විශේෂාංග

පියාඹන්න තටු ලැබුණු ලංකාවේ එකම ආචාර්ය උපාධිධාරිනිය

උපුලි සිහින මැව්වේ ගුරුවරියක් වෙන්නටය. ඒ ඇගේ මවද එවකට පාසල් ගුරුවරියක් වූ නිසාය. බොහෝ දිනවල ඇය මවගේ සාරි ඇඳගෙන මනසින් ගුරුවරියකට ඇන්දාය. සිසුන් හිතේ මවා ගනිමින් ඔවුන්ට ඉගැන්නුවාය. එපමණක් නොව පුංචි තරහක් මවාගනිමින් ඔවුන්ට තරවටුද කළාය.

මට මතකයි අපේ අම්මා ඉස්කෝලේ ගිහින් ඇවිත් සාරිය අව්වේ වේලෙන්න දානවා. ඒ වෙලාවට මං හොරෙන්ම ඒක අරන් කාමරේට ගිහින් ඇඳගන්නවා. ඊටපස්සේ ඉතින් ළමයින්ට උගන්වනවා වගේ රඟපානවා.

කාලයක් ගතවෙද්දී ඒ ගුරු සිහිනය උපුලිගේ හිතින් මැකී ගියාය. ඊළඟට ඇයට අවශ්‍ය වුණේ කථිකාචාර්යවරියක් වීමටයි. නමුත් අහම්බෙන් දුටු පුවත්පත් දැන්වීමක් නිසා ඒ කථිකාචාර්ය සිහිනයද මැකී ගොස් උපුලිගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් මාවතකට හැරෙන්නට විය.

එතකොට මට වයස අවුරුදු 18 යි. මං වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගය ලියලා ප්‍රතිඵල එනකල් ගෙදර හිටියේ. දවසක් තාත්තා ගෙනාපු පත්තරේක මං දැක්කා ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් සේවිකාවන් බඳවාගැනීමේ සම්මුඛ පරීක්ෂණයක් ගැන දැන්වීමක් පළකරලා තියෙනවා. මට හිතුණා ගෙදර ඉන්න එකේ නිකමට ගිහින් බලන්න.

ගිය ගමන සාර්ථක විය. සම්මුඛ පරීක්ෂණ කිහිපයකින් පසුව උපුලිට කනිෂ්ඨ ගුවන් සේවිකාවක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබුණි. නමුත් කිසිම විටෙක ඇගේ කථිකාචාර්ය සිහිනය හිතින් බොඳ වී ගියේ නැත. අවිවේකී රැකියාවක් වන ගුවන් සේවිකා වෘත්තියේ යෙදෙමින්ම ඈ ඒ සිහිනය සැබෑ කරගන්නට උසස් අධ්‍යාපනයට යොමුවිය.

කාලය හොඳට කළමනාකරණය කරගෙන මං රැකියාවත් අධ්‍යාපනයත් සමබරව කළා. මොකද මට ලොකු ආසාවක් තිබුණා අධ්‍යාපනය තුළින් යන්න පුළුවන් ඉහළටම යන්න. මගේ ගම මහනුවර. පවුලේ ඉන්නේ මමයි, අම්මයි, තාත්තයි, මල්ලියි. අම්මා, තාත්තා දෙන්නම උපාධිධාරීන්. අම්මා ගුරුවරියක්. තාත්තට මූල්‍ය විෂය ක්ෂේත්‍රයෙන් ආචාර්ය උපාධියක් තිබුණා. මට තාත්තා වගේ ආචාර්ය උපාධියක් ගන්නත් ලොකු ආසාවක් තිබුණා.

අධිෂ්ඨානය, උත්සාහය සහ කැපවීම තියෙන තැන ජයග්‍රහණයක් මිස පරාජයක් නැත. ඒ බව සනාථ කරමින් අවසානයේ ඇය ආචාර්ය උපාධියක්ද ලබාගත්තාය. දැඩි තරඟකාරී සහ අභියෝගාත්මක අවස්ථා රැසකට මුහුණදෙමින් ඇය ලබාගත් එම ආචාර්ය උපාධිය සැලකෙන්නේ එතෙක් මෙතෙක් ලාංකීය ගුවන් සේවිකාවක් ලබාගත් පළමු සහ එකම ආචාර්ය උපාධිය ලෙසිනි. ඒ කැලණිය විශ්වවිද්‍යාලයෙනි.

ලංකාවේ ආචාර්ය උපාධියක් තියෙන පළවෙනි සහ එකම ගුවන් සේවිකාව මමයි. මට තියෙන්නේ ව්‍යාපාර පරිපාලන දර්ශන විශාරද උපාධිය. ගිය මාසේ තමයි බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ උපාධි ප්‍රධානෝත්සවය තිබුණේ.

