විශේෂාංග

‘තාත්තා කෝල්’ කිය කියා දුව තාමත් ගේ පුරා තාත්තාව හොයනවා…

පසුගියදා තරුණයන් තිදෙනෙකු විසින් හෙල්මට්වලින් ගසා මරා දැමූ රංග විරාජ් ජයසිංහ ලස්සන හදවතක් හිමි තරුණයෙකු බව ඔහු ළඟින් ඇසුරු කළ බො‍හෝදෙනා දැන සිටියෝය. කිසිවකුගේ වරදක් දකින්නට මෙන්ම කිසිවකුට නරකක්, නපුරක් වනවාට අකමැති වූ ඔහුට ආදරවන්තයින්ගේ දිනයදාම අවාසනාවන්ත ලෙස ජීවිතයට සමුදෙන්නට සිදුවිය. ඒ මෝටර් බයික් පදිනවිට හෙල්මට් පැළඳ පාරේ හෙමින් යන්නැයි ඔහු කළ අවවාදය නොරිස්සූ පාසල් සිසුන් තිදෙනෙක් නිසාය. ​වේගයෙන් යතුරුපැදිවලින් යමින්, තමාටද වෙට්ටුවක් දමමින් ඉගිල්ලුණ කොල්ලන්ට දුන් අවවාදය මෙසේ විසවනු ඇතැයි ඔහු කිසිසේත් සිතන්නට නැතුවා විය හැකිය. ඒ ඔවුන් තමාද දන්නා හඳුනන තම බිරිඳ සංගීත විෂය උගන්වන පාසලේම දරුවන් වූ නිසාය.

හොඳක් කරන්නට ගියත් ඒවා නුහුරට පෙරළෙන අවස්ථා තිබේ. දරුවන්ගේ තිබිය යුතු මෘදු මොළොක් බව, අවවාදයකට ඇහුම්කම් දීමේ නිහතමානීබව, ගැටලුවක් සාකච්ඡාකොට නිරාකරණය කරගැනීමේ හැකියාව ඒ දරුවන්ට තිබුණානම් මාස එකොළහක් වන සුරතල් දූ සිඟිත්තියකට තම ආදරණීය ‘තාත්තා’ අහිමි නොවන්නට ඉඩ තිබිණි. ආදරණීය බිරිඳ දිල්කි පහන්තිහගේටද තම ආදරණීය සැමියා අහිමි නොවන්නට තිබිණි.

එදා දවසේ කවදාවත් නොවෙන දේවල් කිහිපයක් සිද්ධවුණා. එදා මම ඉස්කෝලෙට ගිය නිසා එයා දවල් මාව ගන්න දුව එක්කම ඉස්කෝලේ ළඟට ආවා. තාත්තගේ තුන්මාසේ දානේ යෙදිලා තිබුණේ පෙබරවාරි විසිවෙනිදට නිසා දානෙට ඕන කරන පිරිකර ඇතුළු බඩු වගයක් ගන්න තිබුණා. ඒ නිසා එයා කාර් එකෙන් ඇවිත් තිබුණේ. ඉන්පස්සේ අපි අලුත්ගම ටවුමට ආවා. ඕන කරන දේවල් අරගෙන එයා රට යන්න බලාපොරොත්තුවෙන් හිටිය නිසා ඊට ඕන කරන ​ෆොටෝත් අරගෙන ගෙදර ආවා. ඒ ඇවිත් පුරුදු විදියට කාලය ගෙවුණා. ඔය අතරේ ම​ගේ යාළුවෙක් කතා කළා. එයා කිව්වා අයියා අද වැලන්ටයින් දවස නිසා හොඳටම රොමෑන්ටික් වෙලා නේද, එ‍​ෆ්.බී. පෝස්ට් එකකුත් දාලා තියනවා දැක්කා කියලා. ඇත්තටම මම එහෙම එකක් දැනගෙන හිටියෙ නෑ. පස්සෙ තමයි දැක්කෙ,

