විශේෂාංග

අයියා පන්සල් ගිය අතරෙ මම නෑනාව මැරුවා

මම ඉනෝකාව දැක්කේ උපදේශන කටයුත්තකට වැලිකඩ බන්ධනාගාරෙට ගිය වෙලාවක. බොහොම තරුණ ලස්සන කෙල්ලෙක් නිසා අනිත් අය අතරේ ඇය කැපී පෙනුණා. අනික ඉනෝකා ඇඳලා හිටියේත් අනිත් අයට වඩා වෙනස්  ඇඳුමක්.

“එයා මරණ දණ්ඩනේ නියම වෙච්චි කෙනෙක්.” ඇය ගැන හොයද්දි මට දැනගන්න ලැබුණේ එහෙමයි.

“මට එයා එක්ක ටිකක් කතා කරන්න පුළුවන්ද?”

“කැමති වෙයිද දන්නේ නෑ… එයා කාත් එක්කවත් වැඩි කතාබහක් නැහැ…”

හැබැයි ඉනෝකා මාත් එක්ක කතා කරන්න කැමති වුණා. ඇයට වුණු දේ තවත් කෙනෙක්ට නොවෙන්න මේ දේ හිරගෙදරින් එළියේ ඉන්න අයට කියන්න කියලයි ඇය කිව්වේ.

“අම්මයි තාත්තයි හදිසි අනතුරකින් නැති වුණා. ඊටපස්සේ මම ජීවත් වුණේ අයියා එක්ක. අයියා මට හරිම ආදරෙයි. මට කිසිම අඩුවක් කළේ නැහැ.”

ඔය අතරේ ඉනෝකාගේ අයියා විවාහ වෙලා.

“අයියා බැඳපු අක්කත් හරි හොඳයි. අපි හරි සතුටෙන් හිටියා. එතකොට මට 25යි. අයියා පිං අතේ වැඩවලට හරි කැමතියි. ඉතින් එයා නිතරම ගේ ගාව පන්සලට යනවා. දවසක් එයා උදේම පන්සලට ගියා. එදා මට දත් කැක්කුමක් හැදිලා ඉන්න හිටින්න බැරිවයි හිටියේ. අයියා උදේම පන්සල් ගිය එකට අක්කට කේන්තියි. ‘මෙයා කොයිවෙලෙත් ගෙදර නෑ…’ කිය කියා අක්කා අයියට දොස් කියන්න ගත්තා…”

“පස්සේ…?”

“මගේ දත රිදෙනවා, ටිකක් කටවහගෙන ඉන්න අක්කේ කියලා මම අක්කට කිව්වා. ඒත් අක්කා ඇහුවේ නෑ. ආයෙත් අයියට බනින්න ගත්තා. මගේ ඔලුව රිදෙන්න ගත්තා. මට එකපාරම ලොකු කේන්තියක් දැනුණා. කටවහගෙන ඉන්න කියලා මම ආයෙත් අක්කට කිව්වා. එත් එයා ඇහුවේ නැහැ…”

කේන්තිය දරාගන්න බැරිවුණු තැන ඉනෝකා උදැල්ලක් අරගෙන නෑනාට පහරදීලා. කුඩා මොළේට තදින් පහර වැදුනු නිසා ඇය එතැනම මියගියාලු.

“මම මොකද්ද කළේ කියලා එතකොටයි මට තේරුණේ. මම හයියෙන් කෑගහලා අඬන්න ගත්තා. එතකොටම අයියා ගෙදර ආවා. වෙච්චි දේ මම අයියට කිව්වා. එයා අක්කව බදාගෙන හොඳටම ඇඬුවා…”

සහෝදරියව බේරගන්න ඕන නිසා මේ සහෝදරයා ඉනෝකා එක්ක එකතුවෙලා බිරිඳගේ මිනිය වත්තේම තැනක වළලලා. බිරිඳ අතුරුදහන් වෙලා කියලා හැමෝටම කිව්වලු. හැබැයි මේ දෙන්නටම හෘද සාක්ෂියෙන් ගැලවෙන්න බැරිවෙලා. එදා ඉඳලා දෙන්නා ලොකු පීඩනේකින් ඉඳලා තියෙන්නේ.

