තව බබෙක් වැඩිවුණාට කමක් නැද්ද කියලා එදා දොස්තර මහත්තයා ඇහුවා
ලොකු දෝණිත්, චූටි දෝණිත්, සුදු දෝණිත් දැන් එකම පන්තියේය. අක්කලා දෙදෙනාටත් නංගීටත් මැදිව වාඩිවී සිටින්නේ සනූ මල්ලිය. එක ඉත්තක එකට පිපි මේ පුංචි මල් කැකුළු, අක්කලා මල්ලිලා වූයේ මිනිත්තුවක නැත්නම් තත්පර කිහිපයක වෙනසිනි. එලෙස සිව් නිවුන් දරුවන් ලෙසින් මෙලොව එළිය දුටු ඔවුන්, පසුගියදා මාවනැල්ල මයුරපාද ජාතික පාසලේ එක වසර පංතියට ඇතුළත් කෙරිණි. එකම පන්තියේ එක ළඟ වාඩිවී එකට අකුරු කරන්නට මේ සිව් නිවුන් දරුවන් වාසනාව ලැබුවේ පාසල් ඉතිහාසයටද අලුත් පිටුවක් එක්කරමිනි.
“දරුවෝ හතරදෙනා ඉස්කෝලේ යන්න පටන් අරගෙන තවම දවස් කිහිපයයි. හැබැයි එයාලට ගෙදර ආවම කියන්න ඉස්කෝලේ සිද්ධි ගොඩයි. ඒ වගේම ගෙදර ඇවිත් කෑම කාලා, ඊළඟට හෝම්වර්ක් කරනවා. හතරදෙනා තරඟෙට තමයි ඒ වැඩත් කරන්නේ. ඉස්කෝලේ ගිය පළමු දවසේ පාන්දර හතරහමාරට මම එයාලව නැගිට්ටුවේ. එකපාරයි කතා කරන්න ඕන, නැගිටලා පේළියට දුවං එනවා. පුංචිම දවස්වල වගේ නෙවෙයි එයාලට දැන් තේරෙන නිසා, පුංචි පුංචි වැඩ තමන්ටම කරගන්න පුළුවන්. ඒ වගේම දැන් මම උදේට එයාලව ඇහැරවන්නේ නැහැ. ඉස්කෝලේ යන්න තියෙන කැමැත්ත කොච්චරද කියනවානං උදේ පහ වෙද්දි එයාලම නැගිටිනවා.”
ඒ මෙම සිව් නිවුන් දරුවන්ගේ මව එරන්දි ජයරත්නය. පුංචි පැටවුන් පහට අවදිවන නිසා එරන්දි හතරටවත් නැගිට දරුවන් වෙනුවෙන් කෑම පිසිය යුතුය. ඔවුන්ගේ කටයුතු සියල්ල සොයා බැලිය යුතුය. දරුවන් කුඩාම කාලයේත්, අදත් ඇය ඒ සියලු දේ කරන්නේ කිසිඳු මැසිවිල්ලක් නොනඟාමය. දියතලාව ගුවන් හමුදා කඳවුරේ සේවයේ නියුතු එච්.ඒ.ජී.සුමේධ ජයරත්න එරන්දිගේ සැමියායි. රාජකාරි කටයුතු හේතුවෙන් ඔහුට නිවසේ රැඳෙන්නට බැරි වුණත් එරන්දිට සියලු කටයුතු හොඳින් ඉටුකරගන්නට ධෛර්යය දෙන්නේ ඔහුය.
