විශේෂාංග

පනාමුරේ ඇත් රාජට වඩා වීරකමක් කරලයි විහඟනා දුව මියගියේ

අප කවුරුත් ඉපදෙන්න ඉස්සර පනාමුරේ කියන ගම් පළාතේ එක්තරා විශ්මයජනක දෙයක් සිද්ධ වුණා. ඒ පළාතේ හිටියා පස්සේ කාලෙක කතානායක ධුරය හොබවපු වලව්කාර රදළයෙක්. මේ මනුස්සයා කරපු එක රාජකාරියක් තමයි පනාමුර කැලයට ගිහිල්ලා ඒකේ ඉන්න අලි අල්ලගෙන ඇවිල්ලා විකුණන එක. දුවලා කවුරුත් දන්නවා ඇති මඩුවන්වෙල වලව්ව ගැන. ඒ වලව්වේ මුදලියි මේ ඇතුන් අල්ලලා මරපු ෆ්‍රැන්සිස් මොළමුරේයි ලේ ඥාතියෝ.

ඉතින් මොළමුරේගේ මේ අලි ජාවාරම ජයට කෙරෙද්දි එක දවසක් කැලේ ඉන්න අලි රෑනක් අල්ලගත්ත මොළමුරේගේ මැර හමුදාව ඒ අය සියල්ලම අල්ලලා පනාමුරේ අලි කඳවුරේ හිරකෙරුවා. මේ අලි රැලේ නායකයා වුණේ ඇත් රජෙක්. ඌ බලනකොට ඌ හැර ඔක්කොම අලි අතුරුදන්. ඌ රැය පුරා ඉව අල්ලමින් ඇත්කොටුව සොයාගෙන ආවා. ඇතුළේ හිර කරලා හිටපු අලි රෑනට නැති හයියක් පනාමුරේට ආවා. ඒ රැලේ හිටපු උගේ ඇතින්නත් පැටවු ටිකත් බේරගෙන ඇත් රජා පිටව ගියා. මේ විශ්මයජනක පෙරළිය දැක සියල්ලන් කලබල වුණා. පුදුමත් වුණා. මේ අලි රජා සිටිනකල් අලි අල්ලන්න බැරි බව දැනගත් මොළමුරේ ඌ මරා දමන්නට අණ කළා. මොළමුරේගේ මැර හමුදාව අලියාව කෘර ලෙස මරා දැම්මා. එක අලියෙක් මරා දැමීමට එරෙහිව මුළු රටම ගිනි ගත්තා. කවි කොළකාරයෝ කවි ලිව්වා. පාර්ලිමේන්තුවේ පනතක් ආවා රජයට හැර කාටවත් අලි අල්ලන්න බැරි බව කියමින්. ඒ පනත ගෙනාවේ ඇන්.ඇම්.පෙරේරා. පනාමුරේ ඇත් රාජා ගැන අපූරු ගීත ලියැවෙන්න පටන්ගත්තා. ලංකාවේ හැමෝම හිතුවේ ඇතා ‘මෛත්‍රී බෝධිසත්වයෝ’ කියලයි. අදත් අපි හැමෝම ඒ ඇතාට ගරු කරන්නේ කරඬුව ගෙනගිය ඇතාවත් පරාද කරමින්.

ඉතින් දුවේ මේ කතාව මං දුවලට කියන්නේ අන්න ඒ වගේ තවත් බෝසත්වරියක් ගැන කියන්න. කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ‘විහඟනා ආරියසිංහ’ දුවට ඒ වෙද්දී වයස අවුරුදු 19යි. හදිසියේම මේ දුවට හිසේ අමාරුවක් හැදිලා තිබුණා. ඇයව පරීක්ෂා කරද්දී පෙනී ගිහිල්ලා තිබුණා ඇගේ මොළය මියගිහින් බව. ඒ දුවගේ අක්කා එම බාලිකාවෙම ඉගෙනීම ලබලා දැනට වයඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්නවා. ඉතින් මේ රෝගය වැළඳෙන්න කලින් මේ දුව ඇගේ අක්කට කියලා තිබුණා තමන් මියගියහොත් ශරීරයේ සියලුම කොටස් දන්දෙනවා කියලා. ඒ වචන කියලා තිබුණේ මොනම අමාරුවක් දුවට තිබිලා නෙවෙයි. ඇගේ යටිසිත තුළ තිබිලා තියෙනවා මරණය හෙමිහිට ඇය අසළට එමින් සිටින බව.

