විශේෂාංග

ගමන සිද්ධාර්ථගේ වගේ වුණාට කන්ථකයෙක් නැති නිසා මං බයිසිකලේ ගියා

ආසියාවේ ආශ්චර්යය කියලා අපි හරි ආඩම්බරෙන් කියපු අපේ රට දැන් තියෙන්නේ කොයි වගේ තැනකද කියලා අමුතුවෙන් කියන්න ඕන නෑ. තුන්වේලක් පිරිමහගෙන කාපු මිනිස්සුන්ට දැන් එක වේලක් කන්නත් බැරි තරමට රටේ ආර්ථිකය පිරිහිලා. රටේ බහුතරයක් මිනිස්සු එහෙම ජීවිතයක් ගතකරද්දි විසිත වනිගසූරිය සර් හිටියෙත් ඒ ගොඩේ. එහෙම ඉන්න අතරෙ තමයි සර්ට දන්න කියන ස්වාමීන්වහන්සේ නමක් එක්ක ටිකක් දුර ගමනක් යන්න වුණේ.

එදා උන්වහන්සේට ගමන් අපහසුවක් තිබුණු නිසා මං තමයි උන්වහන්සේ එක්ක මගේ වාහනේ මීමුරේ ගියේ. ඒක දුෂ්කර ගමනක්. එදා වැඩේ කරගෙන ආපහු එහෙන් එද්දි හවස 4.00 ට වගේ ඇති. ඒ එද්දි මං දැක්කා හරි සංවේදී සිද්ධියක්. එක පිරිමි ළමයෙක් ඉස්කෝල ෂර්ට් එක ගලවලා කරේ දාගෙන බෑග් එකත් ඇදගෙන වගේ අපහසුවෙන් පාරේ එනවා. ඊට ටිකක් පස්සෙන් ගෑනු ළමයෙකුත් ටයි එකත් නැතුව ගවුමේ උඩ බොත්තම් ටිකත් ගලවගෙන මහන්සියෙන් එනවා. පස්සේ මං වාහනේ නවත්තලා ඒ පිරිමි ළමයා එක්ක කතා කළා. එයා කිව්වේ, සර් තෙල් නැති හින්දා ළදි ඉඳන් පාරේ බස් එක වැඩ නෑ. ඉතින් අපි කිලෝමීටර් ගාණක්ම යන්නේ එන්නේ පයින් කියලා. අර මගේ අක්කා කියලා ගෑනු ළමයා පෙන්නුවා. පස්සේ මට දුක හිතිලා ඒ ළමයි දෙන්නව ගිහින් බැස්සුවා. මං ඔය සිද්ධිය අපේ පන්තියේ ළමයින්ටත් කියලා කිව්වා‍, මොන අර්බුදයක් ආවත් මං උඹලට උගන්වන්න ගම්පහ ඉන් නාත්තන්ඩියට පයින් හරි එනවා, උඹලත් වරෙල්ලා කියලා.

විසිත සර් කියන්නේ උසස් පෙළට ජීව විද්‍යාව උගන්වන උපකාරක පන්ති ගුරුවරයෙක්. ගෙවල් ගම්පහ තිබුණත් සර්ගේ එක පන්තියක් තිබුණේ නාත්තන්ඩියේ.

මං පන්තියේ ළමයින්ට අර කතාව කියලා සතියක් ගියේ නෑ ‍රටේ තෙල් නැතිවුණා. මට පහුවදා පන්ති. ඒත් ගම්පහ ඉඳන් මට යන්න විදිහක් නෑ. කාර් දෙකක් ගෙදර තිබුණත් එකකවත් හරියට තෙල් නෑ. මට කැබ් එකක් දාගෙන යන්න තිබුණා. ඒත් කලින් සතියේ ළමයින්ට අර වගේ කතාවක් කියලා මං එහෙම ගියානම් මමත් අනුන්ට අල බතල හිටවපං කියලා බුරියානි කන පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙක් ගානට වැටෙනවනේ.

සර් කියන විදිහට ඔහුට කාර් දෙකක් තිබුණත් වෙනදා වගේ කාර් එකක නැගලා පන්තියට යන්න පුළුවන්කමක් ලැබුණේ නෑ. මොකද රටේම තියෙන තෙල් අර්බුදය ඒ වෙනකොටත් විසිත සර්ටත් දැනිලයි තිබුණේ. එහෙමයි කියලා දාහකුත් එකක් වැඩ රාජකාරි අස්සේ දවස් ගණන් පෝලිම්වල තපින්න වෙලාවක් තිබුණෙත් නෑ. ඒක නිසා ගම්පහ තමන්ගේ ගෙදර මිදුලට වෙලා පහුවදාට තියෙන නාත්තන්ඩියේ පන්තිය ගැන සර් නොසෑහෙන්න කල්පනා කළා.

