මේ ලස්සන එකී මට දීපන් කිය කියා බාබලා තරඟෙට මට ලංසු තිබ්බා
විදෙස් රැකියා නියෝජිත ආයතන කිහිපයක් කාන්තාවන් රවටා සංචාරක වීසා ක්‍රමයට මැදපෙරදිගට විකුණන මිනිස් ජාවාරමක් ගැන ‘ධරණී’ හෙළිදරව් කළේ පසුගිය වසරේ නොවැම්බර් මාසයේදීය. මෙම ජාවාරමේ ගොදුරු බවට පත්වී මැදපෙරදිග අසරණ වූ කාන්තාවන් බොහොමයක් සිටින බවද ඒ වනවිටත් දැනගන්නට ලැබී තිබිණි. පසුව අප වහාම ඒ ගැන විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන්ව දැනුවත් කළද ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ එවැන්නක් සිදුවිය නොහැකි බවයි. නමුත් නැවතත් මේ මාතෘකාව ගැන යළිත් රටේම අවධානය යොමු වී ඇති නිසා මෙම ජාවාරමට හසුවී මැදපෙරදිග අසරණව සිටින තවත් කාන්තාවන් කිහිපදෙනෙකු සම්බන්ධ කරගැනීමට අප කටයුතු කළෙමු.
“මම ඩුබායි ගියේ මරදානේ ABC කියන විදේශ රැකියා ආයතනයෙන්. මේ අය කාන්තාවන්ව පිටරට යවන්නේ ඩුබායි රටේ කම්පැණිවල හොඳ පඩියකට රස්සාවල් අරන් දෙනවා කියලා කටවචනෙට පොරොන්දු වෙලා. මගෙත් එක්ක තවත් අටදෙනෙක් ගියා. ඒ අය ගියෙත් කම්පැණි රස්සාවල් ලැබෙයි කියන බලාපොරොත්තුව ඇතුව. හැබැයි අපි ඩුබායිවලින් බැස්සට පස්සේ ඒ කියපු කතා සේරම වෙනස් වුණා.”
එසේ කියන්නී දැනට ඕමානයේ සිටින 39 හැවිරිදි නිලූකා ප්‍රියදර්ශනී ය. හම්බන්තොට පදිංචි නිලූකා 2021 වසරේ දෙසැම්බර් මාසයේදී ඩුබායි රාජ්‍යය බලා ගියේ එරට ආයතනයක සේවිකා අබෑර්තුවක් සඳහාය. එහෙත් එහි ගිය පසු ඇයට සිදුවී ඇත්තේ දින ගණනක් කාමරයක සිරගතව සිට බාබලා සහ නානලා තබන ලන්සුවලට ඇඟ විකුණන්නටය.
“අපිව රට යවන්නෙ විසිට් වීසාවලින් කියලා මම දැනගත්තෙ රට යන දවසෙ එයාර්පෝට් එක ඇතුළෙදි. ඒ වෙලාවෙ මම අපිත් එක්ක නිතරම සම්බන්ධවෙලා කතා කරපු නයනා අක්කා කියන කාන්තාවගෙන් ඒ ගැන ඇහුවා. එතකොට එයා මට කිව්වෙ ඩුබායි යන එක ඔයාලා හිතන තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි නිලූකා කියලා, ඒකට ගොඩක් සල්ලි ඕන කරනවා කියලා. අපිට ඒ තරම් සල්ලියක් වියදම් කරන්න නැති නිසා විසිට් වීසාවලින් යවන්නෙ කියලා කිව්වා. සැකයක් තියෙනවා නම් අනිත් අයගෙනුත් අහලා බලන්න කිව්වා. ඊටපස්සෙ මං ඒ අයගෙනුත් අහලා බැලුවම කියපු කතාව ඇත්ත නිසා හිතේ තිබුණ බය නැතිවුණා.”
නිලූකා කියන ආකාරයට මෙම ජාවාරමට ඍජුවම සම්බන්ධ කාන්තාවක් සහ පිරිමින් තිදෙනෙකු ඇත. එක් අයෙකු අංගොඩ කොහිලවත්තේ පදිංචිකරුවෙකු වෙන සබ්රින් නමැති මුස්ලිම් පුද්ගලයෙකි. මෙම පුද්ගලයා හට සතියකට වරක් මරදාන ABC විදේශ රැකියා ආයතනය වෙත ගෙන යා යුතු කාන්තාවන් ප්‍රමාණයක් පවරා ඇත. ඒ රැගෙන ගිය මොහොතේ පටන් අදාළ කාන්තාවන්ට අවශ්‍ය සියලු ලියකියවිලි සකසා දී, ගුවන් තොටුපොළට රැගෙන යන මොහොත දක්වා සියලු කටයුතු කරන්නේ ඔහුය.
