කවුරුහරි ඔයා ලස්සනයි කිව්වට කමක් නෑ, හැබැයි ටෝන් එක අවුල්ද කියලා බලන්න
බසයට නැගුනු සංදීපනීත් භාග්‍යාත් ආගිය තොරතුරු කතා කරන්නට වූයේ දෙදෙනා කාලයකින් මුණ නොගැසුණු නිසාය. තම පාසල් මිතුරු මිතුරියන් ගැනත්, පාසලේ වූ රසවත් සිදුවීම් ගැනත් භාග්‍යා මතක් කරද්දී සංදීපනීද මනසින් ඒ කාලයට පියමැන්නාය.
බසය මගීන්ගෙන් පිරී යමින් තිබුණද දෙමිතුරියෝ සිටියේ පාසල් මතකයේ උත්කර්ෂය විඳිමිනි. තවත් ටික වෙලාවක් ගතවුණි. සංදීපනීට දැනුණේ තමා පිටුපසින් සිටින අයෙකු තම සිරුරට දැඩිව තෙරපෙන බවයි. ඒ මදිවාට ඔහුගේ අතින් තම ඉන පෙදෙස ස්පර්ශ කරනු ඇයට දැනුණාය. ඇය ක්ෂණිකවම පිටුපසට හැරී ඔහු දෙස රවා බැලුවාය.
‘‘මේ ජැක්සන් අයියේ ටිකක් එහාට වෙලා යනවද?’’
සංදීපනී තරමක හඬින් කීවේ රැවීමෙන් පලක් නැතිබව දැනුණ නිසාය. මිතුරියද ළඟ සිටින හෙයින් ඇයට බියක් දැනුණේ නැත. තම සිරුරට තෙරපෙමින් සිටි පුද්ගලයා අත ඉවතට ගත්තද ඇය කී දේ නොඇසුනා සේ සිටියේය. සංදීපනීත්, භාග්‍යාත් රවමින් ගස්සමින් ඔහු දෙස බලද්දී ටික වෙලාවකින් ඔහු ඉවතට ගියේ ඇණුම්පදයක් කියමිනි.
‘‘ඇඟේ නොගෑවී යන්න ඕනනම් කාර් එකක යන්නයි තිබුණේ… කුමාරිහාමිලනේ…’’
‘‘අනේ මේ ජැකී අන්කල් ඔයා කාරෙකක යන්නකෝ… එතකොට මේ බස් එකේ යන කිසිම කාන්තාවකට කරදරයක් නෑ.’’
භාග්‍යා උස් හඬින් කීවාය. බසයේ සිටින අයටද එම කතාව ඇසුණත්, ඔවුන් සිදුවුණ දේ සියැසින්ම දැක්කත් ඊට විරුද්ධව වචනයක් හෝ කතා කරන්නට නම් ඉදිරිපත් වූයේ නැත.
‘‘මටත් ගිය සතියේ ඔහොමම වැඩක් වුණා. ෆයිල් එකක් දෙද්දී අපේ බොසා ඕනෑකමින් මගේ අත අතගෑවා වගේ දැනුණා. වැරදීමකින් එහෙම වෙන්නැති කියලා හිතෙද්දිම, මෙන්න මේකා ඇස් යටින් බලලා ‘භාගි අද හරිම ලස්සනයි, ඔයාව දැක්කම පිස්සු හැදෙනවනේ’ කියපි. ඇත්තමයි මට මාර ලැජ්ජා හිතුනා.’’
භාග්‍යා, සංදීපනීගේ කනට කර කීවාය. දෙමිතුරියෝ බසයෙන් බසිනාතුරුම මාතෘකාව වූයේ එවන් දේය. මෙවැනි කාරණා ඉවසා සිටින්නන් සිටියද, ඒවාට එරෙහිව ගත හැකි නීතිමය පියවරයන් තිබේ. විටෙක ලැජ්ජාව නිසා ඇතැම් කතා එළියට එන්නේ නැත. එළියට එන ඇතැම් කතා නිසාද විටෙක අපහසුතාවයට පත්වන්නේ කාන්තාවම යැයි මතයක් ඇතත් තමාට සිදුවන ඕනෑම ආකාරයක ලිංගික හිංසනයක් සම්බන්ධයෙන්, නීතිමය ආරක්ෂාවක් ඇයට තිබේ.