ඔය අතරේ සමහරු මට තෙල් දෙන්න කතා කළා. ඒත් මට කීයක් දීලවත් ගන්න හිතක් තිබුණේ නෑ. නිකන් හිතන්න මැෂින් එකකින් තණකොල කපලා ජීවත්වෙන මනුස්සයෙක් ගැන. එයාට එදා දවසේ තෙල් ටිකක් නොලැබුණොත් පවුලක්ම බඩගින්නේ. මං අර තෙල් ගත්තා නම් මමත් ඒ බඩගින්නට වක්‍රව වග කියන්න ඕනේ.

සර්ට පන්ති තිබුණේ පහුවදා උදේ 7.00 ට. බස් එකේ ගියොත් බස් තුනකට මාරුවෙවී යන්න ඕනේ. කෝච්චියේ ගියොත් කෝච්චි දෙකකට මාරුවෙවී යන්න ඕනේ. එහෙම ගිහින් කොහෙත්ම හත වෙනකොට යන්න බෑ. ඒ නිසයි සර් ඒ ගමන යන්න බයිසිකලේට ගොඩවුණේ.

මගේ මහගෙවල් තියෙන්නේ නාත්තන්ඩියේ. මං හිතන් හිටියේ බයිසිකලේ පැදගෙන කීයට හරි එහෙට ගිහින් නාලා කරලා පන්තියට යන්න. එහෙම හිතලා තමයි කැම්පස් කාලේ පාවිච්චි කරපු බෑග් එකකට ඕන කරන දේවල් දාගෙන, ටීෂර්ට් එකකුයි ශෝටකුයි ඇඳලා බාටා දෙකත් දාගෙන බයිසිකලේට නැග්ගේ.

ගම්පහ ඉඳන් නාත්තන්ඩියට තියෙන දුර ප්‍රමාණය කිලෝමීටර් 50 ක්. ඇත්තටම ඒ තරම් දුරක් බයිසිකලයක් පාගනවා කියන්නේ සෙල්ලමක් නෙවෙයි. ඇරත් හැමදාම කාර්වල ගිය මනුස්සයෙක්ට ඒක කොහෙත්ම ලේසි වැඩක් නෙවෙයි. ඒත් විසිත සර් ඒ අභියෝගය ආසාවෙන් එදා බාරගත්තා.

තෙල් නෑ කියලා පන්තියට පොල්ල තියන්න මට බෑ. මොකද මගේ කොල්ලෝ කෙල්ලෝ ටික කොහොම හරි විභාගේ පාස් කරවලා මේ අපායෙන් ගොඩදාන්න ඕනේ. වෙලාවේ හැටියට මං බයිසිකලේට ගොඩවුණේ ඒකයි.

ඒත් විසිත සර්ගේ මේ ගමනට එකම එක ප්‍රශ්නාර්ථයක් ආවා. ඒ තමයි සර්ගේ අවුරුදු එකහමාරක් වයස පුංචි දුව.

මට දරාගන්න බැරිවුණේ එයාව දාලා යන එක. මොකද එයා හැමදාම නිදාගන්නේ මගේ අත තුරුල් කරගෙන. ඉතින් මට සිද්ධවුණා එයා නිදියනකල් ඉලා මේ ගමන යන්න. ඒක හරියට අර සිදුහත් කුමාරයා යශෝධරයි රාහුලයි දාලා ගිය තරම් සංවේදි අවස්ථාවක් වුණා. ඇත්තටම මට ඇඬුණා. ඒත් අම්මා වගේම බිරිඳත් මගේ හිත හැදුවා. එයාලා කිව්වා පුතා පරිස්සමට ගිහින් එන්න කියලා.

විසිත සර් ගෙදරින් පිටත්වෙද්දි රෑ නවයයි තිහට කිට්ටුයි. එච්චර කලින් යන්න හේතුව වුණේ ගමන අතරමැද මොන වගේ ප්‍රශ්නවලට මුහුණපාන්න වෙයිද නොදන්න හින්දා. අපායට ගියත් කලින් යන්න ඕන කියලා කතාවක් තියෙනවනේ.

මං බයිසිකලේ විශ්වාස කළා. ඒක පැච් යන්නේ නෑ. හුළං යන්නේ නෑ. හොඳ ලයිට් එකකුත් තියෙනවා. ජපන් බයිසිකල් එකක්. වැස්සොත් කියලා රේන්කෝට් එකකුත් බෑග් එකේ දාගත්තා. මාව මංකොල්ලකාරයෙකුටවත් අහුවෙයිද කියලා පොඩි තිගැස්මක් හිතේ තිබුණා. එහෙම වුණොත් මං කැම්පස් කොල්ලෙක්, තෙල් නැති හින්දා බයිසිකලේ ගෙදර යනවා කියලා එයාලට දෙන්න උත්තරේකුත් හදාගෙනයි ගියේ.

කොච්චර රෑ වුණත් විසිත සර්ට ගමන පුරාවටම තනිකමක් පාලුවක් නම් දැනුණේ නෑ. ඒකට හේතුව වුණේ රට පුරාම තියෙන තෙල් පෝලිම්.