සබ්රින්ගේ කාර්යය එතැනින් අවසන්ය. එතැනින් පසු මෙම කාන්තාවන්ගේ වගකීම භාරදෙන්නේ දැනට ඩුබායි අජ්මාන් නගරයේ පදිංචිව සිටින නයනාට සහ ශාඩ්ටය. නයනා මෙරට කළුතර උතුර ප්‍රදේශයේ පදිංචිකාරියක වන අතර ශාඩ් යනු කලින් කී සබ්රින්ගේ පුතණ්ඩියාය. මොවුන් දෙදෙනාගේ රාජකාරිය වන්නේ අදාළ කාන්තාවන්ව දින පහක් පමණ ඩුබායි කාමරවල රහසිගතව රඳවාගෙන ශම්සුදීන් නමැති මහාපරිමාණ ජාවාරම්කරුවෙකුට විකිණීමය. පසුව මෙම කාන්තාවන් ඩුබායි සීමාව පසු කරමින් ඕමාන් වෙත රැගෙන යනු ලබන්නේද ශම්සුදීන් විසිනි.
“එදා ශම්සුදීන් මාවයි තවත් ගෑනු අය දහඅටදෙනෙකුයි ඩුබායි සීමාවෙන් පන්නගෙන ඕමාන්වලට අරන් ගියා. එතකොට එතැන හිටපු සේරම ගෑනු අය මහහයියෙන් කෑගහලා අඬනකොට මම ශම්සුදීන් එක්ක එතැන රණ්ඩු වුණා. ඒත් වැඩක් වුණේ නෑ. පස්සේ අපිව ඕමාන්වල තට්ටු පහක විතර බිල්ඩින් එකක හිර කරගෙන ඉඳලා ජනවාරි පළවැනිදා පාන්දර වෙද්දි සේරමලා පෝලිම් ගැස්සුවා. ඊටපස්සේ පාන්දර 2.45ට විතර මාව අරන් යන්න පිලිපීන් ගෑනු කෙනෙක් ආවා. මාව විකුණන උන් ඒ ගෑනු කෙනාට රියාල් හයදාස් ගාණක් දීලා උඹේ ඉතුරු ගාණ හෙට දෙන්නම් කිව්වා. සල්ලි අරන් ඒ ගෑනුකෙනා මාව ඇදගෙන ගිහින් ඒ බිල්ඩින් එකේම පස්වැනි තට්ටුවේ කාමරේක හිර කරලා ඒ කාමරේම හිටපු තවත් ගෑනු කෙනෙක්ට ගහලා බිම දිගේම ඇදගෙන ගියා. පස්සේ අපිව පිරිමි දෙතුන් දෙනෙක් ඉස්සරහ පෝලිමට තියලා ගණන් කතා කළා. එතකොට ඒ ආපු උන්ගෙන් එකෙක් මාව පෙන්නලා කිව්වා මේ ලස්සන එකීව මට රියාල් 1800කට දීපන් කියලා. ඒත් එක්කම තව මිනිහෙක් කිව්වා ඒකිව මට රියාල් 2500කට දීපන් කියලා. පස්සේ උන් එතැන හිටපු බාබාට මං වෙනුවෙන් ඇඩ්වාන්ස් එකක් දුන්නා. ඒත් එක්කම ආරංචි වුණා අපිත් එක්ක හිටපු ශ්‍රියාණි කියලා කෙනෙකුට කසෙන් ගහලා අමාරු වෙලා ඉස්පිරිතාලෙට ගිහින් දාලා කියලා. පස්සෙ උන් මාවත් ඇදගෙනම ඉස්පිරිතාලෙට ගියා.
