උඩවලව ජාතික වනෝද්‍යානයේ අලි ඇතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙයි
උඩවලව ජාතික වනෝද්‍යානයේ මව් ඇතුන්ගේ පැටවුන් බිහිකිරීමේ කාල සීමාව වසර 3 සිට වසර 4ත් 6ත් අතර දක්වා දීර්ඝ වී ඇතැයි පර්යේෂණයකින් අනාවරණ වූ බව උඩවලව අලි පර්යේෂණ ව්‍යාප්තිය පවසනවා.
වනෝද්‍යානයේ වෙසෙන වන අලින්ගේ පෝෂණ තත්ත්වය පහත වැටීම හේතුවෙන් මෙය උද්ගතව ඇති බවත්, එමඟින් වනඅලින්ගේ ඝනත්වයට ඍජු බලපෑමක් එල්ල කරන බවත් එම සංගමය අවධාරණය කරනවා.
වනෝද්‍යාන භූමියේ ගුණාත්මක හා ප්‍රමාණාත්මක අඩුලුහුඩුකම් මීට ප්‍රධාන ලෙස බලපා ඇති බව එම සංගමය පෙන්වා දෙනවා.
වනඅලි ආහාරයට ගන්නා සජීවි තෘණ, කටු පඳුරු ඇතුළු ආහාර අඩුවීම මීට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා.
මෙමගින් ජාතික වනෝද්‍යානය තුළ සිටින ගැහැණු සතුන්ගේ ශරීර සෞඛ්‍ය ක්‍රමයෙන් පිරිහීමට ලක්ව ඇති බවත්, නිරෝගී පිරිමි සතුන් පරිබාහිර වනෝද්‍යාන වෙත සංක්‍රමණය වීම ආරම්භ වී ඇති බවත්, සිය පර්යේෂණයේදී අනාවරණ වූ බව උඩවලව අලි පර්යේෂණ ව්‍යප්තිය පෙන්වා දෙනවා.
මෙහිදී අදහස් දැක්වූ උඩවලව අලි පර්යේෂණ ව්‍යාප්ති, පර්යේෂණ කළමනාකරු පරිසරවේදී සමීර වීරතුංග මහතා සඳහන් කලේ,
“උඩවලව ජාතික වනෝද්‍යානය තුළ සතුන්ට ප්‍රමාණවත් පරිදි ආහාර නොමැති කම, භූමියේ තියන ගුණාත්මකබව දිනෙන් දින පිරිහීම අවුරුදු කිහිපයක ඉඳලා අඛණ්ඩව සිදුවු දෙයක්. ඒකේ ප්‍රතිඵලයක් විදියට තමා මේ වර්තමානයේ ගැහැණු සතුන්ට පැටව් හම්බවීමේ ප්‍රමාදයක් හා පැටව් අඩුකමක් තියෙන්නේ. ඒ එක්කම පිරිමි වනඅලි පරිභාහිර සංරක්ෂිත කලාප හා අනාරක්ෂිත වනාන්තර දෙසට සංක්‍රමණය වෙලා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා අන්තර් සම්බන්ධතාවලට. හුදකලා ගැහැණු සතුන් මේ තියෙන ඌන පරිසර පද්ධති හේතුවෙන් ඒ අයගේ ශරීරය තුළම ඇතිවෙලා තියෙන යම් යම් දුර්වලතා මත ඒ අය විසින්ම ප්‍රමාදයක් දක්වලා තියෙනවා සතුන් බෝවීමට. ඒ අය කැමති නෑ නිරෝගි නැති සතුන් බෝකරන්න. එ් හේතුවත් මේකට බලපාලා තියෙනවා.”