ආණ්ඩුවට පින්සිද්ධ වෙන්න දෙයියනේ කියලා එක ටවුමක ඉඳන් අනික් ටවුමට යනකන් තෙල් පෝලිම් තිබුණා. එක තෙල් පෝලිමකින් මට තේ එකකුත් බොන්න කතා කළා. ගම්පහෙන් මුලින්ම ඒකලට ගිහින් දෙහියගාත පාරෙන් කොළඹ පුත්තලම් පාරට දාන එක තමයි මගේ සැලසුම. පස්සේ සීදුව, කටුනායක හරහා මීගමුවට ගිහින් තෝප්පුව හන්දියෙන් දකුණට දාලා දංකොටුව, බෝතලේගම, කිරිමැටියානෙන් නාත්තන්ඩියට යන එක. මේ ගමන පුරාම මං බයිසිකලේ නැවැත්තුවේ දෙපාරයි. එකක් කටුනායක අර තේ බීපු තෙල් පෝලිම ළඟ. අනෙක තෝප්පුව පාලම උඩ. ඒ වෙනකොට නම් පුදුම අමාරුකමක් දැනුණේ. එහෙන් පස්ස රිදෙනවා. මෙහෙන් දණිස් කකියනවා.

ඒ වගේමයි විසිත සර්ට මේ ගමන පුරාම අඩුවක් නැතුව බලු තර්ජනවලට නම් ලක්වෙන්නත් වුණා. හැබැයි ඉතින් ඒකත් හරි විනෝදජනක අත්දැකීමක්ලු.

බයිසිකලේ පස්සෙන් බල්ලෝ එලවන එක හරිම විනෝදයි. ඒකෙන් මං එක දෙයක් ඉගෙනගත්තා. ඒ තමයි ඕනම බල්ලෙක්ට ටොමී කිව්වම ඌ අපේ පැත්තට නම්මගන්න පුළුවන්. මං ඉතින් එහෙම පන්නන වෙලාවට බයිසිකලේ නවත්තලා තාලෙට ටොමී කියනවා. උන් එතකොට යාළුවෙනවා.

පැය ගාණක් එකදිගට බයිසිකලේ පාගලා සර් නාත්තන්ඩියේ තමන්ගේ මහගෙදරට ළංවෙද්දි වෙලාව පාන්දර දෙකටත් කිට්ටුයි. ඊටපස්සේ සර් කළේ නාලා කරලා උදේ පන්තියට ලෑස්තිවුණු එක.

මං එච්චර දුරක් බයිසිකලේ ආවා කිව්වම ළමයින්ට හිතාගන්න බැරිවුණා. එයාලා පුදුම වුණා. වෙනදට බස්වල, කෝච්චිවල එන ළමයිනුත් මං වගේම බයිසිකල්වල ඇවිත් තිබුණා. ඒ ගමනෙන් මට ඕන වුණේ රට අර්බුදයක තියෙන වෙලාවක අධ්‍යාපනය අතෑරගන්නේ නැතුව බයිසිකලෙන් හරි අපි ගේමක් ගහමු කියන අදහස ළමයින්ට දෙන්න. එහෙම නැතුව ඒ කළේ අර්බුදයට හුරුවීමක් නෙවෙයි.

දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන කොයි දේත් රටේ අනාගතයටත් ඍජුවම බලපානවා. එහෙම බැලුවම විසිත සර් කරපු දේ හරි. ඇත්තටම මේ වෙලාවේ ගුරුවරුන්ගේ අංක එක වෙන්න ඕනේ දරුවෝ.

මං අනික් ගුරුවරුන්ටත් කියන්න කැමතියි මේ වෙලාවේ දරුවෝ ගැන හිතමු කියලා. මේක අපි තමයි හොඳම ගුරුවරු කියාගෙන තරඟ කරන වෙලාවක් නෙවෙයි. බයිසිකලෙන් බැරි නම් බඩගාගෙන ගිහින් හරි ඒ දරුවෝ විභාගෙට ලෑස්ති කරවන්න ඕනේ. දරුවන්ටත් මං කියන්න කැමතියි මොන ප්‍රශ්නයක් ආවත් ඔයාලගේ අධ්‍යාපනය මගඇරගන්න එපා කියලා. මොකද මේවයින් ගොඩ එන්න තියෙන එකම විකල්පය අධ්‍යාපනය විතරයි.

ඒත් එක්කම තෙල් අර්බුදයට පුංචිම හරි විසඳුමක් විදියට ආණ්ඩුවටත් පොඩි දෙයක් කියන්න විසිත සර් අමතක කළේ නෑ.

මං හිතනවා රටේ පොදු ප්‍රවාහනය මේ මොහොතේ හරියටම ක්‍රියාත්මක කළා නම් තෙල් ප්‍රශ්නය බාගෙට බාගයක්ම ඉවරවෙයි කියලා.

ඒ විසිත සර් අන්තිම මොහොතේ අපිට කියපු කතාව. ඉතින් ඔහු හිතන විදිහටම අනික් මිනිස්සුත් හිතුවා නම් මේ සමාජය කොච්චර සුන්දර වෙයිද?

රුවන් එස්.සෙනවිරත්න