එළවලු පැළයක් තෑගි දීලයි මම දැන් යාළුවන්ගේ උපන්දිනවලට සුබපතන්නේ
උදා හිරු කිරණ ඇගේ ගෙමිදුලට එබිකම් පාන්නේ වෙනදාට නැති ආදරයක් අරගෙනය. ඒ ආදරය දැන් දැන් වඩාත් තමන්ට සමීප වග, මිදුලේ හිනැහෙන එළවලු පාත්ති දෙස බලමින් ඕ සිතන්නීය.
“ආහාර හිගයක් එනවා කියලා හැමෝම වගේ කතා වෙද්දී වගා කරන එකේ වැදගත්කම ගැන මටත් තේරුණා. හැබැයි අපේ ඉඩම පර්චස් එකසිය විස්සක් වුණාට පොල් ගස්වල හෙවන නිසා වගා කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මගේ හිතේ තිබුණා. ඒත් කොතැනින් හරි පටන්ගන්න ඕන නිසා, මිදුලේ අව්ව වැටෙන ඉඩකඩේ මිරිස් පැළ ටිකක් හරි හිටවන්න ඕන කියලා හිතුවා. ඊළඟට මමම පාත්ති හදලා ලස්සනට පිළිවෙලට අනෙක් භෝගත් හිටෙව්වා. දැන් ඒ එළවලු පැළවල, වැල්වල ගෙඩි කරල් හැදෙන කාලේ.”
ඒ කිරිබත්ගොඩ මාවරමණ්ඩියේ පදිංචි උදයන්ති තක්ෂිලායි. විවාහයෙන් පසු කිරිබත්ගොඩ පදිංචියට පැමිණියද, ඇගේ ළමා කාලය ගෙවුණේ රත්නපුර කලවානෙයි. බොහෝ සුන්දර වටපිටාවක ජීවත් වූ ඇයට ගෙවත්තේ දකින්නට ලැබුණු එළවලු, පලතුරු ගැන ඇති මතකය සුන්දරය.
“ඒ කාලේ ගෙදර කෑමට වත්තේ එළවලු හිටවලා තිබුණා. ඒවා හිටවනවා වගේම ඒවට සාත්තු කළේ අම්මයි, තාත්තයි. මම හිටෙව්වනම් හිටෙව්වේ මල් පැළයක් දෙකක් විතරයි. කොහොම වුණත් වත්තෙන් කඩාගන්න මෑ කරල් ඉව්වම ඒවයේ අමුතුම රසයක් තියෙනවා. අනෙක් එළවලු වුණත් එහෙමයි. කාලයක් ගියත් ඒ රසය අදටත් දැනෙනවා. මම විවාහවෙලා මහත්තයගෙ ගෙදර පදිංචියට ආවට පස්සේ පොඩියට හරි ගෙවතු වගාවක් කරන්න ඕන කියන අදහස හිතට ආවා. මම ඒ දවස්වල රැකියාව කළේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ආනයන අංශයේ. දැන් පුද්ගලික ඖෂධ ගෙන්වන සමාගමක ටෙන්ඩර් අංශයේ සහකාර කළමනාකාරවරියක ලෙස කටයුතු කරනවා. ඉතින් ඇත්තටම රැකියාව එක්ක මට විවේකය අඩුයි. ගෙදර ඇවිත් වටපිට බැලුවම පේන්නෙත් පොල්ගස්වලින් හෙවන වුණු පරිසරය. මිදුලට විතරයි අව්ව වැටෙන්නේ. ඒත් මේ අවුරුද්දේ ජනවාරි මාසේ ගෙදර ගිය දවසක මම දැක්කා තාත්තා වම්බටු පැළ තවානක් දාලා තියෙනවා. එයින් පැළ ටිකක් ගෙනැත් හිටවලා තමයි මම වගාවට ආරම්භය ගත්තේ.”
එසේ ගත් වගා ආරම්භය අද කාගේත් සිත් ඇදගන්නා දසුනක් බවට පත්ව තිබේ. එසේම ඉඩකඩ කළමනාකරණය කරගනිමින් වගාවක් ආරම්භ කරන්නට සිතන ඕනෑම කෙනෙකුට ඇගේ වගාබිමෙන් අදහසක් ලබාගැනීමට හැකිය.
“බෝංචි, මෑ, වැටකොලු, පතෝල වගේ වැල් යවන්න උණ කෝටු අරන් පාත්තිය හැදුවම ලස්සනයි. ඒකට අමතරව ගියේ රෙදිපටි ටිකක් විතරයි. වත්තේ පොල් තියෙන නිසා පොල්ලෙලිත් ඕනතරම් තියෙනවා. පොල්ලෙලි අල්ලලා පාත්ති හදන්න ටිකක් වෙහෙසෙන්න ඕන. මම සෙනසුරාදා දවසට තමයි ඒ වැඩ කරන්නේ. ඉතින් වගාවට ඕන කරන කෘමි විකර්ෂක මමම හදාගන්නවා. සුදුලූනු පොතුයි, ලූනු පොතුයි,කොහොඹ කොළයි, වතුරයි දාලා සතියක් පල්වෙන්න තියලා පැළවලට ඒ දියර ස්ප්‍රේ කරනවා. පොහොර වුණත් ගොම පොහොර වගාවට යෙදුවම වසවිස නැති එළවලුවක් තමයි ලැබෙන්නේ. පුංචි දරුවෙකුට වුණත් බයක් නැතුව ගෙවත්තෙන් ගන්න එළවලුවක් කන්න දෙන්න පුළුවන්.
