Latest News

නිවසක් මතට පස් කන්දක් පෙරලී තිදරු මවක් මරුට

දිඹුලපතන – මවුන්ට් වර්නන් වතු යායේ නිවාසයක් මතට විශාල පස් කන්දක් කඩාවැටීමෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ, රාමසාමි කාලි අම්මා නැමති 46 හැවිරිදි තිදරු මවක්.

අද (03) අලුයම 05.30ට පමණ ඇතිවූ අධික වර්ෂාවත් සමග මෙලෙස අදාළ නිවාසයට පස් කන්ද කඩා වැටී ඇති බව වාර්තා වනවා.

අදාළ කාන්තාව සිදුවීම වූ ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලීසිය සඳහන් කළා.

මිය ගොස් සිටින කාන්තාව අද අලුයම නිවසේ මුළුතැන්ගෙහි තේ පිළියෙල කිරීම සඳහා සිය දියණිය සමග ගිය අවස්ථාවේ එම අනතුරට ලක්ව ඇති බව පොලීසිය පවසනවා.

මෙහිදී දියණියට අනතුරක් සිදුව නොමැති අතර, මිය ගිය කාන්තාවගේ පිරිමි දරුවන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරතව සිටිනවා.

අදාළ සිදුවීමෙන් අනතුරුව පොලීසිය අසල්වාසීන් සමග එක්ව කාන්තාවගේ මළ සිරුර කොටගල ප්‍රාදේශීය රෝහල වෙත රැගෙන ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දිඹුලපතන පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.