හංගපු කසිප්පු බැරල් ගොඩගන්න ගිහින් ගඟේ ගහගෙන ගිහිල්ලත් තියෙනවා
ගැහැනිය සියුමැලිය. උපතින් ඒ සියුමැලිකම ඇයට දී තිබුණත්, අභියෝග කළ හැකි තැන්වලදී ඕ අභියෝගවලට නොබියව මුහුණ දෙන්නීය. පිරිමින් වුව පරයා යමින්, උරෙන් උර ගැටෙමින් සමාජයේ හෙට දවස යහපත් කරන්නට එවැනි සිතකට කළ හැකි දේ කොතෙක්දැයි අමුතුවෙන් කිව යුතු නැත.
තවත් අටුවා ටීකා ටිප්පනි නැතත් මේ කියන්නට යන ඇගේ රුව දුටු පමණින් බොහෝදෙනෙකු ඇයව හඳුනන්නීය. මේ වරුණාවද හැඩ, වැඩ මෙන්ම මනුස්සකමින්ද පොහොසත් එවැනි කාන්තාවක් ගැනය. ලංකාවේ විශිෂ්ඨතම පොලිස් නිලධාරිනිය ලෙසද කිහිපවරක් සම්මාන ලැබූ ඇය මාතර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි, ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්තය. මෙවර ‘ධරණී’ කවරය හැඩවන්නේ ඇගේ රුවිනි.
මෑතකදී ඇය වැඩි දෙනෙකුගේ අවධානය දිනාගත්තේ කොළඹ ජාතික රෝහලේ මුදල් මංකොල්ල කෑ වෛද්‍යවරයෙකු මහමඟදී මෙල්ලකොට පොලිස් භාරයට පත්කළ පුවතත් සමඟය. අදාළ වෛද්‍යවරයා ලක්ෂ හැත්තෑනමයක මුදලක් කොල්ල කා පලායමින් සිටියදී, වරුණි ඔහු මෙල්ල කරන්නේ වෙනත් රාජකාරියකට යමින් සිටින අතරතුරය. එමෙන්ම මෑතකදී ඇයව මාතරින් කොළඹට කැඳවා තිබුණේ, රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී පිළිස්සී මියගිය බාලවයස්කාරියක වූ ඉෂාලිනී ජූඩ් දැරියගේ මරණයේ ඉදිරි විමර්ශන කටයුතු සඳහාය.
‘‘මම ගාල්ල සවුත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ වගේම, මාතර මහාමායා බාලිකා විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක්. පාසල් ඇරිලා සමහර දවස්වල හවසට මම පොලිසියට යනවා. ඒ තාත්තා පොලිසියේ රාජකාරි කරපු නිසා. මට පොලිසිය නුහුරු තැනක් නෙවෙයි. ඔය කාලේ මම පත්තරේක පළවෙලා තිබුණු මෙරට පළමු පොලිස් අධිකාරිනිය වුණු ප්‍රමිලා දිවාකර මහත්මියගේ ඡායාරූපයක් දැක්කා. මම ඒක මං ළඟ තියාගත්තා. මම තාත්තටත් කිව්වා මම ලොකු වුණහම පොලිසියට බැඳෙනවා කියලා. කොහොමහරි මම 1996 අවුරුද්දේ පොලිස් සේවයට එක් වුණා. මම ගෙදරට හොරෙන් තමයි සම්මුඛ පරීක්ෂණවලට ගියේ. තේරුණාට පසුව තමයි ගෙදරට කිව්වේ. තාත්තා ලොකු අකමැත්තක් දැක්වුවේ නැහැ. අම්මා නම් කැමති වුණේම නැහැ. මම රාජකාරියට කැපවෙන්න තීරණය කරගෙනමයි පොලිස් සේවයට ගියේ.’’
තැලෙන පෑගෙන මිනිසුන්ට සාධාරණයක් ඉටු කිරීමට ඇය සිය රාජකාරිය පහුරක් කරගත්තාය. ඒ නිසාම ගංජා, කසිප්පු ආදී වැටලිම් සඳහා පෙරමුණ ගැනීමටද ඇය තමා කාන්තාවක වීම බාධාවක් කර ගත්තේ නැත.
‘‘1998 අවුරුද්දේ ඉඳන් තමයි මම මත්ද්‍රව්‍ය වැටලීම්වලට ගියේ. එහිදී පිරිමි නිලධාරීන් එක්ක හරි හරියට වැටලීම්වලට සම්බන්ධ වුණා. සමහර වෙලාවට කසිප්පු බැරල් ගන්න මම ගඟට බහින වෙලාවල් තිබුණා. එකපාරක් මාව වතුරේ ගහගෙන යන්න ගිහින් පොල්පිති දාලා තමයි ගොඩ ගත්තේ. බෙල්ල ළඟට මඩේ එරිලත් තියෙනවා.