එතැනදී මං දැන් ඉන්න ගෙදර ගෑනු කෙනයි, එයාගේ මනුස්සයයි, බාබලා එක්ක රණ්ඩු කරලා මාව එයාලගෙ ගෙදර වැඩට ඉල්ල ගත්තා. ඒත් මං දන්නෙ නෑ එහෙම කළේ කොහොමද කියලවත්. ඒ වුණත් අර ඇඩ්වාන්ස් කරපු පිරිමි මාව ඇදගෙන යන්න කලින් මං මේ ගෙදරට ආවා. ඒ ආවා කියලත් වුණේ කබලෙන් ලිපට වැටුණු එක. කන්න බොන්න නොදී, අඳින්න නොදී, මගේ රත්තරන් බඩු, ෆෝන්, පාස්පෝට් සේරම අරන් තියාගෙන එදා ඉඳන් අද වෙනකල් හිරකරගෙන වැඩ ගන්නවා. මේ වෙනකොට මගේ පපුවේ ඇදුම් අඳින්නත් බැරිවෙන තරමට ලොකු ගෙඩියක් ඇවිත් තියෙනවා. ඒවට බෙහෙත් ටිකක් අරන් දෙන්න කිව්වම කුණුහරුපෙන් බැනලා ගහනවා.”
පසුව නිලූකා විසින් මේ ගැන වරින් වර මරදානේ ABC විදේශ රැකියා ආයතනය වෙත දැනුම් දුන්නද පලක් වී තිබුණේ නැත. ඇය පවසන්නේ එහි නියෝජිතයින් විසින් ඇගේ දුරකතන අංකය පවා අවහිර කර දැමූ බවකි. එහෙත් පසුගිය දිනවලදී මෙරට මාධ්‍ය මගින් මෙම ජාවාරමේ සුලමුල හෙළි කරන්නට ගත් නිසා ඔවුන් විසින් නැවතත් නිලූකාව අමතා තිබුණි. එසේ අමතා කියා තිබුණේ ඔවුන් පිළිබඳ කිසිවෙකුටත් නොපවසන ලෙසයි. ඔවුන් කියන ආකාරයට කටයුතු කළහොත් නිලූකාව හැකි ඉක්මනින් නැවතත් මෙරටට ගෙන්නා ගැනීමට කටයුතු කරනා බවත් පවසා තිබුණි.
“ඒ කිව්වත් කිසිම දෙයක් කළේ නෑ. බැරිම තැන මම ආපහු එම්බසියට ගිහින් කිව්වා කොහොමහරි ලංකාවට යවන්න කියලා. එතකොට සල්ලි හොයාගෙන වරෙල්ලා කියලා බැනලා ගහලා එලවගත්තා.”
කුරුවිට පදිංචි විසි දෙහැවිරිදි ගෞතමනි ද පසුගිය දෙසැම්බර් 31 වනදා ඩුබායි බලා ගොස් තිබුණේ ඔය කියන ABC විදේශ රැකියා ආයතනය හරහාය.
“මට මේ ඒජන්සි එක ගැන කිව්වෙ අල්ලපු ගෙදර කෙනා. පස්සේ මාසෙකින් විතර මගේ අතට මොනවද මන්දා කොළ වගයක් ගෙනැත් දීලා කිව්වා මේවා රට යනකොට ගොඩක් වැදගත් නිසා කාටවත්ම පෙන්නන්න එපා කියලා. ඒවගේ තිබුණ කිසිම දෙයක් කියවගන්නවත් මම දැනගෙන හිටියේ නෑ. අන්තිමට රට යන දවසේ එයාර්පෝට් එකේදි මගේ වීසා එක බලලා මොකටද යන්නෙ කියලා ඇහුවම මං ගත්කටටම කිව්වා රස්සාවකට යනවා කියලා. එතකොට එතැන හිටිය නිලධාරී මහත්තුරු කිව්වා විසිට් වීසාවලින් රස්සාවල් කරන්න යන්න දෙන්න බෑ කියලා. පස්සේ මම ඒජන්සියට කතා කරලා ඒ ගැන කිව්වහම ඒජන්සි එකේ අය එයාර්පෝට් එකේ නිලධාරී මහත්තුරු කට්ටියකට කතා කළා. ඒ කතා කළාට පස්සෙ මුලින් යන්න දෙන්න බෑ කියපු අය පස්සේ කරදරයක් නැතුව ෆ්ලයිට් එකටම යන්න දුන්නා. ඩුබායිවලදි දවස් පහක් අපිව හිරකරලා තියාගෙන ගහලා බැනලා බලෙන්ම ලියුම්වලට අත්සන් අරගෙන වෑන් තුනකින් ඕමාන්වලට අරගෙන ගියා. ඒ අරන් ගියාට පස්සෙ අපිත් එක්ක ගියපු සමහරක් ලස්සන ගෑනු ළමයින්ව එදා රෑම බාබලා ඇවිල්ලා වාහනවල දාගෙන ගියා. අදටත් ඒ අය ජීවත්වෙනවද මැරිලද කියලවත් ආරංචියක් නෑ. තව සමහරුන්ව කාමරවලට අරගෙන ගිහින් ඔෆිස්වල රස්සාවල් දෙන්නම් කියලා බාබලා එක්ක එකට ඉන්න කියලා අපි ඉස්සරහම කසවලින් ගැහුවා. ඒ ගහලා බලෙන්ම ඇදගෙන හෝටල්වලට අරගෙන ගියා. ඊටපස්සෙ ඒ ගෑනු ළමයි අපිට වොයිස් මැසේජ් එවලා තිබුණා එයාලව හෝටල්වල තියාගෙන හොඳටම කරදර කරනවා කියලා.
