Latest News

කාන්තාවන්ට සවස 6න් පසු රැකියාවේ යෙදීමට අවසර

පස්වරු 6න් පසුව කාන්තාවන් රැකියාවේ නිරතවීම සඳහා වන සාප්පු හා කාර්යාලයීය සේවකයින් පිළිබඳ පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

විද්‍යුත්, පරිගණක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධ ආයතන විසින් කරන ලද ඉල්ලීම අනුව මෙම තීරණය ගත් බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කලේ, අද (09) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කලේ,

“වෙනත් රටවල පිහිටි ව්‍යාපාර ආයතන සඳහා ගිණුම් පරිපාලනය සහ තාක්ෂණික කටයුතු, කාර්යාල කටයුතු තොරතුරු තාක්ෂණය පදනම් කරගෙන සිදුකරන ව්‍යාපාර ආයතන රැසක් රට තුළ දැනට ක්‍රියාත්මක වෙනවා. ඒ ආයතනවල ස්වභාවය අනුව එහි සේවයේ නියුතු වන සේවක සේවිකාවන් ට වෙනත් රටවල කාලවේලාවන් අනුව කටයුතු කරන්න සිදුවෙනවා. නමුත් 54 අංක 19 දරණ සාප්පු හා කාර්යාලයීය සේවකයන් පිළිබඳ පනත යටතේ පස්වරු 6න් පසුව කාන්තාවන් සේවයේ නියුක්ත කිරීමට ඇති හැකියාව ඇත්තේ සීමිත රැකියා ප්‍රමාණයකට පමණයි.

ඒ නිසා කම්කරු ඇමතිතුමා ඉදිරිපත් කළා යෝජනාවක් විශේෂයෙන් තොරතුරු තාක්ෂණය පදනම් කරගෙන ලංකාවේ ක්‍රියාත්මක වන ආයතනවල ඒ ඒ රටවල්වල තියෙන වේලාවල් වෙනස් වීම අනුව අපේ රට මහ රාත්‍රියේ හෝ පහුවදා පාන්දර හෝ විවිධ අවස්ථාවලදී ඔවුන් සමග ගනුදෙනු කරන්න සිද්ධවෙනවා ඔවුන් සමග අන්තර්ජාලය හරහා විද්‍යුත් ක්‍රමවේදය තුළින්. කෝල් සෙන්ටර්ස් විශාල ප්‍රමාණයක් රට තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ වායේ විශාල කාන්තා පුහුණු ශ්‍රමිකයින් පිරිසක් සේවයේ නියුතු වෙනවා. නමුත් මේ නීතිය අනුව බොහෝ රැකියාවල සවස 6න් පසුව කාන්තාවන් සේවයේ යොදවා ගැනීම සීමා කරලා තියෙනවා. මෙවැනි අනුමත විද්‍යුත් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය වන කාන්තා ශ්‍රමය ලබාගැනීමට පහසුවීම සඳහා මෙම පනත සංශෝධනය කරලා තියෙනවා.” යනුවෙන්.