Latest News

ලෝකයේ ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්ත අතරට ශ්‍රී ලංකාවත්

මේ වසරේ ලෝකයේ ප්‍රමුඛතම සුවතා සංචාරක ගමනාන්ත (Wellness Tourism Destination 2021 ) පහ අතරට ශ්‍රී ලංකාව තේරී පත්ව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ගෝලිය සුවතා ආයතනය (Global Wellness Institute) මගින් මෙම නම් කිරිම සිදු කර තිබෙනවා.

ශ්‍රී ලංකාව තුළ වසර ගණනාවක් තිස්සේ පැවතගෙන එන ආයුර්වේද හා පාරම්පරික වෛද්‍ය විද්‍යාව අනුව සුවතා සංචාරක ව්‍යාපාරයට වැඩි ඉඩක් වෙන්ව ඇති බවද සංචාරක අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් පසු ලෝකයේ සංචාරකයන් වැඩි පිරිසක් මානසික හා ශරීර සෞඛ්‍ය පිළිබද වැඩි අවධානයක් යොමු කර ඇති බවත් , සුවතා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම සදහා රජය කටයුතු කරමින් සිටින බවයි.

මේ දිනවල ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ප්‍රංශ සංචාරක ප්‍රදර්ශනයට සමගාමීව පැවති සංචාරක අමාත්‍යවරුන්ගේ හමුවේ දි ඇමතිවරයා මේ බව සදහන් කළ බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළා.

මේ සදහා ප්‍රංශයේ සංචාරක රාජ්‍ය ලේකම් ජීන් බැටිස්ට් ලේමොයින් , ඊජිප්තු සංචාරක අමාත්‍ය ඛලෙඩ් අල් ආනානි , ග්‍රිසියේ සංචාරක ඇමති වසිල්ලි කිකිලෙයිස් , ජෝර්දාන සංචාරක ඇමති නයේෆ් හිමිඩි අල් ෆයේස් , ඩොමිනික් සමුහාණ්ඩුවේ සංචාරක ඇමති ඩේවිඩ් කොලාඩෝ සහ මව්රිටිව්ස් (Mavritivs) රාජ්‍යයේ සංචාරක අමාත්‍ය නියෝජිත ලොවිස් ස්ටීවන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවේ දූරදර්ශී ක්‍රියා පිළිවෙත හේතුවෙන් ශ්‍රී ලංකාව කොවිඩ් වලින් සුරක්ෂිත රටක් බවට පත්වෙමින් තිබෙන බව මෙම හමුවේ දි පෙන්වා දුන් සංචාරක ඇමතිවරයා ගෝලීය වසංගතය හේතුවෙන් බිදවැටුණු ලෝකයේ සංචාරක ව්‍යාපාරය යළි නගා සිටුවීමට නම් සංචාරක ව්‍යාපාරයේ නිරත සියලු රටවල් එක්ව කටයුතු කළ යුතු බව ද අවධාරණය කළා.

ශ්‍රී ලංකාවේ පශ්චාත් කොවිඩ් සුදානම පිළිබද පැහැදිලි කළ ඇමති ප්‍රසන්න රණතුංග මහතා කීයා සිටියේ මේ වන විට ශ්‍රී ලංකාවේ සමස්ථ ජනගහණයෙන් ලක්ෂ 120කට වැඩි පිරිසක් කොවිඩ් පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති බවයි.

මේ වන විට ශ්‍රී ලංකාව කොවිඩ් සුරක්ෂිත රටක් බවට පත් ව ඇති බැවින් සංචාරකයින් ශ්‍රී ලංකාවට එවීමට බිය නොවන්න යැයි ලෝකයේ සියලු රටවලින් ඉල්ලා සිටින බව ද ඇමතිවරයා සඳහන් කළා.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට රට සංචාරකයන්ට විවෘත කිරීමත් සමග මෙරට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 40,365 ක් බවත් ඉන් කොවිඩ් අසාදිතයන් 323 දෙනෙකු පමණක් වාර්තා වු බවත් පැවසු රණතුංග මහතා කොවිඩ් එන්නත්කරණයත් සමග රට මේ වන විට සංචාරකයන් සදහා පූර්ණ වශයෙන් විවෘතව ඇතැයි ද පැවසුවා.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝකයේ අපනයන ආදායමෙන් ඩොලර් ට්‍රිලියන 1.3 ක් හා සෘජු සංචාරක දළ දේශීය නිෂ්පාදිතයෙන් ඩොලර් ට්‍රිලියන 2 කට වැඩි පාඩුවක් සිදුව තිබෙනවා.

ලොවපුරා සංචාරක ක්ෂේත්‍රයේ අවධානමකට ලක්ව ඇති රැකියාසංඛ්‍යාව මිලියන 100 කට අධික සංඛ්‍යාවක්.

එහි බලපෑම සංචාරක ක්ෂේත්‍ර යෙන් ඔබ්බට යන බව පෙන්වා දුන් ප්‍රසන්න රණතුංග මහතා සංචාරකයන්ගේ පැමිණීමේ දැවැන්ත බිද වැටීම 2020 වසරේ ලෝක වෙළදාම 40%කින් පහත වැටීමට හේතු වූ බව ද පෙන්වා දුන්නා.