අපේ ගෑනුන්ටත් දැන් විල් ස්මිත් තමයි ලොකු!
විහිලුවෙන් ඇස් රතු වෙනවා කියලා පොඩි කාලෙදි වැඩිහිටියෝ අපිට කියලා දීලා තියෙනවා. අපි ඕක අත්විඳලත් තියෙනවා. ඉස්කෝලෙ කාලේ නොහොඹිනා විහිලු කරලා අපි ගුටි කාලා නැද්ද? මට සිද්ධියක් මතකයි උසස් පෙළ කරද්දි රසායන විද්‍යාගාරයේදි සර් බන්සන් දාහකය දල්වලා වෙන මොනවද හොයන්න ගියා. මං අඬුව අරන් කාසියක් බන්සන් දැල්ලට අල්ලලා යාළුවෙක්ගේ අතේ තිබ්බා. මිනිහා මට ගැහුවෙ රවුම් උස බංකුවේ වට දෙකක් කැරකිලා බිම වැටෙන්න. පස්සෙ සර්රුත් මටම ගැහුවා. ගුටි පූජාවයි. ඔව් අපි මේ කතා කරන්නෙත් ඒ සිද්ධිය ගැන තමයි. හැබැයි වෙනස් දෙයක්.
ඉංග්‍රීසි චිත්‍රපටි බලන අය නං විල් ස්මිත්ව හොඳටම දන්නවා. හැබැයි ඉතින් ක්‍රිස් රොක්ව ගොඩාක් අය දැනගත්තේ විල් ස්මිත්ගෙන් ඔස්කාර් සම්මාන උළෙලෙදි කනේ පාරක් කෑවට පස්සෙ. ඔය සිද්ධිය ගැන තොරතුරු මං ආයි ආයි ලියන්න ඕන නෑ අපි දැන් ඒ ගැන විල් ස්මිත්ටත් වඩා හොඳට දන්න නිසා.
නමුත් මේ සිද්ධිය පාදක කරගෙන සමාජ මාධ්‍යවල මෙන්ම අපේ රටේ ඇතැම් මාධ්‍ය පවා මේ සිදුවීම විවිධාකාරයෙන් අර්ථකතනය කරලා තිබුණ විදිහට මට හිතුණේ විල් ස්මිත් ගොඩදැම්මේ ඇරියස් තියෙන අපේ රටේ ගෑනු පිරිමින්ගේ අසහනය කියලයි. මොකද දන්නවද මං එහෙම කියන්නෙ, අපේ රටේ ගෑනු හිතන් ඉන්නවා තමන්ගේ මිනිහත් කවද හරි විල් ස්මිත් වගේ තමන් වෙනුවෙන් අනෙකෙකුට කනේ පාරක් ගහාවි කියලා. ඒ වගේම ඒක උත්කර්ෂයට නංවන පිරිමි නොකියා කියනවා මාත් ඉතින් සිද්ධියක් අවොත් ඔය වගේ තමයි මැණික හොඳේ කියලා. මේකෙ ලස්සනම දේ තමයි. තමන්ගේ බිරිඳ වෙනුවෙන් කනේ පහරක් ගහපු විල් ස්මිත් පවා ඒ මොහොතේම සිද්ධියට කණගාටු වීම සහ පසුව ඔහුගේ ෆේස්බුක් ගිණුමේ කම්පාවෙමින් සටහනක් තැබීම. එතකොට ඉතින් අපේ අයගේ ආතල් එක කැඩෙනවා. මොකද ගහපු කෙනාම ඒක වැරදි බව පස්සෙ තේරුම් අරන් සමාව ඉල්ලද්දි ගුණ ගායනාවලට වටිනාකමක් නැති වෙනවනේ.
මට අනුව නම් විල් ස්මිත් වීරයෙක් නෙමෙයි. ඔහු වීරයෙක් වුණා නම් වුණේ ඔස්කාර් සම්මානය උස්සද්දි මිසක් මේ ගෑනු කේස් එකකට පිරිමියෙක්ට කනේ පාරක් ගහලා නෙමෙයි. හරි ඒ ඔක්කොම පැත්තක තියමුකෝ. මේ සිද්ධියෙන් අපි ඉගෙනගන්න ඕන වටිනා පාඩමක් තියෙනවා. මම මේ ලියන්න ගත්තේ ආන්න ඒක කියන්න.
