Latest News

ලිංගික ඇසුරක් ලබා දෙන බව පවසා වැඩිහිටියා රැවටූ ගැබිණි කත අත්අඩංගුවට

ලිංගිකව ඇසුරක් ලබාදෙන බව පවසා වැඩිහිටියෙකු රවටා ඔහු සතු මුදල් ,ජංගම දුරකථනය හා බැංකු කාඩ් ,ඇතුළු දේ කොල්ල කෑ ගැබිණි කාන්තාවක ඇතුළු තරුණයකු කැලණිය පිළපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ අවස්ථාවේ ඔවුන් දෙදෙනා සතුව හෙරොයින් ග්‍රෑම් 10යි, මිලිග්‍රෑම් 425 ක් තිබූ බව පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති කසුන් සුභාෂණ මහතා සඳහන් කළා.

කොල්ල කෑමට ලක්වූ වැඩිහිටියා විසින් පෑලියගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් පිළිබඳව විමර්ශනයක් සිදුකළ පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශය විසින් එම ගැබිණි කාන්තාව සහ තරුණයා ඉකුත් (19) දින අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙහිදී පොලිසිය විසින් සිදුකළ පරීක්ෂණ වලදී ගැබිණි කාන්තාව විසින් ලිංගික ඇසුරක් ලබාදෙන බවට එම වැඩිහිටියා ඊට දින දෙකකට පෙර කැමති කරවාගෙන ඇත.

ඒ අනුව වැඩිහිටියා විසින් ප්‍රදේශයෙන් පිට ස්ථානයකට යාමට කැමැත්ත පළ කර ඇතත් ,ගැබිණි කාන්තාව පවසා ඇත්තේ තමන්ගේ ස්වාමිපුරුෂයාට හොරෙන් මෙය සිදු කරන බැවින් දුර බැහැර ප්‍රදේශයකට යා නොහැකි බවයි.

එහිදී අදාළ කාන්තාව විසින් පෙතියාගොඩ, මෑවැල්ල ගඟ අසබඩ ප්‍රදේශයට එම වැඩිහිටියා එක් කරගෙන ගොස් ඇත .

එම අවස්ථාවේ ඒ අසලට පැමිණි සැකකාර තරුණයා , තමන්ගේ බිරිඳ සමග සිටින බවට වැඩිහිටියාට තර්ජනය කර වැඩිහිටියාට පහරදී ඔහුගේ මුදල්,බැංකු කාඩ් ,ජංගම දුරකථනය , ඇතුළු දේ කොල්ලකා , ගැබිණි කාන්තාව සමඟ පලා ගොස් ඇත.

අදාළ තරුණයා ගැබිණි කාන්තාවගේ අනියම් සැමියා බව පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.

අත්අඩංගුවට පත් තරුණයා හා ගැබිණි කාන්තාව මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් බව පොලිසිය පවසනවා.

මෙහිදී අත්අඩංඟුවට පත් ගැබිණි කාන්තාව 26 හැවිරිදි ඇහැලියගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වනවා.

අදාළ තරුණයා 30 හැවිරිදි පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

තරුණයා සතුව හෙරොයින් මිලිග්‍රෑම් 5230ක් ද, ගැබිණි කාන්තාව සතුව හෙරොයින් මිලිග්‍රෑම් 5195ක් තිබු බව පොලිසිය පවසනවා.

වැඩිහිටියාගෙන් කොල්ල කන ලද මුදල්වලින් සැකකරුවන් දෙදෙනා මත් ද්‍රවය පානය කර ඇති අතර කොල්ල කන ලද ජංගම දුරකථනය, බැංකු කාඩ් පත පොලීසිය විසින් සොයාගෙන ඇත .

මෙම සැකකරුවන් දෙදෙනා පිළිබඳ වැඩිදුර විමර්ශනය කිරීමේ දී අනාවරණය වී ඇත්තේ , මෙවැනි අපරාධ මීට පෙර දහයක් පමණ සිදු කර ඇති බවත් ඒ අනුව මොවුන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිට පැමිණ මෙවැනි කොල්ලකෑම් කිහිපයක් සිදුකර ඇති බවයි .

මේ අතර සැකකරුට විවෘත වරෙන්තු හතක් සහ ගැබිණි කාන්තාවට විවෘත වරෙන්තු පහක් , කොළඹ අලුත්කඩේ සහ මහර මහේස්ත්‍රාත් අධිකරණවල ඇති බව පොලිසිය සඳහන් කළා.

සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ පෑලියගොඩ මූලස්ථාන පොලිසිය විසින් සිදුකරනු ලබයි.