ගිලන් වූ හදවත් සුවපත් කරන්නට නැටුම් නටන වෛද්‍යවරිය
මෙවර ‘ධරණී’ කවරය සරසන්නේ සොඳුරු භරත නාට්‍යම් නර්ථන ශිල්පිනියකි.
ඒත් ‘ධරණී’ කවරය දරා සිටින්නට ඇය සුදුසුකම් ලැබූ එකම හේතුව ඇගේ සුන්දරත්වය හෝ නර්ථනයට ඇති හැකියාව පමණක් නම් නොවෙයි.
ශ්‍රී ලංකාවේ නර්ථන විශාරද උපාධියක් හිමි එකම වෛද්‍යවරිය ඇය වීමයි ඊට හේතුව.
මේ නර්ථන විශාරද, වෛද්‍ය උදුම්බරා සෙව්වන්දි ‘ධරණී’ට කියූ කතාවයි.
‘‘මගේ තාත්තා වෛද්‍යවරයෙක් වෙන්න හීන දැකපු කෙනෙක්. මම පුංචි කාලෙදි තාත්තා පේරාදෙණිය වෛද්‍ය පීඨයේ අධ්‍යාපනය හැදෑරුවා. තාත්තා ලොකු ලොකු වෛද්‍ය පොතපත් කියවද්දී මටත් ඒ පොත් බලන්න පුළුවන් නම් හොඳයි කියලා ඒ කාලෙදිත් මට හිතුණා. හැබැයි ඔහුට වෛද්‍යවරයෙක් වෙන්න බැරි වුණා. ඉතින් තාත්තා දැකපු හීනේ හැබෑ කරන්නත් එක්ක තමයි මම වෛද්‍යවරියක් වුණේ.’’
ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ, කරාපිටිය වෛද්‍ය පීඨයෙනි. නමුත් ඒ දක්වා ආ ගමන්මග එතරම් සුවදායී එකක් නොවන බව ඇය කියයි.
‘‘වෛද්‍ය විද්‍යාලයේ අවසාන වසරේ ඉන්නකොට මගේ අම්මට පිළිකාවක් හැදුනා. ඒ වෙලාවේ විභාගය වෙනුවෙන් වැය කරන්න තිබුණ කාලය අම්මා වෙනුවෙන් කැප කරන්න සිද්ධ වුණා. ඇය මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ගනිද්දී මමත් ඇය ගාවින්ම හිටියා.’’
මවගේ උපස්ථායක කටයුතු නිසා අවසාන වසරේ විභාගය සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් නොවූ බැවින් වෛද්‍ය විභාගය වසරකින් කල් දැමීමට ඇයට සිදුවිය. නමුත් අවාසනාවට ඇගේ මවට පිළිකා මාරයා පරාජය කිරීමට හැකියාව ලැබී තිබුණේ නැත.
‘‘මම වෛද්‍යවරියක් වෙනවා බලන්න අම්මට බැරි වුණාට දහස් ගානක් රෝගීන් සුව කරන පින අම්මට ලැබෙන්න කියලා මම හැමවෙලාවකම ප්‍රාර්ථනා කරනවා.’’
වෛද්‍ය ක්ෂේත්‍රයත්, කලා ක්ෂේත්‍රයත් එකිනෙකට වෙනස් විෂය ක්ෂේත්රයන් බැවින් මේ වෛද්‍යවරිය නර්තන විශාරදවරියක් වූයේ කෙසේදැයි මා ඇසුවෙමි.
‘‘තාත්තට ඕන වුණේ මම වෛද්‍යවරියක් වෙනවා දකින්න. හැබැයි අම්මට ඕන වුණේ මම ලස්සන ඇඳුම් ඇඳලා ලස්සනට නටනවා බලන්න. ඉතින් තාත්තාගේ හීනේ වගේම අම්මගේ හීනෙත් හැබෑ කරන්න ඕනේ කියලා මම හිතුවා. අනික මමත් පුංචි කාලේ ඉඳලම නටන්න, සිංදු කියන්න දක්ෂයි.’’ඇය ප්‍රථමයෙන් හදාරා තිබුණේ භරත නාට්‍යම් නර්ථන සම්ප්රදායයි.
වෛද්‍ය පීඨයේ අවසාන විභාගයට මුහුණ දුන් වසරේම නර්ථන විශාරද උපාධිය සඳහාත් මුහුණදීමට උදුම්බරා සමත් වී ඇත.
‘‘ප්‍රවීණ නර්ථනවේදිනී මිරැන්ඩා සෝමලතා මහත්මියගෙන් තමයි මම භරත නාට්‍යම් ඉගෙනගත්තේ. එකිනෙකට වෙනස් ක්ෂේත්‍ර දෙකක ඉතා අසීරු විභාග දෙකක් එකම අවුරුද්දේ සමත් වුණා කිව්වම සමහරුන්ට විශ්වාස කරන්නත් අමාරුයි.’’
වෛද්‍ය උදුම්බරා භරත නාට්‍යම් අංශයෙන් ජාතික සහ අන්තර්ජාතික මට්ටමින් ලබාගෙන ඇති ජයග්‍රහණ පිළිබඳවද ඇය සිහිපත් කළාය.
‘‘භරත නාට්‍යම් අරංගේත්තම් කළඑළි මංගල්‍යයෙන් පස්සේ මම ජාතික තරඟ කිහිපයකින්ම ජයග්‍රහණය කළා.ඒ වගේම දිල්ලි අන්තර්ජාතික නර්ථන උළෙලට සහභාගී වෙලා සජීවීව ඒ වේදිකාවේ තරඟ කරලා ‘නෘත්‍යාංගනා’ කියන අන්තර්ජාතික සම්මානය වසර දෙකක්ම දිනාගත්තා.’’
භරත නාට්‍යම් සඳහා ඉන්දීය ශිල්පීන්ට වඩා හැකියාවක් ඈ තුළ තිබෙන බව කීමට ඉන්දියානුවන් පරදා ලබාගත් ලබාගත් ඒ ජයග්‍රහණම ප්රමාණවත්ය.
‘‘ඔය තරඟයට යන්න කලින් දවසෙත් මම හොස්පිටල් එකේ වැඩ කළා. ඉතින් සූදානම් වෙන්න එහෙම ලොකුවට වෙලාවක් තිබුණේ නැහැ. තරඟය තියෙන වෙලාවේ කෙලින්ම ස්ටේජ් එකට ගිහින් තරඟ කරලා තමයි ජයග්‍රහණය කළේ.’’
භරත නාට්‍යම් නර්ථන සම්ප්‍රදායට අමතරව ඇය කථක්, බෝල්රූම්, ලතින් ඇමරිකා, බෙලි ඩාන්ස් සහ බැලේ යන නර්ථන සම්ප්රදායන්ද හදාරා ඇත.
මේ වනවිට වෛද්‍ය උදුම්බරා සේවය කරන්නේ ඇල්පිටිය මූලික රෝහලේ නොමේරූ ළඳරු ඒකකයේය.
‘‘ඉපදුණු හැටියේ සමහර කුඩා ළදරුවන්ට යම් යම් හේතු නිසා ජීවිත අවදානම් ඇතිවෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ දරුවෙක්ව පළවෙනි තත්පරයේම බේරගන්න එක තමයි නොමේරූ ළදරු ඒකකයේ වෛද්‍යවරයෙක් විදිහට මගේ වගකීම.
හදවත නතර වුණු පැටවුන්ගේ හදවතට පණ දීලා ඔවුන්ට නැවත ජීවිතය දෙන්න ලැබෙන එකත් ලොකු වාසනාවක්.’’
පණ හැගෙන ජීවිත බේරාගැනීමට හැකිවීම ඇය ලද භාග්‍යයක් බව ඈ කීවේ සතුටු සිතින්ය.
‘‘ළදවරුන්ට විතරක්ම නෙවේ සාමාන්‍ය රෝගීන්ටත් මම ප්‍රතිකාර කරලා තියෙනවා. මම දිල්ලි අන්තර්ජාතික නර්ථන තරඟයට සහභාගී වුණු වෙලාවේ බොහොම විශේෂ සිදුවීමක් වුණා. මම ගුවන්යානයෙන් බැහැලා ඇවිදගෙන යනකොට තරුණ ගැහැනු ළමයෙක් ඇවිල්ලා ‘ඩොක්ටර් ඩොක්ටර්’ කියලා මට කතා කළා. මම හැරිලා බලනකොට එතන හිටියේ පයිලට් කෙනෙක්. පස්සේ ඇය ‘ඩොක්ටර් මම ඔයාගෙන් බෙහෙත් ගත්තා. ඔයාට මාව මතකද?’ කියලා මගෙන් ඇහුවා.