“අපේ ලොකු පුතා රශාන් කෝවිද දැන් අට වසර පන්තියේ. දෙවැනි පුතා තුෂාන් තේනුල හතර වසර පන්තියේ. අපිට පුතාලම දෙන්නෙක් හිටිය නිසා, ඊළඟට දුවෙක් තමයි ඕන වුණේ. ඒ වෙනකොට පොඩි පුතාට අවුරුද්දයි මාස අටයි. මට තුන් නිවුන් යාළුවෝ ඉන්නවා. ඒ වගේම හිතවත් අක්කා කෙනෙකුටත් තුන් නිවුන් බබාලා හිටියා. ඉතින් එයාලව දකිද්දි මට හැමදාම හිතිලා තියෙනවා මටත් ඒ වගේ නිවුන් බබාලා හිටියා නම් කියලා. කොහොමහරි පළමු ස්කෑන් එක කළාට පස්සේ, පේරාදෙණිය මහරෝහලේ නාරිවේද විශේෂඥ වෛද්‍ය සිසිර රණරාජා වෛද්‍යතුමා කිව්වා බබාලා තුන්දෙනෙක් ඉන්නවා කියලා. ඒ වෙලාවේ මට ලොකු සතුටක් දැනුණා. මහත්තයත් නිවාඩුවට ඇවිත් හිටිය නිසා එයත් මගේ ළඟ හිටියා. එයාගේ මූණෙත් ඒ සතුටමයි තිබුණේ. කොහොමහරි දෙවැනි ස්කෑන් එක මාස පහේදි විතර කළේ. ඒ වෙලාවෙත් දොස්තර මහත්තයා ඇහුවා කලින් බබාලා කීදෙනෙක් ඉන්නවද කියලා. අපි කිව්වා දෙන්නයි කියලා. ලැබෙන්න බබාලා කීදෙනෙක් ඉන්නවද කියලත් ඇහුවා. අපි කිව්වා තුන්දෙනයි කියලා. එතකොට දොස්තර මහත්තයා ඇහුවා තව එක බබෙක් වැඩි වුණාට කමක් නැද්ද කියලා. ඇත්තටම ඒ ස්කෑන් එකෙන් බබාලා හතරදෙනෙක් කියලා කිව්වම සතුට වැඩිකමට ඒ වෙලාවේ ඇස්වලට කඳුළු ආවා.”
ඔවුන් එදා ගෙදර ආවේ හිත සතුටින් පුරවාගෙනය. ස්කෑන් එකට දරුවන්ගේ ගැහැනු පිරිමි බව හරියටම නොපෙනුණත්, තමන්ට ලැබෙන්නට යන සිව් මිණිකැට ඇතුළු අනෙක් දෙදරුවන්ද මිණිකැට සේම රැක බලාගැනීම ඔවුනගේ අදිටන විය.
“දරුවෝ ඉපදිලා ගෙදර ගෙනාවම එයාලා ලොකු මහත් කරගන්න එක තමයි ඊළඟට ලොකුම හීනය වුණේ. අපිට ආදායම් මාර්ගයක් විදියට තිබුණේ මහත්තයාගේ වැටුප විතරයි. එයාට ගෙදර එන්න ලැබෙන්නෙත් මාසෙකට දෙකකට සැරයක්. ඉතින් බබාලා පුංචි කාලේ එයාලව බලාගන්න මගේ පුංචි අම්මා, මල්ලි වගේම මහත්තයගේ ලොකු අම්මගේ දුව උදව් කළා. ඒ වගේම අපි දෙන්නගෙම නෑදෑයෝ, බොහොම ලෙංගතු අසල්වැසියෝ, හිත මිතුරෝ අමතක කරන්න බැහැ. මට මතකයි ගමේ මුස්ලිම් සීයා කෙනෙක් බේබි සබන් කැටයක් අරගෙන බබාලා බලන්න ආවා. ඒ තෑග්ග පුංචි වුණාට ඒක ලොකු ආදරයක්. ඒ වගේම මේ වෙනකල් දරුවන්ට පොතකින්, පැන්සලකින්, සබන් කැටයකින් වගේම රුපියලකින් හරි උදව් උපකාර කළ හැමදෙනාටම බොහොම ස්තූතියි.”