ක්‍රිස් රොක් විල් ස්මිත්ගේ බිරිඳ ජේඩාගේ කොණ්ඩයට අපහාස කළා කියලා හැඟීමකින් තමයි ආරවුල පටන් ගන්නෙ. ඇත්තටම ඒ මනුස්සයා එහෙම අපහාස කරන්නෙ නෑ. හැබැයි කතාවක් තියෙනවනෙ අබ කාපු කෙනාටයි දැවිල්ල තියෙන්නෙ කියලා. එතකොට කොණ්ඩ මෝස්තරය ලස්සනයි කියලා ඇත්තටම කිව්වත් කොණ්ඩය යන එක ගැන කණස්සල්ලෙන් ඉන්න ජේඩාට හිතෙන්නෙ නෝන්ඩියක් දැම්මා කියලා. ඇගේ මූණ වෙනස් වුණාම තමයි විල් ස්මිත්ටත් කේන්ති යන්නෙ. මෙතන අපි බලන්න ඕන ක්‍රිස් රොක්ගේ පැත්තෙන්. අපි හිතමු ඔහු ඇත්තටම අපහාසයක් කළා කියලා. අන්න එතැනයි අවුල තියෙන්නෙ. අපි කතා කරන්න ඕන ඒ ගැන.
මිනිස්සු ඕන තරං අපි එක්ක විහිලු කරනවා. අපි මිනිස්සු එක්ක විහිලු කරනවා. හැබැයි ඔබ මා ඉතාම හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තමයි සංවේදී කාරණා එක්ක විහිලු කරන්න යන්න නරකයි. මං මගේ ජීවිතේ ලියද්දිත්, කතා කරද්දිත් කිසිම වෙලාවක විවේචනාත්මක ලෙස මාතෘකාවට නොගන්නා කාරණා කිහිපයක් තියෙනවා. ජාතිය, ආගම, මව, පියා, බිරිඳ, සැමියා, දරුමල්ලන් සහ සහෝදර සහෝදරියන්. මේ කාරණා අපිට හරි සංවේදී. කෙනෙක්ගේ අම්මෙක් තාත්තෙක් අල්ලලා අපි විහිලුවක් කළොත්, ඔහුට ඒක කොහොම දැනෙයිද? ඔහු එයට කොහොම ප්‍රතිචාර දක්වයිද? අනෙක් කාරණය තමයි, කෙනෙකුට හිතාමතා තමන් විසින් වෙනස් කළ නොහැකි දෛවය විසින් ලබා දෙන්නා වු අඩුපාඩු කිසිසේත්ම හාස්‍යයට ලක් නොකළ යුතුයි. කොටා, තට්ටයා, බීරා, අන්ධයා, බකලා, බතලයා යනාදී ලෙස මිනිසුන්ව ආමන්ත්‍රණය කරන අවස්ථා අපි කොතෙක් දැක ඇත්ද? කෙනෙක් මිටියි නම් ඒක ඔහුට වෙනස් කළ හැකිද? කෙනෙක්ට කන් ඇහෙන්නේ නැත්තම් ඔහුට ඒක වෙනස් කළ හැකිද? එසේ නම් ඔහුට අවමන් කිරීමෙන් හෝ අපහාස කිරීමෙන් අපි ලබාගන්න සතුට කුමක්ද? අපේ සමාජය කතා කළ යුත්තේ ඒවා ගැනය.
නමුත් අපි කතා කළේ ඒ මොහොතේ කිපී කනේ පාරක් දුන් වීරයෙක් ගැනය. ප්‍රචණ්ඩත්වය කොයි ආකාරයෙන් කෙසේ පැමිණයත් එය අවලස්සනය. නීරසය. එසේ කියන්නේ මේ කනේ පාර ගැසු විල් ස්මිත්මය. මිනිසුන් මිනිසුන් ලෙස දියුණු නම්, අතින් පයින් ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නට යන්නේ නැත. එහෙත් හදිසි කෝපය නිසා මෙවැනි දෑ සිදුවිය හැකි වුවත්, එය උත්කර්ෂයට නැංවීමෙන් මේවා විරක්‍රීයා යැයි අත්පොලසන් දීම නම් අතිශය නොදියුණු ප්‍රාථමික මිනිසුන්ගේ ක්‍රියාවකි.
තමන්ගේ බිරිඳට හෝ වෙනත් ආදරණීයයෙකුට දක්වන ආදරය, ගෞරවය මිනිසුන් තේරුම්ගන්නේ තමන් වෙනුවෙන් ඉදිරිපත්ව වලියකට යෑමෙන් නම්, එය දරුණු මානසික රෝගයකි. මේ සිදුවීම උත්කර්ශයට නංවා තමන්ගේ ඇරියස් පියවාගත්තේ එවැනි මිනිසුන් යැයි මම සිතමි. හැමවිටම අනෙකාට ගරු කරන්න.
රූපයෙන්ද, චර්යාවෙන්ද, හැඩයෙන්ද, විලාසිතාවලින්ද, හැසිරීම්වලින්ද ඔවුන් එකිනෙකාට වෙනස්ය. ඒ නිසා ඒ වෙනස විඳින්න. එවිට අපි අපිට ආදරය කරන්නටත්, ගෞරව කරන්නටත් පෙළඹෙයි. මේ ප්‍රසිද්ධ ඔස්කාර් වලියෙන් අපිටද ගත හැකි එකම පාඩම නම් එයයි.
සමන් එදිරිමුණී