‘​රෝසමල් නෑ

චොක්ලට් නෑ

Surprise නෑ

වගකීමෙන් කියන්නේ, මේ ගෙවෙන තත්පරෙත් ආදරෙයි

කියලා එයා ෆේස්බුක් එකේ මං වෙනුවෙන් ලියලා තිබුණා. අපි හමුවෙලා ආදරය කරන්න පටන් අරගෙන අවුරුදු නවයක් වෙනවා. එයාව මට මුණගැහුනේ කැම්පස් කාලේ කොළඹදී. එතකොට ඔහු පෞද්ගලික ආයතනයක රැකියාවක් කරනවා. ආදරේ කරන කාලෙදි මගේ උපන්දිනයකටවත් එයා එහෙම පෝස්ට් එකක් දාලා නෑ. ගෙදර ඉන්න කෙනාට ළඟ ඉඳන් ආදරේ කියන්න පුළුවන්කම තියෙද්දී ඕවා ෆේස්බුක් දාන්න ඕනද කියලා තමයි ඒ ගැන ඇහුවොත් කියන්නේ. ඇත්තටම ඔහු බොහොම ආදරණීයයි. බොහොම නිවුණු කෙනෙක්. මං වචන සීයක් කතා කළොත් එයා කතා කරන්නේ වචන දෙක තුනයි. ඒත් ඕනම වෙලාවක ඕනම කෙනෙකුගේ දුකකට කරදරයකට ඔහු උදව් කරන්නේ හදවතින්මයි.”

ඒ හදවත හිමි ආදරණීයයා දැන් දිල්කිගෙන් බොහෝ ඈතකය. වැලිපැන්න ගල්මත්ත, කුරුදිප්පිට ගමේ පදිංචි රංග එදා සවස හයට පමණ ගල්මත්ත කඩමණ්ඩියට යාමට පිටත්වුණේ රෑට කන්නට පාන් ගෙනෙන්නටය.

ගෙදර ඉඳලා කිලෝමීටර් එකහමාරක් වගේ දුරක් තමයි හන්දියට තියෙන්නේ. එයා ගිහින් විනාඩි පහකින් වගේ මං එයාට කෝල් එකක් ගත්තා. ඒ මගේ යාළුවෙක් බඩු වගයක් අරන් හන්දියට එනවා, ඒ ටිකත් අරන් එන්න කියලා කියන්න. දෙවන වතාවට කෝල් කරත් මහත්තයා කෝල් එක ආන්සර් කළේ නෑ. ඒ පාර මං දන්න නංගි කෙනෙක් එක්ක එයාගේ බයික් එකෙන් පාරට ආවා. ඒ ආවේ ගෙදර ඇඳන් හිටපු ඇඳුම පිටින්. වෙනදට මම කවදාවත් එහෙම යන්නේ නැහැ. හරිම ඉක්මනට මම ඒ තීරණේ ගත්තේ. පාරේ ටික දුරක් යද්දි, ඉස්කෝලේ ළමයි කිහිපදෙනෙක් පාරේ තැනක ඉන්නවා දැක්කා. මම මං එක්ක ගිය නංගිට කිව්වා, ගෙදර ඇඳන් හිටි ඇඳුම පිටින් ඉන්නේ, අතන ඉස්කෝලේ ළමයිනුත් ඉන්නවා ආපහු යන් කියලා. ඒ එක්කම මං දැක්කා පාරේ වටවෙලා හිටිය අයගේ කකුල් අතරින් කෙනෙක් පාරේ වැටිලා ඉන්නවා. මාව දැකපු එතන හිටි කෙනෙක් කිව්වා කවුද විස්තරේ කිව්වේ, ඉක්මනින් අයියව හොස්පිට්ල් ගෙනියන්න කියලා.

දිල්කිගේ හදවත නතරවුණා වැනිය. ඒ වැටී සිටින්නේ තම ආදරණීය සැමියා බව ඇය දුටුවේ එවිටය. තමාට ඔහුට අනතුරක් බව කිසිවකු නොකිව්වත්, කුමක්දෝ හේතුවකට ඇය ඒ අසළට පැමිණ සිටියාය.