ඇත්තටම මම ලංකාවෙන් යනකොට විසිට් වීසා කියන්නේ මොකක්ද කියලවත් විසිට් වීසාවලින් ඇවිල්ලා රස්සාවක් කරන්න බෑ කියලවත් දැනගෙන හිටියේ නෑ. අනේ ඒක නිසා අත්දෙක එකතු කරලා වැඳලා කියන්නම් අපිට අනුකම්පා කරලවත් මේ නරකාදිගෙන් බේරගන්න.”
පසුව මේ සම්බන්ධව අප කළ විමසීමකදී විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උසස් නිලධාරියෙකු කියාසිටියේ මෙවැනි කතාවකි.
“ඇත්තටම මේක ඒජන්සි කියලා කියාගත්ත හොර ජාවාරම්කරුවන් පිරිසක් විසින් කරගෙන යන මාෆියාවක්. මේ වෙනකොට අපිට ලැබිලා තියෙන තොරතුරුවලට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ ගැන වැඩිදුර පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා.
හැබැයි මෙන්න මෙහෙම දේකුත් පැහැදිලිවම කියන්න තියෙනවා. මේ විදියට විසිට් වීසාවලින් රට යන කාන්තාවෝ හැමෝම සීයට සීයක් අහිංසක නෑ. මොකද සමහරුන්ගේ මූණවල් දැක්කම අපිට පේනවා විසිට් වීසා එකක් අරන් ඩුබායිවල ඕමාන්වල සංචාරය කරන්න තියා තමන් ඉන්න ගෙදර ඇඩ්රස් එකවත් හරියට ලියාගන්න දන්නේ නෑ කියලා. නමුත් කවුරුහරි පුද්ගලයෙක් අපි ළඟට ඇවිත් විසිට් වීසා එකක් පෙන්නලා කිව්වොත් මම යන්නේ මගේ සැලෝන් එකට බඩු ටිකක් ගේන්න එහෙම නැත්නම් ඩුබායිවල හරි ඕමාන්වල හරි ඉන්න සහෝදරයෙක් බලලා එන්න කියලා එහෙම අයව නවත්වන්න අපිට නීතිමය බලයක් නෑ. මොකද මූණවල් බලලා, හැසිරෙන විදිය අනුව නීතිය ක්‍රියාත්මක කරන්න හැකියාවක් නැහැනේ. ඒ නිසා කොළඹ හතේ කාන්තාවක් වුණත් මුලතිව් කාන්තාවක් වුණත් විසිට් වීසා එකක් අරගෙන ආවොත් නීතියේ හැටියට අපිට එයාගේ ගමනට බාධා කරන්න බැහැ. නමුත් සමහර අවස්ථාවලදී මේ මිනිස්සු කරන්නේ බොරු කියලා දැන දැනමත්, පස්සේ අමාරුවේ වැටෙනවා කියලා දැන දැනත් සමහරක් අවස්ථාවලදී ඒ අයට යන්න දෙන්න අපට සිද්ධ වෙනවා. මොකද ඒක ඒ පුද්ගලයාගේ මානව අයිතිවාසිකමක් නිසා. අනික අර ජාවාරම්කරුවන් විසින් මේ අයට සූක්ෂමශීලීව බොරු උගන්වනවා. උදාහරණයක් විදියට මඩකලපුව, මූතුර් වගේ ප්‍රදේශයක ඉන්න කාන්තාවක් මේ වගේ ජාවාරම්කරුවෙකුට අහුවුණොත් කොළඹට ගෙනැල්ලා විසිට් වීසා එකකින් රට යවන්න හරිම ලේසියි. මොකද ඒ වගේ කාන්තාවන්ට මේ දේවල් ගැන වැඩි දැනුම් තේරුම් නැති නිසා. ඊටපස්සේ ඒ අයට කියනවා විදෙස්ගත වෙන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලක්ෂ ගණන් සල්ලි ගෙවන්න ඕන නිසා එයාර්පෝට් එකෙන් ඇහුවොත් සංචාරයකට හරි සහෝදරයෙක් බලන්න යනවා කියන්න කියලා. සමහරක් වෙලාවට විසිට් වීසා ළඟ තියාගෙන මේ වගේ බොරු කියන අයගෙන් තමන්ගේ වගකීම තමන්ම බාරගන්නවා කියලා අපි ලියුම් පවා අරගෙන තියෙනවා. එහෙමවත් මේ මාෆියාව ටිකක් හරි නවත්තගන්න පුළුවන්වෙයිද කියලා උත්සාහ කරලා බලන්නයි අපි එහෙම කරන්නේ. නමුත් ඉතින් කැරපොත්තෝ මරලා ඉවරයක් කරන්න බෑ වගේ ඔය විදියට අපිව අන්දලා ඩුබායි යන පිරිසක් කාලෙකට පස්සේ ඕමාන්වලින් මතුවෙන්න පටන්ගන්නවා. ඊටපස්සේ සංචාරක වීසාවලින් ගියා කියලා අපිටත් ඒ අයව අතඅරින්න බෑ. මොකද හරි හෝ වැරදි ශ්‍රී ලාංකික කාන්තාවකට ඒ වගේ හිරිහැර වෙනවා නම් ඒ ගැන බලාගෙන ඉන්න එක මානුෂීය නැති නිසා. ඒත් කොහෙවත් ඉන්න ජාවාරම්කරුවන්ට ලක්ෂ ගණන් සල්ලි දීලා සංචාරක වීසාවලින් රට ගිහින් දැන දැනම අමාරුවේ වැටිලා රටේ සල්ලිවලින් දඩ ගෙවලා ගෙන්නගන්න කියලා අපට චෝදනා කළාම හරිද? එහෙම යන කී දෙනෙක්ව අපි රටේ සල්ලිවලින් ගෙන්න ගන්නද? කොච්චර දඩ ගෙවලා ගෙන්න ගත්තත් අනිත් පැත්ත හැරෙනකොට ඕමාන්වල ආයෙම මේ වගේ අය පිරිලා. ඒ නිසා අපි මේ වෙනකොට මුලින්ම මේ මාෆියාව නවත්තන්න අපි අවශ්‍ය පියවර අරන් තියෙනවා. මොකද ඒ ඇරෙන්න කලින් කිව්වා වගේ ටුවරිස්ට් වීසාවලින් රට යන එක නවත්තන්න අපට නීතිමය අයිතියක් නැති නිසා. ඒ වගේම මේ වෙනකොට මේ කාන්තාවන්ගේ දඩ මුදල ඉවත් කරගන්න ඩුබායි සහ ඕමාන් රාජ්‍යයන් එක්ක අපි සාකච්ඡා කරමින් ඉන්නවා. එහෙම වුණොත් කැබිනට් පත්‍රිකාවක් දාලා මේ අයව අපේ රටට ගෙන්න ගන්න කටයුතු කරනවා. නමුත් විදෙස්ගත වෙන කාන්තාවන්ට මම බොහොම කාරුණිකව මේ දේ කියන්න ඕන. විසිට් වීසාවලින් කාන්තාවන්ව විදෙස්ගත කරවන මේ මාෆියාව මේ වෙනකොට රට පුරාම ජාලයක් විදියට පැතිරිලා තියෙනවා. ඒ නිසා විසිට් වීසාවලින් රට ගිහින් කවදාවත් රස්සාවක් කරන්න බෑ කියලා තේරුම්ගන්න. ඔබේ ආරක්ෂාව ඔබ සැලකිලිමත් වෙන්න. රැකියාවකට විදෙස්ගත වෙනකොට අන්තිම මොහොතේ හරි ඔබ යන්නේ විසිට් වීසා එකකින් කියලා දැනගන්න ලැබුණොත් කවුරු කොහොම මොනවා කිව්වත් ඒ ගමන යන්න එපා.”
ලිහිණි මධුෂිකා