Latest News

වෙන කෙනෙකුට අයිති වේ යැයි බියට පෙම්වතා සරසවි සිසුවිය ඝාතනය කරයි

කොළඹ තුරඟ තරග පිටියේදී විශ්වවිද්‍යාල සිසුවිය ඝාතනය කර ඇත්තේ, එම සිසුවිය වෙනත් අයෙකුට අයිති වේ යැයි බිය නිසා බව පොලිස් මූලික පරීක්ෂණ මගින් අනාවරණය වී තිබෙනවා.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ, කොළඹ විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ අධ්‍යාපනය ලබමින් සිටි චතුරි හංසිකා මල්ලිකාරච්චි නමැති 24 හැවිරිදි හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

විශ්වවිද්‍යාලයේ දේශන අවසන් වීමෙන් අනතුරුව ඊයේ පෙරවරු 11ට පමණ ඇය සිය පෙම්වතා සමගින් කතාබහ කිරීම සඳහා තුරඟ තරඟ පිටිය දෙසට පැමිණ ඇතැයි විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

අදාළ තරුණිය මීට මාස දෙකකට පමණ පෙර ප්‍රේම සම්බන්ධතාව නතර කිරීමට පෙම්වතාට යෝජනා කර ඇති අතර මේ හේතුවෙන් දෙදෙනා අතර මතභේදයක් හටගෙන තිබෙනවා.

ඒ අනුව ඇයව වෙනත් අයෙකුට අයිති වේ යැයි සිතා අදාළ තරුණයා එම ඝාතනය සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.

ඊයේ පස්වරුවේ තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර තිබූ තරුණිකයකගේ මළසිරුර කොළඹ තුරඟ තරග පිටියේ පඩිපෙළක් මතදී සොයා ගැනුණා.

තියුණු ආයුධයකින් කපා තරුණිය ඝාතනය කර තිබූ අතර ඇගේ ගෙල දෙපස කැපුම් තුවාල පැවති බව පොලීසිය සඳහන් කළා.

පොලීසිය පැවසුවේ ඝාතනය සිදුකළ ඇයගේ පෙම්වතාද කොළඹ විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේම අධ්‍යාපනය ලබන පසිඳු චතුරංග නැමති 24 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් බවයි.

සිද්ධිය වූ අවස්ථාවේ අදාළ තරුණයා තුරඟ තරඟ පිටිය අසලින් ගමන් ගන්නා ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුණා.

පොලිස් විමර්ශන මගින් සැකකරු පදිංචි නිවස සොයාගෙන ඇති අතර එහිදී පොලිසිය ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේ දී ඝාතනය සඳහා යොදාගත් උල් පිහිය, ලේ තැවරුණු ටී ෂර්ටය සහ බෑගයක් සොයා ගත්තා.

කෙසේවෙතත් සැකකරු එම අවස්ථාවේ නිවසින් පලා ගොස් ඔහු පදිංචි නිවස පිහිටි වත්තේ සැඟව සිට තිබෙනවා.

ඒ, රාත්‍රී කාලයේ දී කැළණි ගඟට පැන සියදිවි හානිකර ගැනීමේ අරමුණින්.

කෙසේවෙතත් කඩිනමින් ක්‍රියාත්මක වූ පොලිසිය සැකකාර පෙම්වතා ඊයේ (17) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජයන්ත මාරපන මහතාගේ අධීක්ෂණයෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වනවා.