විශේෂාංග

විනාකිරි හැදුවොත් බොන්නත් පුළුවන් විකුණන්නත් පුළුවන්

හිතේ හයියෙන් ජීවිතය දිනන්න කැමති කොයිකාටත් අතහිත දෙන්න ධරණී හැමදාමත් කැමතියි. නිකරුණේ ගෙවිලා යන කාලය තමන්ගේම කියලා ස්වයං රැකියාවක් වෙනුවෙන් යොදවන්න කැමති කාන්තාවන්ට හොඳ ඉල්ලුමක් තියෙන විවිධ දෑ පියවරෙන් පියවර ගෙදරදිම හදාගන්න හැටි කියලා දෙන්න අපි හිතුවේ ඒකයි. කඩදාසි, මැටි, රෙදි, විවිධ ආහාර, සබන් ඇතුළු විවිධ දේ නිර්මාණය කරන විදිය ගැන සහ ඒවා වෙළඳපොළ වෙත යොමු කරන ආකාරය ගැන මේ ලිපි මාලාව හරහා ඔබව දැනුවත් කරනවා.

ඔන්න අද අපි හදන්නේ විනාකිරි. විනාකිරි කියන්නේ තනුක කළ මධ්‍යසාර පැසෙව්වම ලැබෙන ඇඹුල් දියරෙකට. මේවගේ ප්‍රධානම සංඝටකය තමයි ඇස්ටික් අම්ලය. ආම්ලිකත්වයෙන් වැඩි නිසා ඉස්සර ඉඳලම මිනිස්සු ආහාර කල්තියාගන්න, ආහාර රසගන්වන්න වගේම විසබීජනාශකයක් විදියටත් විනාකිරි භාවිතා කරනවා.

එකදාස් හයසිය හැටපහේදි එංගලන්තේ ලන්ඩන් නුවර පුරා මහාමාරිය වසංගතය බෝවුණා. ඔය වසංගතේ ඒ කාලේ ලන්ඩන් ජනගහනයෙන් හතරෙන් පංගුවක මරණවලට වගකිව්වා.

මහාමාරිය හදන බැක්ටීරියාවත් කොවිඩ් වෛරසය වගේම බොහොම ඉක්මනින් කෙනෙක්ගෙන් තවත් කෙනෙක්ට බෝවෙන එකක්. ඔය බැක්ටීරියාවෙන් බේරෙන්න ඉතින් ඒ කාලේ මිනිස්සුත් එක එක සෞඛ්‍ය පුරුදු අනුගමනය කළාලු.

ඔය කාලේ හැබැයි හෑන්ඩ් සැනිටයිසර් හොයාගෙන තිබුණේ නැහැ. ඒ වැඩේට ඔවුන් යොදාගෙන තිබුණේ විනාකිරි. ඒ කාලේ රජ කරාපු දෙවැනි චාර්ල්ස් රජ්ජුරුවෝ ලන්ඩනයේ තියෙන කළුගල් හාරලා ඒවයේ විනාකිරි පිරෙව්වලු. ලන්ඩනේ ජනතාව අත් පා වගේම  කාසි පනම් එහෙමත් පිරිසුදු කරගත්තේ මේ තැන්වලින්ලු. විනාකිරි ගල් කියලා හඳුන්වන මේ ගල් අදටත් ලන්ඩන්වලදි දැකගන්න පුළුවන්. ඒ විතරක්යෑ පළමු ලෝක යුද්දෙන් තුවාල වෙච්චි සොල්දාදුවන්ගේ තුවාලවල විසබීජනාශනය කරන්න යොදලා තියෙන්නෙත් විනාකිරිලු.

මීට අවුරුදු 5,000ටත් කලින් විනාකිරි හදන හැටි මුලින්ම හොයාගෙන තියෙන්නේ බැබිලෝනිවරුන්. ඔවුන්ගේ පෞරාණික ලියකියවිලිවල විනාකිරි හදන විදිය පියවරක් ගානේ ලියලා තියෙනවලු. විනාකිරි හදද්දි ක්ෂුද්‍රජීවී පැසවීමක් කරනවා. ක්ෂද්‍රජීවීන් කියලා කොට්ඨාසයක් මේ ලෝකේ ඉන්නවාද නැද්ද කියලාවත් නොදන්න කාලෙක ක්ෂුද්‍රජීවීන් යොදාගෙන විනාකිරි හැදූ එක විශ්මකර්ම වැඩ කියලයි ඉතිහාසඥයෝ කියන්නේ.

අවුරුදු 3,000ක් පරණ ඊජිප්තු බඳුන්වලිනුත් විනාකිරි අංශු හොයාගෙන. සුන්දරත්වයේ රැජිනිය විදියට හඳුන්වන ඊජිප්තුවේ ක්ලියෝපැට්‍රා ලස්සන වෙන්න හිතාගෙන දවස ගානේ විනාකිරිවල මුතු දිය කරලා පානය කළාලු.

