Latest News

තෙමහල් ගොඩනැගිල්ලක කුලියට සිටි කාන්තාවක් ඝාතනය කෙරේ

පන්නල නගරයේ මීගමුව මාර්ගයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ කාමරයක් කුලියට ගෙන පදිංචිව සිටි කාන්තාවක් අද (17) අලුයම තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ, කුලියාපිටිය, වීරඹුව පදිංචි 37 හැවිරිදි කාන්තාවක්.

අදාළ කාන්තාව පන්නල ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක සේවය කර ඇති බවයි වාර්තා වන්නේ.

එම කාන්තාව විසින් පන්නල හෝටලයක වැඩ කරන පුද්ගලයෙකු සමග ඇසුරක් පවත්වා ගෙන යමින් විවිධ තැන්වල නිවාස කුලියට ගෙන ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කර තිබෙනවා.

මෙම ගොඩනැගිල්ලේ කාමරයක් කුලියට ගෙන, එහි දෙදෙනාම පදිංචිව සිට ඇති අතර අද (17) අලුයම මරණකාරිය උදව් ඉල්ලා කෑ ගසා ඇති බව එම අවස්ථාවේදී එහි අසල නිවසක සිටි පුද්ගලයෙක් පන්නල පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් පන්නල පොලිසියේ නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන විට අදාළ කාන්තාව මිය ගොස් සිට ඇති බව වාර්තා වනවා.

ඝාතනය සිදු කළ පුද්ගලයා එම ස්ථානයෙන් පළා ගොස් ඇති අතර සැකකරු සොයා මේ වන විට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පන්නල පොලිසිය සහ කුලියාපිටිය අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදු කරනවා.