පසුගියදා ආධුනික පොලිස් කොස්තාපල්වරියකට, ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් වූ අකටයුත්තද එවන් එකකි. ඔහු පොලිස් කොස්තාපල්වරියට අතවරයක් සිදු කරන්නේ තම නිල නිවසේදී වන අතර, ඔහු ඇයව තම අරමුණු උදෙසා නතු කරගන්නට කාලයක සිටම සැලසුම් කර තිබූ බව කියැවේ. විවිධ කෑමබීම ලබාදෙමින්, ඇය වෙත විශේෂ සැළකිල්ලක් දක්වන බව පෙන්වමින් ඒ අරමුණ වෙත ළඟාවීමට උත්සුක වුවත්, ඉන් පලක් නොවූ තැන ඔහු භාවිතා කළේ තම නිල බලයයි.
දිනක ඉකුත් දෙසැම්බර් විසිහතර වනදාය. පාන්දර හයයි තිහට පමණ නිල ඇඳුමින් සැරසුණු කොස්තාපල්වරිය තම ඇඳුම් කිහිපයක් වේලෙන්නට වැලට දැමුවාය. ස්ථානාධිපතිවරයා කොස්තාපල්වරියට දුරකතන ඇමතුමක් දී තම නිල නිවසට එන්නැයි කියන්නේ මේ වෙලාවේය. ඒ කතා කරන්නේ රාජකාරි අවශ්‍යතාවයකට යැයි සිතූ ඇය එහි ගියාය. ඔහු ඇතුළට එන ලෙස ඇයට අතින් සංඥා කළේය. ඇය ඇතුළට ගිය සැණින් පොලිස් ස්ථානාධිපතිවරයා කළේ දොර වසා දැමීමයි. අනතුරුව ඔහු ඇයව වැළඳගන්නට උත්සුක වෙද්දී ඇය බිය වූවාය. උමතු වූවෙකු මෙන් ස්ථානාධිපතිවරයා තම උඩුකය නිරාවරණය කර අතවර කරද්දී, කොස්තාපල්වරිය කියන ලද්දේ තමා අසනීපයෙන් පසුවන බැවින් කරදර නොකරනා ලෙසය. ඇය එම ඉල්ලීම කළේ හඬා වැටෙමිනි. අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුවද ඇය ලිංගික අපයෝජනයකට ලක්ව ඇතැයි සඳහන්ය.
මෙම සිදුවීමද රහසේ යටපත් වීමට තිබූ කාරණයක් නමුදු, කොස්තාපල්වරිය මෙම සිදුවීම තම පෙම්වතාට පැවසීමෙන් පසු, පොලිසියේ වගකිව යුතු අංශ වෙත ඔවුන් මේ ගැන දැනුම් දී තිබේ. සැකකරු එදිනම අත්අඩංගුවට ගත් අතර, ඒ පිළිබඳව පරීක්ෂණ සිදු කරන්නට පැවරුණේ මාතර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්තටය. ඒ මාතර කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි නිශාන් ද සොයිසාගේ නියෝගයකට අනුවය.
දැන් මේ කියන පොලිස් ස්ථානාධිපතිවරයා සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. ඔහුට එරෙහිව නැගී ඇති චෝදනා වන්නේ ආධුනික පොලිස් කොස්තාපල්වරියක අයුතු ලෙස සිරකර තබා ගනිමින් බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීමයි. පොලිස් කොස්තාපල්වරිය දැඩි මානසික පීඩනයකින් පසුවන බවද, පොලිසිය අධිකරණයට පවසා තිබේ.
අතවර, බරපතළ ලිංගික අපයෝජන හා ස්ත්‍රී දූෂණයක් වන වරදක් සිදුවන අවස්ථා ගැන ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුණි බෝගහවත්තගෙන් අප විමසුවේ ඉහත කරුණු සැළකිල්ලට ගනිමිනි.
‘‘1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනතට අනුව, වැඩ කරන ස්ථානයක බලය දරණ තැනැත්තෙකු විසින්, එම ස්ථානයේදී හෝ වෙනත් ස්ථානයකදී වචනයෙන් හෝ ක්‍රියාවෙන් තම සේවිකාවකට කරනු ලබන ‘අනනුඥාත’ ලිංගික ප්රයත්නයකදී ලිංගික අතවර කිරීමේ වරද සම්පූර්ණ වෙනවා.