පුංචි දරුවන් හයදෙනෙකුත් සමඟ එරන්දිට පසු කරන්නට වූ කාලය ඉමිහිරි නැති බව ඇය කියන්නීය. කලක් ඇය මල්පෝච්චි හදා විකිණීම කළාය. මෙසේ මල්පෝච්චි හදන්නට ඇයට කියාදුන්නේ සැමියායි. ගෙවත්තේ කොළ පළා ටික, ඇතැම් එළවලු ඇයම වගා කරගත්තාය.
“අවශ්‍යතා වැඩි වුණත්, මම බොහොම අරපිරිමැස්සෙන් තමයි වියදම් කරන්නේ. මහත්තයා නිවාඩුවට ගෙදර ආවහම මම අරවට ණය වුණා, මේවට ණය වුණා කියලා කියන්න කැමති නැහැ. මොකද එතකොට එයාගේ හිතේ සැහැල්ලුවත් නැති වෙනවා. එහෙම නොවී ලැබෙන විදියට පිරිමහගන්න මම කැමතියි. ඒ වගේම තමයි දරුවෝ පාසලට යන දවසක් ගැන ලොකු හීනයක් හිතේ තිබුණා. එයාලා රටට වැඩදායී දරුවෝ කරන එක තමයි දැන් අපේ බලාපොරාත්තුව.”
එරන්දි කියන්නේ ලොකු දෝණි දැනටමත් නංගිලා දෙදෙනා ගැනත් මල්ලී ගැනත් සොයා බලනා බවයි. මිනිත්තුවකට දෙකකට වැඩිමහල් වුවද ඒ අක්කලාගේ හැටිය. ඒ වගේම “අම්මට මහන්සියි නේද? මං පොල් ටික ගාලා දෙන්නද?” කියා අසන්නටත් සය හැවිරිදි ලොකු දෝණියට දැනුම් තේරුම් තිබේ.
“එයාලා පුංචි වුණාට හතරදෙනාම මට ගෙදර වැඩවලට උදව් කරනවා. එයාලත් දැන්මම කෙනෙකුට උදව් කරන එක හොඳ දෙයක් කියලා දන්නවා. එක දුවෙක් කිව්වා පැන්සල අමතක වෙලා ආපු බබෙකුට ඉස්කෝලෙදි එයා පැන්සලක් දුන්නා කියලා. ඇත්තටම ඒ වගේ දේවල් ගැන සතුටුයි. දැනට පන්තියේ එක ළඟ තමයි මේ හතරදෙනා වාඩිවෙලා ඉන්නේ. හිටපු ගමන් නම් වෙනුවට ලොකු දෝණි, චූටි දෝණි කියලත් මෙයාලා කතා කර ගන්නවලු. ඒ වෙලාවට පන්තිභාර නෙරංජි මිස්ටත් මෙයාලව පැටලෙනවා කියලා මිස් කිව්වා.”
මේ දෝණිලා තුන්දෙනා ගෙදරදි එක පැත්තකය. සනූ මල්ලි ඒ වෙලාවට චූටි අයියා ළඟින් ඉන්නට කැමතිය. ඒ කෙසේ වුවත්, ඔවුන් හතරදෙනා හතරදෙනාට උදව් කරගන්නා අවස්ථා බොහෝය.
විටෙක දුෂ්කර වුවත් එරන්දිගේ සතුට මේ පුංචි පැටවුන් ලොකුවනු දැකීමය. ඔවුන්ගේ අනාගතය ලස්සන වනු දැකීමය. එහිදී ඔවුන්ගේ ඉගෙනුම් අවශ්‍යතා වෙනුවෙන් ලොකු බරපැනක් දරන්නට වන පසුබිමක, ඒ පුංචි හිත්වලට සතුටක් ගෙනෙන්නට ඔබට හැකිනම් එය අපට සතුටකි.
දීපා වසන්ති එදිරිසිංහ