ඒ වගේම මම මාතර පොලිසියේ දූෂණ වැටලීම් අංශයේ රාජකාරි කරද්දී ගංජාකාරයෝ, කුඩුකාරයෝ අල්ලන්න යන්නේ ෆුට්සයිකලෙන්. මම ඒ විදිහට යන්න හරිම කැමතියි. දෙදාහ අවුරුද්ද වෙනකොට මම කෙල්ල කාලේ මගේ වයස 23යි. දවසක් මම ෆුට්සයිකලෙන් යද්දි ත්‍රීවීලර් එකක් මාව ෆලෝ කරගෙන ඇවිත් මට විහිළු කර කර මඟ හරස් කරන්න ගත්තා. එක තැනක මට ඉස්සරහට යන්න බැරුව බ්ලොක් වුණා. දිගටම එහෙම වුණා. එකපාරක් මම බයිසිකලේ එක්ක වැටෙන්නත් ගියා. ඊටපස්සේ මට යකා නැගලා මම උන් දෙන්නව අල්ලගෙන හොඳටම තඩි බෑවා. එයාලට මං එක්ක බේරෙන්න බෑ. පාර මැද තියලා පහර දුන්නා. එහෙම ගහද්දී මම ඇහුවා, ගැහැනුන්ට ආයෙ මෙහෙම විහිළු කරනවද කියලා. එහෙම අහලා ජීප් එක ගෙන්නගෙන ඔවුන් දෙන්නව පොලිසියට අරන් ගියා.’’
ඇයගේ රාජකාරි දිවියේ එවන් සිදුවීම්ද ඕනෑතරම්ය. විටෙක අවධානම් ගන්නට ද සිදුවේ. ඇතැමුන් තරහ කරගන්නට සිදුවේ. එහෙත් රාජකාරිය අකුරට ඉටු කරන්නට මේ කිසිවක් බාධාවක් නොවිය යුතු බව ඇයගේ අදහසයි. වරක් රටේම ආන්දෝලනයක් ඇතිකළ අකුරැස්සේ හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයකුගේ ළමා අපචාර සිද්ධියක් පිළිබඳ සොයන්නට විමර්ශන පැවරුණේ ඇයටය. අපරාධකරුවන්ට ගැලවී යන්නට නොදෙමින් ඇය කළ විමර්ශනය අවසානයේ උසාවි තීන්දුවට අනුව විත්තිකරුට වසර පහළොවක සිර දඬුවම් නියම වුණි.
‘‘ඇත්තටම රාජකාරියේදී මට පුද්ගලයා අදාළ නැහැ. රාජකාරියට එය බාධාවක් කරගත යුතු නැහැ. ඒ වගේම ජිවිත අවධානම පවා නොතකා අපි රාජකාරි කළා. සමහර වෙලාවට ගඟට පනිනවා කිඹුල්ලෝ ඉන්නවද කියලා ඒ වෙලාවට මුකුත් මතකෙට එන්නේ නෑ. ඒක හරියට අර පොඩි දරුවන්ට බය තේරෙන්නෙ නෑ වගේ වැඩක්. 2018 වෙච්ච සිද්ධියක් මම කියන්න ඕන. එතකොට මම මාතර රාජකාරි කළේ. මාතර කාන්තාවකට තොරතුරක් ලැබිලා තිබුණා නිධානයකින් ගත් රත්තරන් බඩු වගයක් ත්‍රීකුණාමලයෙදි විකුණන්න යනවා කියලා. මේ ගැන විමර්ශනය කරලා ඔවුන් අත්අඩංගුවට ගන්නා කාර්යය පැවරුණේ මට. කොහොමහරි අදාළ අය සමඟ කතා කරලා ධනවත් කාන්තාවක් විදිහට වෙස් වලාගෙන මම ඔවුන් හමුවට යන්න තීරණය කළා. අපි කිහිපදෙනෙක් ගියත් ඔවුන් ඉන්න ස්ථානයට යන්න අවසර ලැබුණේ දෙන්නටයි. මමත් අනෙක් පොලිස් නිලධාරියා මගේ මල්ලි විදියටත් කැලෑවට ගියා. ඔවුන් කියන කියන විදිහට ඔවුන්ගේ ත්‍රීවිල් තුනක ගිහින් අන්තිමට කිලෝමීටර් දහයක් විතර කින්නියාව කියන ප්‍රදේශයේ මහ කැලෑවක අපි හිටියේ. ලොකු තල්ගස් අතරින් ගියේ. ඒ ගමනේ අවධානම මැද මට දරුවෝ මතක් වුණා. ලක්ෂ අසූවක් තමයි නිධානේ රත්තරන් ටික දෙන්න ඉල්ලුවේ. ඔවුන් රන් බුදු පිළිමයකුයි, රන් ගුලි ටිකකුයි තියන් මුදල් ඉල්ලුවා. මම කිව්වා මං ගෙනාවෙ ලක්ෂ හතළිහයි, අනිත් මුදල් වාහනේ කියලා. කොහොමහරි මේ පුද්ගලයා බැලුවේ රන් බඩුත්, මම ගෙනා මුදල් (ව්‍යාජ නෝට්ටු) ටිකත් අරන් පැනලා යන්න. ඒ වෙලාවේ මම ඔහුව ගෙල හිරකරලා අල්ල ගත්තා. පොලිස් නිලධාරියා ඔහු එක්ක හිටිය අනිත් කෙනාව අල්ල ගත්තා. ඔහු දඟලනවා මෙල්ල කරන්න බෑ. මම ඔහුගේ පිට කිහිප වරක් හැපුවා. ඒ වෙලාවේ මගේ ජංගම දුරකතනයට කෝල් එකක් ආවා. ෆෝන් එක බිම දාලා කකුලෙන් පාගලා තමයි ඇමතුම හා සම්බන්ධ වුණේ. පසුව මම විස්තරේ කිව්වා. විනාඩි හතළිස් පහකට විතර පස්සේ පොලිසිය ආවා. එහෙම තමයි ඔවුන්ව අත්අඩංගුවට ගත්තේ.’’
