News

WHO එන්නත් දෙලක්ෂ හැටහතරදහසක් 60 පැන්න අයට පමණයි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් යාන්ත්‍රණය යටතේ ‌මෙම 7 වැනිදා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත කොවිඩ් එන්නත් දෙලක්ෂ හැටහතරදහසක් (2,64,000) වයස අවුරුදු 60 ඉක්මවූවන්ට පමණක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඊට හේතු වී ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත්කරණ සැලැස්මට අනුව ප්‍රමුඛතාව වයස අවුරුදු 60 ඉක්මවූවන්ට ලබාදීමය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් යාන්ත්‍රණය යටතේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 20%කට එන්නත් ලබාදීමට නියමිතය. ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඇස්ට්‍රා සෙනිකා එන්නත මෙහිදී ලබාදෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දකුණු හා අග්නි දිග ආසියානු කලාපයේ විශේෂ නියෝජිත විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් පවසයි.

ඉන්දිය රජය ප්‍රදානයක් ලෙස ලබාදෙන ලද එන්නත් ලක්ෂ පහ මේවන විට එන්නත්කරණය කර ඇත. ඊයේ (3 වැනිදා) දිනය අවසන් වන විට වයස අවුරුදු 30 ඉක්මවූවන් පන්ලක්ෂ පනස් තුන්දහස් අටසිය විසි එක් දෙනෙකුට එන්නත ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. කොවිඩ් එන්නත් මිලදී ගැනීමේ වැඩපිළිවෙළ යටතේ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව එන්නත් මිලියන 10ක් මිලදී ගැනීමටද නියමිතය. එහි පළමු කොටස ලෙස එන්නත් ලක්ෂ පහක් මෙරටට ආනයනය කර ඇත.

දැනට ලැබී ඇති සියලු එන්නත් බස්නාහිර පළාතේ පමණක් එන්නත් කිරීමටද තීරණය කර තිබේ.

උදයජීව ඒකනායක