ඇත්තටම ඇය ගැන මගේ හිතේ ලොකු මතකයක් තිබුණේ නැහැ. එත් ගුවන් නියමුවරියක් විදිහට ඇයට මගේ සේවය ගැන මතකයක් තිබීම ගැන මට නිහතමානී ආඩම්බරයක් දැනුණා.’’
වෛද්‍ය වෘත්තිය නිසා ඇය මුහුණ දුන් සුවිශ්ෂී සිදුවීමක් පිළිබඳ වෛද්‍ය උදුම්බරා පැහැදිලි කළේ එසේය.
‘‘මම ඉගෙනගන්න දෙයින් හැමවෙලාවෙම තව කෙනෙකුට උපකාරයක් වෙනවා දකින්න මම කැමතියි. කාලයක් මම රිජ්වේ ආර්යා ළමා රොහලේ හෘද රෝග ඒකකයේ සේවය කළා. ඉතින් එතැනදී ළමා හදවත් රෝග අරමුදලට ආධාර විදිහට ‘නර්ථන සෙව්වන්දි’ කියලා නර්ථන ප්‍රසංගයක් කරන්නත් මට පුළුවන් වුණා. ඒ වගේම 2018 කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා රෝගීන් වෙනුවෙන් අතරමැදි රෝහලක් හදන්න ‘ඉඳුවර නූපුර’ කියන කලා ප්‍රසංගයක් සංවිධානය කළා. මේ සඳහා මට බොහෝදෙනාගේ උපකාර ලැබුණා.’’
ජීවිත රැකගැනීම වෙනුවෙන් ඇය ව්යෛවරියකගේ සේවයටත් එහා ගිය සද්කාර්යයක් ඉටුකරනා බව පැහැදිලිය.
නර්ථනය සහ වෛද්‍ය ක්‍රමවේද එකට එක්කාසු කරමින් දරුවන් වෙනුවෙන් නර්ථන චිකිත්සන ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමටද ඇය පෙරමුණ ගත්තාය.
‘‘නර්ථනය වගේ කලා මාධ්‍යක් වෛද්‍ය විද්‍යාව එක්ක එකට සංයෝජනය කරලා වැඩක් කරන්න ලොකු ආසාවක් මගේ හිතේ තිබුණා. ඉතින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ මහාචාර්ය මනෝරි සේනානායක මහත්මිය එක්ක එකතු වෙලා, නර්ථනය විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ සංවර්ධනය වෙනුවෙන් භාවිත කරන්නේ කොහොමද කියන එක ගැන යම් යම් පරීක්ෂණ කරන්න මට අවස්ථාවක් ලැබුණා. මම හිතන්නේ නර්ථනය රෝහලක් තුළට ගෙන ගිය පළමු අවස්ථාව මෙයයි. බිමට බැහැලා ඇවිදින්න බැරි දරුවන් පවා මේ තුළින් යම් පන්නරයක් ලබාගත්තා. ඒ නිසා මම දැන් දරුවන්ට නර්ථන චිකිත්සනය ලබා දෙනවා. ඒ වගේම රත්නා පුෂ්ප කුමාරි මහත්මියගේ ළමා සංවර්ධන වැඩසටහන්වලදී සාමාන්‍ය දරුවන්ට නර්ථන චිකිත්සාව ලබාදීමටත් මම කටයුතු කරනවා.’’
වෛද්‍ය වෘත්තියත් නර්ථනයත් එකට කැටිකර දරුවන්ගේ ජීවිතය එළිය කිරීමට ඇය සිහින දකින්නීය. ඉදින් ඇයගේ උතුම් සිහිනය ඒ අයුරින්ම සැබෑ වේවායි ‘ධරණී’ අපේත් පැතුමයි.
සෙව්වන්දි හෙට්ටිආරච්චි
ඡායාරූප – සමන් අබේසිරිවර්ධන
හැඩගැන්වීම – සැලෝන් සිනාලි, ගාල්ල