ක්ලියෝපැට්‍රා විතරක් නෙමෙයි ඉස්සර රෝම හමුදාවේ සෙබළුත් විනාකිරි පානය කරලා තියෙනවා. ජේසුස් ක්‍රිස්තූස් වහන්සේ කුරුසියේ ඇණ ගහන්න අරගෙන යන මගදි රෝම සෙබළු එතුමාට විනාකිරි පානය කරන්න දුන්නය කියලා බයිබලයේ දැක්වෙනවා.

වෛද්‍ය විද්‍යාවේ ගුරුවරයෙක් විදියට සැලකෙන ග්‍රීක වෛද්‍ය හිපොක්‍රටීස් පවා විනාකිරි සිරුරට ගුණබව සඳහන් කරලා තියෙනවා. අධිරුධිර පීඩනය, දියවැඩියාව පාලනය කරන්න වගේම අනවශ්‍ය මේදය දහනය කරන්නත් විනාකිරිවලට පුළුවන්.

ආහාරවල ආම්ලිකතාවය (pH අගය) අඩු කරන්න පුළුවන් නිසා ස්වභාවිකව ආහාර කල්තියාගන්න එහෙමත් විනාකිරි පාවිච්චි කරනවා. අනික අච්චාරු, චට්නි, සලාද, සමහර මස්, මාළු රෙසපිවලටත් විනාකිරි නැතිවම බැහැනේ. විනාකිරිවලට හොඳ වෙළඳපොළක් තියෙනවා කියලා අපි කියන්නේ ඒකයි.

කෘත්‍රිමව වගේම පොල් වතුරෙනුත් විනාකිරි හදන්න පුළුවන්. පොල් ආශ්‍රිත දේ වලින් හරිම අඩුවෙන් ප්‍රයෝජනයට ගන්න දෙයක්නේ පොල් වතුර කියන්නේ. ආහාර රසකාරකයක් විදියට පොල් වතුරෙන් විනාකිරි හදන හැටි කියලා දෙන්න හිතුවේ ඒකයි. නිෂ්පාදනයෙදි මධ්‍යසාර පැසවීමක් වෙන නිසා විනාකිරි ව්‍යාපාරය පටන්ගන්න කලින් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් ඒ සඳහා බලපත්‍රයක් ලබාගැනීම අනිවාර්යයයි කියන එක මුලින්ම කියන්න ඕනේ.

පොල් වතුර ලීටර දෙකකින් අපි විනාකිරි හදමු. පොල් වතුරවලට අමතරව සීනී 250g, බේකරි යීස්ට් හැඳි 1/2ක්, පියන සහිත ප්ලාස්ටික් බාල්දියක්, පිරිසුදු කොට්න් රෙදිකඩක් සහ මුහුම් විදියට නැත්තම් විනාකිරි පැසවීමට එකතු කරන්න කලින් හදාපු විනාකිරි 200mlක් එහෙමත් අවශ්‍යයි.

 

පියවර 1

පොල් වතුර ටික පෙරලා සීනී එකතු කරලා නටනකල් රත් කරගන්න. පස්සේ කාමර උෂ්ණත්වයට නිවලා යීස්ට් ටික එකතු කරන්න.

 

පියවර 2

දැන් මිශ්‍රණය බාල්දියට දාලා පියනෙන් වහලා සතියක් පැහෙන්න අරින්න. සතියකට පස්සේ නැවතත් සෙල්සියස් අංශක 60ක උෂ්ණත්වයකින් විනාඩි 20ක් රත් කරගන්න.

 

පියවර 3

මිශ්‍රණය කාමර උෂ්ණත්වයට එනකල් තියලා මුහුම් විනාකිරි ටික එකතු කරන්න. පස්සේ ද්‍රාවණය කොට්න් කැබැල්ලෙන් ආවරණය කරලා මාසයක් විතර තියන්න. මාසෙකට පස්සේ හොදට පැහුණු විනාකිරි මිශ්‍රණය ලබාගන්න පුළුවන්. මේක ආයෙත් 60C°ට රත් කරලා නිවෙන්න කලින් බෝතල්වලට දාන්න.

 

විනාකිරි අවුරුදු තුනක් විතර කල්තියාගන්න පුළුවන්. ඒ වගේම 350ml ප්‍රමාණයක් රුපියල් 150-200අතර මිලකට අලෙවි කරන්නත් පුළුවන්.

0714766819 අංකයෙන් වැඩි විස්තර දැනගන්න.

 

සීතා පොන්නම්පෙරුම

ස්වයං රැකියා පාඨමාලා උපදේශිකා

 

සෙව්වන්දි හෙට්ටිආරච්චි