ඉතින් ඇගේ පියතුමත් අම්මත් එකතු වෙලා ඇගේ ශාරීරික අවයව කොළඹ ජාතික රෝහලට දන් දුන්නා. ඒ දන්දුන් ශරීර කොටස් හත්දෙනෙකුට පමණ බද්ධ කරලා තිබුණා. ඇයට දන් දෙන්න නොලැබුණේ ඇගේ මොළය පමණයි. ඒත් ඒ මොළය අක්‍රිය වෙන්න පෙරම ඒ මොළය සියල්ල දන්දීමට තීරණය කරලා. අපේ බෝධිසත්වයන් ඇස්, ඉස්, මස්, ලේ, දන් දුන්නා වගේ මේ පුංචි විහඟනා දුවත් ශරීරයේ සියලුම බද්ධ කළ හැකි කොටස් දන් දුන්නා. ඉතින් දුවේ මේ බෝසත් දියණියගේ චරිතය මතු යම් දිනයක අපේ බෞද්ධ ආකල්පත් වෙනස් කරාවි.

ගැහැනුන්ට බුදු වෙන්න බැහැ කියලා විශ්වාසයක් අප අතර තියෙනවානේ. පන්සිය පනස් ජාතකේ එකම තැනකවත් ගෞතම බුදුහිමි ගැහැනු ආත්මයක ඉපදිලා නැහැ. ඒත් ගමේ මිනිස්සු එකතු වෙලා ‘ඉතිබිසෝ ජාතකය’ කියලා ජාතක කතාවක් හැදුවා. ඒ ජාතක කතාව පන්සිය පනස් ජාතක පොතේ නැහැ. ඒත් ඉතිබිසෝ ජාතක කතාව කියලා කවි පොතක් ලියැවෙනවා මහනුවර යුගයේදී. ඒ ජාතක කතාවේ හැටියට අපේ බුදුහිමි ලේනියක, ගිරවියක ලෙස ඉපදී සැමියෙකුගේ පැතුමක් නිසා පසුකලෙක ගෞතම බුදු වූ බවට ඉති කුමාරි කතාවේ කියැවෙනවා.

 

‘ඉති කුමාරිගේ ආයුෂ කෙළවර වීලා

දෙව්ලොව පිරිමි බව ලබලා ඉපදීලා

දෙව් සැප ලබා දෙව් ලෝකෙන් චුතචීලා

ඉපදුණි මිනිස් ලොව මිනිසත් බව ලබලා’

 

 

ඉති කුමාරිගේ කතාව ඇසුරෙන් මහනුවර ගම්පොල හීන් බණ්ඩාර කරුණරත්න මහතා ලියූ ‘සාරකවි අඬහැරය’ පොතේ එතුමා ඉති කුමරියගේ කතාව නැවත ලියලා තිබුණා දුවේ. ගැහැනියක බුදු කරවන්න පන්සිය පනස් ජාතක පොතට බැරි වුණාට ගැමියෝ 551 වැනි ජාතකය කියලා අලුත් ජාතකයක් හැදුවා. පන්සිය පනස් ජාතක පොතේ අපේ බුදුහිමි තිරිසන් සතුන් බවට පත්කරා. ඒත් ගැහැනියක බවට පත්කරලා නැහැ. ඒ කියන්නේ දුවේ තිරිසන් සතෙකුටත් වැඩිය ගැහැනිය පහත් කියන එක අඟවන්නද කියලා මමනම් දන්නේ නෑ. කොහොම නමුත් මලියදේව බාලිකාවේ විහඟනා ආරියසිංහ දුව, සාම්ප්‍රදායික බෝසත් චරිත ඉක්මවා ගියපු බෝසත්වරියක් කියලයි මට හිතෙන්නේ. මොකද හත්දෙනෙකුට ජීවිතය දීලයි ඇය ජීවිතයෙන් සමුගත්තේ. හරියට පනාමුරේ ඇත් රජා වගේ.

ඉතින් මගේ දුවලටත් මම කියන්නේ ජීවිතය කියන්නේ මහා පුදුම දෙයක්. සිංහල අවුරුද්ද කියන්නෙම දුවේ අලුත් වීමට. පැරණි සංකල්ප පුපුරවා හැරලා අලුත් දේ නිර්මාණය කිරීමට. ඒ හින්දා තමන්ගේ අධ්‍යාත්මික සහ කායික ශක්තිය යොදාගෙන ලෝකය අලුත් කරන්න, වෙනස් කරන්න, කණපිට හරවන්න මේ බක්මාසෙදිත් මගෙ දුවට අවස්ථාව ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා. පුංචි බෝසත් විහඟනා ආරියසිංහ දුව ඒ සඳහා අපට හොඳ අත්වැලක්.

පුංචි විහඟනාගේ මෘදු පාරිත්‍යාගශීලී බවට දුවේ ඇතුගලත් මොහොතක් සසල වුණා. ශක්‍ර දෙවියෝ කියලා කෙනෙක් ඉන්නවානම් හඳේ හාවගේ රූපේ මකලා හත්දෙනෙකුට පණ දුන්න විහඟනා දුවගේ රූපය හඳමඬල මත අඳියි කියලයි මම නම් කල්පනා කරන්නේ.

අත්තනායක එම්. හේරත්