩා අපිනං අනුමත කරන්නේ දන්ත වෛද්‍යවරයෙක් මුණගැහිලා ඒ උපදෙස්වලට අනුව දත් රැකගන්න කටයුතු කරන එක වඩා හොඳයි කියලයි. 

පවනි වාසනා