මම වගාව පටන්ගනිද්දී බොහෝ පැළ වර්ග ගත්තේ සල්ලිවලට. ඒ සමහර පැළ මිල ටිකක් වැඩියි. ඉතින් වම්බටු, මිරිස්, දඹල වගේ බීජ අරගෙන තවාන් කරලා ඒ පැළ හතරක් පහක් තියෙන පැකට් එකක් අඩු මුදලට ලබාදෙනවා. ඒක මං වගේම අලුතින් වගාවක් පටන්ගන්න කෙනෙකුට වැදගත් කියලා මං හිතනවා. ඒ වගේම මම වගාව පටන්ගනිද්දි යූ ටියුබ් එකෙන් ඒ දැනුම සොයාගෙන ගියා. ඒ අතරේ ‘ගෙවතු වගාවයි ඔබයි’ ෆේස්බුක් සමූහයට සම්බන්ධ වුණා. ඒකෙන් උපදෙස් වගේම විවිධ බීජ වර්ග හුවමාරුව සිදුවෙනවා. එය හරිම වැදගත්. තමන්ටම බීජ හදාගෙන වගා කරන්න හැකි ආකාරයේ දැනුමකුත් ඉන් ලැබෙනවා. මම පොළට ගියහම ඉදිලා පැත්තකට දාපු තක්කාලි අරන් ඇවිත් ඇට ටික තවාන් කරනවා. ඇත්තටම අපි බලන්න ඕන අවම මුදලකින් මේ කරගෙන යන දේ සාර්ථක කරගන්නයි.”
උදයන්තිට දෙවසරක පුංචි පුතෙකු සිටී. ඔහු චෙනුක් රෂ්මින ය. ඇයගේ සැමියා හිරන්ත සඳුන් ය. ඔහු පෞද්ගලික අංශයේ රැකියාවක නියැළෙයි. මවගේ පසුපසින් වැටී වගාවට පුංචි උදව් දෙන්නට වාගේම සුරතල් කතා කියමින් ඇය පසුපස වැඩිපුරම සිටින්නේ පුතුය.
“උදේට වගාවට වතුර දාන්න කාලයක් නැති නිසා මම හුරුවෙලා ඉන්නේ හවසට වතුර දාන්නයි. වගාවට හුරු වුණහම එය පැළවල වර්ධනයට බාධාවක් නෙවෙයි. අපි දැන් මිරිස් කරලක්වත් කඩෙන් ගන්නේ නැහැ. ඒ වගේම මගේ වගා භෝග අතර බෝංචි, වම්බටු, පතෝල, මාලුමිරිස්, කොච්චි වර්ග කිහිපයක්, මුකුණුවැන්න, ගොටුකොළ, හාතවාරිය, ගොනික කොළ වගේ කොළ වර්ගත් තියෙනවා. ඒ වගේම මම ගර්කින් වගා කරලා තියෙනවා.”
රැකියාවේ කටයුතු, වගාවේ කටයුතු වාගේම පුංචි පුතුගේ කටයුතු අතර කාර්යබහුල ජීවිතයක් ගත කළද උදයන්ති ගෙදරදොර කටයුතුද මැනවින් කළමනාකරණය කරගන්නීය.
“මහත්තයගෙ අම්මා තාත්තා ඉන්නෙත් අපි එක්ක. අම්මටත් මගේ වගාව ගැන සතුටුයි. ඒ වගේම අද දවස ගත්තම ගෙදර දෙන්නම රැකියා කළත් ආර්ථික ගැටලු එක්ක හැමදෙනාටම වගේ අමාරු කාලයකුයි ගෙවෙන්නේ. ඉතින් ඒකට සවිමත්ව මුහුණදෙන්න ගෙවතු වගාව සවියක් කියන එක නොකියා බැහැ. මම මිරිස්, එළවලු කැඩුවම අමතරව තිබුණොත් කාට කාටහරි දෙනවා. ඒ වගේම කැමතිනම් කෙනෙකුට එහෙම අමතරව තියෙන එළවලුවක් විකුණගන්න වුණත් අද වෙළඳපොළ හැදිලා තියෙනවා.”
උදයන්ති කියන්නේ කොතරම් කාර්යබහුල වුවත්, ගෙවතු වගාව වෙනුවෙන් වෙලාවක් වෙන්කරගැනීම අසීරු නැති බවයි. ඒ වාගේම එය හිතට සැනසුම ගෙනෙන ක්‍රියාවකි.
“මම මගේ යාළුවෙක්ගේ බර්ත්ඩේ එකකට සුබ පතන්නේ පැළයක් දීලා. එයින් හිතට දැනෙන සතුට වචනයෙන් කියලා විස්තර කරන්න බෑ. ඒ වගේම ඔයා ගොඩක් මහන්සි වෙලා තියෙනවා නේද මේ පාත්ති ටික හදන්න කියලා කෙනෙක් කියද්දි ඒ වෙහෙස මගේ හිතට දැනෙන්නේ සතුටක් විදියටයි.”
උදයන්ති වාගේම ලස්සන ගෙවත්තක් ගැන සිහින දකින ඔබට, එය කොච්චි මිරිස් පැළයකින් ආරම්භ කරන්නට හැකිය. ඒ සඳහා අවශ්‍ය වන්නේ කාලය හා පුංචි කැපවීමක් පමණි.
දීපා වසන්ති එදිරිසිංහ