“අපි දෙන්නා හැමදාම අඬනවා. දවසක් අපේ නැන්දා කෙනෙක් ආවා. මම එයාටත් වෙච්චි දේ කිව්වා. එයා ඒක පොලිසියට දැනුම්දීලා…”

ක්ෂණික කෝපය නිසා සිද්ධවෙන මරණයකට නීතියෙන් ලැබෙන දඬුවම් තරමක් ලිහිල් වුණත් සැලසුම්සහගතව මිනිය සැඟවීම නිසා ඉනෝකලාට ක්ෂණික කෝපය ඔප්පු කරන්න බැරිවෙලා. පස්සේ ඇයට මරණ දඬුවම නියම වෙලා. ඇගේ අයියටත් වසර ගණනකට අච්චු වෙලා. නීතියෙන් නිසි දඬුවම් නොලැබුණත් ඇයට හෘදසාක්ෂියෙන් පලා යන්න බැහැ. මේ මොහොතෙත් ඇය එතැන ඉඳගෙන ඒ ජීවිත තුන ගැන හූල්ලනවා ඇති.

ක්ෂණික කෝපය කියන්නේ චිත්තවේගයක්. ක්ෂණිකව කෝපයක් ඇතිවුණාම අපේ හෘද ස්පන්දනය වැඩිවෙනවා. කෝර්ටිසෝල්, ඇඩ්‍රිනලීන් වගේ ආතති හෝර්මෝන වැඩිපුර ස්‍රාවය වෙනවා, වෙව්ලන්න ගන්නවා. අනිත් අයට ගහන්න බනින්න හිතෙනවා. කොටින්ම අපේ මනසේ පාලනය ටික වෙලාවකට අපේ අතින් ගිලිහිලා යනවා.

ක්ෂණික කෝපය නිසා කොච්චර නම් ජීවිත හානි වෙනවද… ඒ විතරක් නෙමෙයි ඔය වගේ තරහකදි අපිට අපේ වටේ ඉන්න මිනිස්සුන්ගේ වටිනාකමක් පේන්නේ නැහැ. මඩ පිටින් ගෙට ආවා කියලා ක්ෂණිකව තරහක් ඇතිවෙලා සැමියට කොස්සක් කැඩෙන්න පහරදීපු කාන්තාවක් ගැන මම දන්නවා. පස්සේ ඔවුන් දික්කසාද වුණා.

ඒ විතරයි නෙමෙයි ක්ෂණික කෝපය නිසා මිනිස්සුන්ට මම කවුද කියන එකත් අමතක වෙනවා. ප්‍රසිද්ධියේ අවමානයට ලක්වෙනවා. රූපවාහිනී වැඩසටන්වලදි ක්ෂණික කෝපයක් ඇතිවෙලා මුළු වෘත්තීය ජීවිතයම කඩාකප්පල් කරගත්තු ප්‍රකට චරිත ලෝකේ පුරාම ඉන්නවා. ඒ නිසා ඉතින් ක්ෂණික කෝපය පාලනය කරගන්න එක හරි වැදගත්.

සමහරු ඉන්නවා තරහ යන යන සැරේට ඒක පිටට පෙන්නනවා. බනිනවා, කෑගහනවා. ඒ අයට තරහව හුරුයි. හැබැයි තව කොටසක් ඉන්නවා ලේසියෙන් තරහා යන්නේ නැති. ඉනෝකාත් එහෙම කෙනෙක්. ඇත්තටම මේ අයට තරහා යන්නේ නැහැ නෙමෙයි. ඒ අය කරන්නේ තරහා ගියාම ඒක ගබඩා කරගන්න එක. ඒ කියන්නේ තරහා ගියාම ඒක පිට නොදා මනසෙම තැම්පත් කරගන්නවා. ඔහොම තැම්පත් කරගන්න තරහා එකපාරම මහා සුනාමියක් වගේ එකපාරම පිටදාන්න පුළුවන්. ඉතින් ඒ වගේ කෙනෙක්ගේ අතින් ක්ෂණික කෝපය නිසා අර වගේ අපරාධයක් වෙන්න තියෙන ඉඩ වැඩියි.

නිතරම ආතතියෙන් පීඩනයෙන් ඉන්න කෙනෙක්ටත්  ක්ෂණික කෝපයක් ඇතිවෙන්න වැඩි ඉඩක් තියෙනවා. කෙනෙක් දැඩි  අසනීපයක ඉන්නවා නම්, ආර්ථික ප්‍රශ්න, පවුල් ප්‍රශ්න නැත්තම් නිසි පෝෂණයක් නැතිකම නිසාත් ආතතිය වැඩිවෙන්න පුළුවන්. ඒ වගේම කෙනෙක්ට එකපාරම ලැජ්ජා හිතෙන දෙයක් නැත්තම් අවමානයට පත්වෙන දෙයක්  වුණාමත් ඒක දරාගන්න බැරිව ක්ෂණික කෝපයක් ඇතිවෙන්න පුළුවන්.