ඇත්තටම ඒ තත්පර කිහිපය විස්තර කරන්න හරිම අමාරුයි. එයා අමා​රුවෙන් හිටියේ. මම ඉක්මනට එතැන හිටි අයගේ උදව්වෙන් එයාව වාහනේකට දාගෙන අලුත්ගම රෝහලට ගෙනාවා. ඒ අතරමගදි එයා හුස්මගත්තේ අමාරුවෙන්. වෙට්ටුවක් දාලා ගිය නිසා ළමයින්ට අවවාද කරා, එයාලා හෙල්මට්වලින් ගැහුවා කියලත් කිව්වා. ඒ ළමයින්ගේ තාත්තලගේ නම් කිව්වා. එහෙම විනාඩියක් දෙකක් කතා කරමින් හිටිය මහත්තයා එකපාරටම කඩා වැටුණා වගේ වුණා. මම හිතුවේ සිහි නැතිවුණා කියලයි. ඒත් එයා ආයෙ ඇස් ඇරියේම නෑ.

ගෙවෙන තත්පරයේත් ආදරේ යැයි කිව් ඔහුට ඒ අවසන් තත්පරයේදීත් දිල්කිගේ ආදරය ලැබිණි. ඔහු දෑස් පියාගත්තේ ඈ අත අල්ලාගෙනය. මිනිසත්කම ගැන, මිනිසුන්ගේ සංවේදීකම ගැන ඇති හිඩැස ගැන ලොවටම හිතන්නට යමක් ඉතිරිකර ඔහු රෝහලට ගෙනයන අතරතුරම දෑස් පියාගත්තේය. නමුත් ඔහුගේ සිඟිති දියණිය තාත්තා එනතුරු තවමත් මඟ බලා හිඳින්නීය. ඇය “තාත්තා කෝල්” කියමින් ගේ පුරා දිවයන්නේ තවමත් මේ කිසිවක් නොදැනය.

දුවගේ උපන්දිනය ගැනත් එයා නිතරම කතා කළා. දුව ළඟට වෙලා ඉන්න එයා කැමතියි වගේම දුව මටත් වඩා එකතු තාත්තට. දුව ගැන, එයාගේ අනාගතය ගැන ගොඩක් හීන ඒ හිතේ තිබුණා. ඔවුන් මේ විදියට උදුරගත්තේ බොහොම සාමකාමීව හැමදෙනාටම උදව් කරගෙන හිටපු කෙනෙක්. ගුරුවරියක් විදියට මම වගකීම් සහගතව කටයුතු කළා. මළගෙදර කටයුතුත් බොහොම සාමකාමීව සිදුකළා. ඇත්තටම මේ සිද්ධියට සම්බන්ධ දරුවන්ගේ දෙමාපියන් අපිට පොලිසියේදී මුහුණට හමුවුණා. ජීවිතයක් අහිමිවෙලා තියෙද්දිත් ඒ ගැන කම්පනයක් දුකක් එයාලා තුළින් මම දැක්කේ නැහැ. නීතිය කොහොම වුණත් මම සොබාදහම දිහා බලන් ඉන්නවා.

බයික් අපේ නම්, ළමයිනුත් අපේනම්, අපේ ළමයින්ට අවවාද දෙන්නට පිට මිනිසුන් උවමනා නැතැයි කියා කියන, එසේ සිතන දෙමාපියන් ඒ දරුවන්ට කරන්නේ හොඳක්ද, නරකක්දැයි සිතීම ඔබට බාරය. ගෙදර වාගේම පාසල, දහම්පාසල තුළින් ආ යුතු විනය, හික්මීම, කරුණාව, දයාව, සංවේදීකම ආදිය මගින් පිරිපුන් දරුවෙකු රටට දායාද කරන්නේය.

රංග විරාජ්ගේ ඝාතනයට පොලිස් භාරයට ගත් 16 හැවිරිදි සැකකරුවන් තිදෙනා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 28 වනදා දක්වා මාකොළ රැඳවුම් නිවාසයේ රඳවා තබන්නට නියෝග කෙරිණි.

පියාගේ තුන්මාසේ දානමය පිංකම යෙදුණු පෙබරවාරි මාසයේ විසිවැනිදා රංග විරාජ්ගේ සත් දවසේ දානමය පින්කමත් යෙදිනි. දෛවය එවැන්නකි. එහෙත් හයක් හතරක් නොදන්නා පුංචි දූ සිඟිත්තිය “තාත්තා කෝල්” කියද්දී ඔහුට සිදුවූ දේ ඇයට පහදා දෙන්නට දිල්කි පහන්තිහගේට තවත් බොහෝ කලක් බලා හිඳින්නට සිදුවනු ඇත.

දීපා වසන්ති එදිරිසිංහ