ඒවා චිත්‍රපට ජවනිකා බඳු වුවත් ඒවා ඈ සැබෑ ජීවිතයේ ලද අත්දැකීම්ය. ඇය වඩාත්ම සිත් රිදුම් ලැබූ අවස්ථාද රාජකාරී ජීවිතය තුළ තිබේ.
‘‘දවසක් මම විසිට් එකකට මාතර ළමා නිවාසෙකට ගියා. මම ගිහින් ඇහුවා, ඉතින් පුතාලා කොහොමද ඔයාලට මොනවද ඕන කියලා. චූටි දුවෙක් එකපාරම දුවගෙන ඇවිත් කිව්වා එයාට එයාගේ අයියව බලන්න ඕන කියලා. ඒ ගැන හොයලා බලද්දි, කිට්ටුව වෙනත් ළමා නිවාසෙක ඇයගේ සහෝදරයා නතර කරලා තිබුණේ. මම ළමා නිවාසයේ ප්‍රධාන නිලධාරියාගේ අවසර අරන් ගියා ඒ දියණියගේ අයියා ඉන්න තැනට. ඇය අයියව දැක්කා විතරයි දුවලා ගියා. ඒ දරුවත් පොඩියි. මම දැක්කා අතේ ගුලිකරගෙන හිටපු දෙයක් දැරිය අයියට දෙනවා. ඒ වෙරළු ගෙඩි දෙකක්. මට දැනුණ හැඟීම කියාගන්න බෑ. මේ දරුවෝ ගැන හොයලා බලද්දි පවුලේ දරුවෝ පස්දෙනාම ළමා නිවාසවල. පුංචිම ගේ කැල්ලක දරුවන්ට පහසුකම් නැති නිසා. කොහොමහරි මගේ හිත මිතුරන් සම්බන්ධ කරගෙන ඔවුන්ට ගේ හදලා දීලා, අධිකරණ කටයුතුවලින් පසුව ඒ දරුවන්ව දෙමාපියන්ට බාර දුන්නා.’’
ඒ බාරදීමෙන් නොනැවතී ඇය ඔවුන්ගේ බොහෝ අවශ්‍යතා ඉටුකර දුන්නේ සැබෑම වූ ළෙංගතුකමිනි.
‘‘මගේ රාජකාරිත් එක්ක මගේ පුතාලා තුන්දෙනා ළඟ මම රැඳෙන්නේ අඩුවෙන්. ඔවුන් තවම අධ්‍යාපනය ලබනවා. මගේ අම්මා, තාත්තා මං ළඟ හිඳීම මට ලොකු ශක්තියක්. ඒ වගේම මගේ මහත්තයා මගේ රාජකාරි දිවිය, පෞද්ගලික දිවිය සමබර කරගන්න උදව් වෙනවා. ඔහු පෞද්ගලික ආයතනයක රැකියාව කරන්නේ. ඔහුගේ ලොකු කැමැත්තක් නෑ මම පොලිසියේ රාජකාරි කරනවට. ඒත් මම හරිම කැමැත්තෙන් මේ රාජකාරි කරන්නේ.’’
ඒ කැමැත්තට, කැපවීමට සම්මාන ඇගයීම් වගේම මහජන ආදරයද ඇයට නොඅඩුව ලැබී ඇත. විශිෂ්ඨතම පොලිස් නිලධාරිනිය ලෙස ඇය ජනාධිපති සම්මානය ඇතුළුව සම්මාන පහළොවක් පමණ මේ වනවිට ලබා තිබේ.
ඒ සම්මානවලටත් වඩා හඬක් නැති මිනිසුන්ට හඬක් වෙමින් රාජකාරිය අකුරටම ඉටු කරන්නට ඇය හෙට දිනයේත් සූදානම්ය. ඒ අභියෝග සියල්ල ජය ගන්නට ‘ධරණී’ අපගෙන්ද ඇයට මල් මිටක් හිමිය.
දීපා වසන්ති එදිරිසිංහ
ඡායාරූප – මධුෂංඛ සිරිවර්ධන