මනසක් තියෙන හැමෝටම ආවේග එනවා. ඒ දේවල් හරියට කළමනාකරණය කරන එකයි හපන්කම. මූලිකම දේ තමන්ට තරහක් ආපු වෙලාවට ඒක යටපත් කරන්න එපා. තරහා පිටකරන්න. වටේ ඉන්න අයට ගහන්න, බනින්න කියලා එහෙම නෙමෙයි කියන්නේ. තරහා ගියාම අඬන්න. පුළුවන්නම් බාත්රූම් එකට ගිහින් දොර වහගෙන ඔයාගේ හිත රිද්දුව කෙනාට ඇති පදම් තනියම බනින්න. නැත්තම් විශ්වාසවන්ත කෙනෙක් එක්ක ඒ ගැන කියන්න.

සමහරු ඉන්නවා තමන්ව තරහා ගස්සන කෙනාට ගහන්න බැරිකමට දොරකට ගහනවා, බඩුමුට්ටු කඩනවා. ඒ දේවල්වලිනුත් කේන්තිය පිටවෙනවා. හැබැයි ඒවා බොහොම භයානකයි. තරහා ගිය වෙලාවක වීදුරු ජනේලයක ගහලා අතේ නහර කැපිලා මැරුණු අය ඉන්නවා.

කේන්තිය නිර්මාණාත්මකව පිට කරන්න බලන්න. අපි දැකලා තියෙනවා විශ්වවිද්‍යාලවල සමහර ළමයි පෙම්වතිය එක්ක කේන්ති අරන් පිහිවලින් ඇනලා මරනවා. තව කොටසක් ඉන්නවා පෙම්වතිය ගැන තරහා නැති කරගන්න කවි ලියනවා.

එදිනෙදා තරහා යටපත් කරගන්නේ නැතිව ඔය විදියට පිට කරනවානම් එකපාරට දැඩි ක්ෂණික කෝපයක් ඇතිවෙන්නේ නැහැ.

ක්ෂණික කෝපයත් කළමනාකරණය පුළුවන්. මුල්ම දේ දැඩි කෝපයක් දැනුණහම ‘මට තරහක් ආවා’ කියන සිතුවිල්ල හඳුනගන්න.

ප්‍රතිපුද්ගලයාට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්න යන්න එපා. ක්ෂණික කෝපය ඇතිවෙන්න බලපාන හෝර්මෝන මිනිත්තු ගාණකින් යථා තත්ත්වයට පත්වෙනවා. ඒ නිසා විනාඩි දහයක් ඉවසන්න. අර මනුස්සයාව මගඇරලා එතැනින් යන්න. එදා ඉනෝකා විනාඩි පහකට ඇගේ නෑනාව මඟඇරියා නම් අද ඒ ජීවිත තුනම ලස්සනට ගලනවා.

පුළුවන්නම් සද්දෙට සිංදුවක් අහන්න. රිලැක්ස් වෙන්න බලන්න. හයියෙන් හුස්ම ගන්න. අපිට මේ ලෝකේ අනිත් දේවල් පාලනය කරගන්න බැහැ. ඉතින් හොඳම දේ අපි අපිව පාලනය කරගන්න එක කියලා හිත පාලනය කරගන්න බලන්න.

ඊට අමතරව දිනපතාම ව්‍යායාම කරන්න. ජීවිතේ ප්‍රශ්න ගැටලු හොඳ විදියට නිරාකරණය කරගන්න බලන්න. සමබල ආහාර ගන්න. නිතරම සතුට දැනෙන දේ කරන්න. එතකොට ආතතිය කළමනාකරණය කරගන්න පහසුයි.

තව දෙයක්. තව කෙනෙක්ට ප්‍රශ්න ඇතිවෙන අනවශ්‍ය දෙයක් කියන්න නැත්තම් විහිළුවක් කරන්න කලින් දෙපාරක් හිතන්න. දැන් තියෙන ප්‍රශ්න එක්ක මිනිස්සු නිතරම ඉන්නෙ පීඩනෙන්. විහිළුවක් කළාම කෙනෙක් රණ්ඩු කළොත් “අපෝ ඌ විහිළුවක්  දන්නේ නැති එකෙක්” කියයි. ඒ විහිළුව කරද්දි එයා වෙනත් පීඩනයක, අසනීපෙක හිටියා වෙන්න පුළුවන්. ඒ දේවල් තේරුම් අරන් මිනිස්සු එක්ක ගණුදෙනු කරනවා නම් නිරපරාදේ කාගෙවත් ජීවිත විනාශ වෙන්නෙ නෑ.

සෙව්වන්දි හෙට්ටිආරච්චි