2005 වර්ෂයේදී කනිෂ්ඨ ගුවන් සේවිකාවක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවයට එක් වූ උපුලි මේ වනවිට එහි කැබින් පරීක්ෂක තනතුර දක්වා උසස්වීම් ලබා තිබේ. ඇය පවසන්නේ පිටතින් සුන්දර රැකියාවක් සේ පෙනුණද එය එසේ නොවන බවයි.

ඕනෑම ගුවන්යානයක ප්‍රධානියෙක් ඉන්නවා. ඔහු යටතේයි කැබින් පරීක්ෂකවරු ඉන්නේ. කැබින් පරීක්ෂකවරු යටතේ තමයි ගුවන් සේවිකාවෝ ඉන්නේ. ගුවන්යානයේ යන කෙනෙක්ගේ හැමදේම හොයලා බලන්න ඕනේ අපි. හුඟාක් අය හිතාගෙන ඉන්නේ ගුවන් සේවිකාවක් කියන්නේ ලස්සනට ඇඳලා පැළඳලා කරන සුන්දර රැකියාවක් කියලා. ඒත් මේ රැකියාවේ තියෙන භාරදූර වගකීම දන්නේ ඇත්තටම අපි විතරයි.

එදා ගුවන් සේවිකාවක් වෙන්නට අදහසක් නොතිබුණද උපුලි දැන් මේ රැකියාවට ප්‍රිය කරන්නීය. කොතරම් අභියෝග පැමිණියද කාලය කළමනාකරණය කරගනිමින් ඇය රැකියාව කරන්නේ මෙය තරුණියකට ලැබෙන දුලබ අවස්ථාවක් නිසාය.

ගුවන් සේවයට ඇවිත් දැන් අවුරුදු 16 ක් වෙනවා. කැබින් පරීක්ෂක තනතුර කරන ගමන්ම මං ශ්‍රී ලංකන් ගුවන් පුහුණු පාසලේ කථිකාචාර්යවරියක් විදියටත් කටයුතු කරනවා. ඒ විතරක් නෙවෙයි කැලණිය සහ රජරට විශ්වවිද්‍යාලයෙත්, පෞද්ගලික විශ්වවිද්‍යාලයකත් මේ වෙනකොට මං බාහිර කථිකාචාර්යවරියක් විදිහට දේශන සිදුකරනවා.

මහනුවර හිල්වුඩ් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ උපුලි පුංචි සන්ධියේ සිටම නර්තනයටද උපන් හපන්කම් ඇති තරුණියකි. වරෙක ඈ පාසල් නර්තන කණ්ඩායමේ නායිකාවද වූවාය.

පුංචි කාලේ ඉඳන්ම මං නර්තනයට දක්ෂයි. ඒක මගේ ඇඟෙන්ම එන දෙයක්. ඉස්කෝල කාලේ නර්තනය තුළින් සමස්ත ලංකා මට්ටමට පවා ගිය අවස්ථා තිබුණා. මට තුන වසරේ ඉඳන් රබන් කරකවන්න පුළුවන්. එකක් නෙවෙයි රබන් නවයක්ම එකපාර කරකවන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි ගිනි කන්නත් පුළුවන්.

ගුවන් සේවිකාවක ලෙසත්, කථිකාචාර්යවරියක ලෙසත් සේවය කරන ආචාර්ය උපුලි වර්ණකුලගේ ඊළඟ සූදානම පශ්චාත් ආචාර්ය උපාධියක් ලබාගැනීමටය. මේ දිනවල ඇගේ සූදානම ඒ වෙනුවෙනි.

ලංකාවේ ගොඩාක් තරුණියන්ට කාලයත් එක්ක අධ්‍යාපනය කියන එක මඟ හැරෙනවා. ගොඩාක් වෙලාවට ඒකට හේතුව වෙන්නේ විවාහය. එයාලා හිතනවා විවාහයෙන් පස්සේ ඉගෙනගන්න ඕන නෑ කියලා. මං නම් කියන්නේ මැරෙනකල්ම ඉගෙනගන්න. ඒක ජීවිතේ කොතැනදි හරි අපිට උවමනා වෙනවා.

වත්පොහොසත්කම් එක රැයින් අහිමි වී යා හැක. පණ මෙන් සිතා ජීවිතයට ළංකරගන්නවුන් එක් මොහොතකදී හැර යා හැක. නමුත් උගත් දේ පමණක් සදාකල් ළඟ රැඳෙනු ඇත. ආචාර්ය උපුලි වර්ණකුල අපිට කියාදෙන ජීවිත පාඩම නම් එය නොවේද?

 

රුවන් එස්.සෙනවිරත්න