උදාහරණයක් විදියට ආයතනයක බලතල දරණ පුද්ගලයෙක්, ‘ඔයා හරි ලස්සනයිනේ’ කියනකොට ඒ වචන උච්චාරණය කරන ආකාරය තුළ කාන්තාවන්ට යම් අපහසුවක්, ලැජ්ජාවක් ඇති විය හැකියි. ඒ වෙනස තුළ අතවරය කියන කාරණාව සම්පූර්ණ වෙනවා. තවත් දවසක ඇඟිල්ලේ කොණක් ස්පර්ශ කරමින් ඉඟි ලබාදෙනවා. එහෙම නැත්නම් අත තදින් ස්පර්ශ කරමින් තමන්ගේ කැමැත්ත පෙන්වනවා. තවත් වෙලාවක තොලපිට පෙරලලා මට ඔයාව දකිද්දි මෙහෙම වෙනවා, අරහෙම වෙනවා කියලා කියනවා, බස් රථවලදී අශෝභන ලෙස සිරුරට හේත්තුවීම (ජැක් ගැසීම), ස්පර්ශ කිරීම මේ සියල්ල ’අතවර’ යටතටයි ගැනෙන්නේ.’’
බරපතළ ලිංගික අපයෝජනයකදී, ශරීරයේ ඕනෑම අවයවයක්, විවරයක් භාවිතා කරමින් ලිංගික තෘප්තියක් ලැබීම එම වරද සම්පූර්ණ වීමට හේතු වේ. එහිදී අත, මුඛය, ගුද මාර්ගය, දෙකකුල් ආදී අවයව භාවිතයෙන් කාන්තාවගේ කැමැත්තකින් තොරව ලිංගික තෘප්තියක් ලැබීම මේ වරද යටතට ගැනේ.
‘‘ස්ත්‍රී දූෂණයක් කියලා අපි කියන්නේ කාන්තාවගේ කැමැත්තන් තොරව යෝනි මාර්ගය තුළට පුරුෂ ලිංගය ප්‍රවේශ කරවීමයි.’’
වරුණි බෝගහවත්ත මහත්මිය පෙන්වා දෙන්නේ ලිංගික අතවරයකදී (දණ්ඩ නීති සංග්‍රහයේ 345 වගන්තියට අනුව) අඩන්තේට්ටම් කිරීමෙන් හෝ සාපරාධී බලහත්කාරය පෑමෙන් යම් තැනැත්තෙකුට ලිංගික අතවර කරන හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් ලිංගික අතවරයක් කරන තැනැත්තෙකුට ‘ලිංගික අතවර’ කිරීමේ වරද සම්පූර්ණ වන බවයි. අදාළ පුද්ගලයාට වසර පහක සිර දඬුවමක් හෝ දඩයක්, නොඑසේනම් මේ දඬුවම් හා දඩය යන දෙකටම යටත් කළ හැකිය. තවද එම වරද සිදුකරන ලද තැනැත්තාට සිදුවන හානිය අනුව වන්දි මුදලක්ද ගෙවීමට අධිකරණය නියෝග කරන අවස්ථා ඇත. බරපතළ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන්ද වසර විස්සක සිර දඬුවම් නියම කළ හැකිය. මීට අමතරව වයස 16ට අඩු දරුවන් අකමැත්තෙන් නොව කැමැත්තෙන් වුවද ලිංගික කාර්යය සඳහා යොදවා ගැනීම, පැහැර ගැනීම නීතියෙන් බරපතළ වරදකි.
විශේෂයෙන්ම කාන්තාවන් වන ඔබට, මේ අතවරයන්ගෙන් බේරී සිටීමට සියුම් නුවණක් වාගේම ඊට එරෙහිව නැගී සිටීමේ ශක්තියද වැදගත්ය.
‘‘බස් එකේදී කෙනෙක් ඇඟට එනවානම්, කෙළින්ම ඒ පුද්ගලයාගේ ඇස් දෙක දිහා බලන්න. දෙපාරක් එහෙම බලද්දි ඔහු අදහස් කරන දේ වෙනස් කරගන්න ඔහුට සිදුවෙනවා. කතා කරන්න ඕන තැනදී කතා කරන්න. කාන්තාවට නීතියේ පිහිට ලබන්න අවස්ථාව තිබෙනවා.’’
ඇය කියන්නේ තමාට සිදුවන කුමන ආකාරයේ අකටයුත්තක් වෙනුවෙන් වුව නීතියේ පිහිටක් ඇති බවය. ළමා හා කාන්තා කාර්යාංශය මෙන්ම විවිධ උපකාරක සේවා ඒ සඳහා ඇති අතර, අවශ්‍ය වන්නේ තමාට වන අසාධාරණය සම්බන්ධයෙන් ඉදිරියට ඒමේ ධෛර්යයයි.
දීපා වසන්ති එදිරිසිංහ